9. ධාතු සූත්‍ර වර්ණනාව
නවවන සූත්‍රයේ - විඤ්ඤාණ ධාතු වශයෙන් “නාමං” වේ. සෙසු ධාතූන්හි “රූපං” යනුවෙන් නාමරූපයන් කියන ලදී.
10. ඛන්ධ සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයේ - රූපස්කන්ධය කාමාවචර වේ. ඉතිරි සතර ස්කන්‍ධය සර්ව සංග්‍රාහික පරිච්ඡේද වශයෙන් සිවුභූමික වේ. මෙම සූත්‍රයේදී ත්‍රිවිධ භූමිකයැයි ගතයුතුයි.
පළමුවර්ගය නිමියේ ය.
2. දෙවෙනි වර්ගය
1-10. චක්ඛුආදි සූත්‍ර වර්ණනා
දෙවන සූත්‍රයේ සිට දසවන සූත්‍රය දක්වා අර්ථ ඉතා ප්‍රකටය.
11. මානානුසය සූත්‍ර වර්ණනාව
එකොළොස්වන සූත්‍රයේ - “ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ” යනු තමාගේ විඤ්ඤාණය සහිත වූ කය දක්වයි. “බහිද්ධාච” යනු අනිකකුගේ සවිඤ්ඤාණක හෝ අවිඤ්ඤාණක වූ. පළමු පදයෙන් තමාගේද අනුන්ගේද සවිඤ්ඤාණකයම දක්වයි. පසුපදයෙන් පිටත ඇති ඉන්‍ද්‍රිය හා බැඳුණු රූපය දක්වයි. “අහිං කාරම්මිංකාරමානානුසයා” යනු “මමය” යන අහංකාර දෘෂ්ටියත්, “මගේය” යන මමංකාර තණ්හාවත් සැඟවී පවතින මානයත් ය. “න හොන්ති” මේ ක්ලේශයෝ දන්නා තැනැත්තාට ඇති නොවෙති. මේ වස්තූන්හි කෙලෙස් ඇති නොවනුයේ කෙසේද?යි අසයි. “සම්මප්පඤ්ඤාය පස්සතො” යනු විදර්ශනාවත් සමග මාර්ග ප්‍රඥාවෙන් මැනවින් දක්නාහටය.
එකොළොස්වන සූත්‍රයයි.
12. මානාපගත සූත්‍ර වර්ණනාව
දොළොස්වන සූත්‍රයේ - “අහිංකාර මමිංකාර මාන පගතං” යනු අහංකාරයෙන් ද මමංකාරයෙන් ද මානයෙන් ද පහවූ යනුයි. “විධා සමතික්කන්තං” යනු මාන කොට්ඨාසයන් මනාව ඉක්මවූ. “සන්තං සුවිමුත්තං” යනු කෙලෙස් සන්සිඳීමෙන් ශාන්ත වූ යනුයි. කෙලෙස්වලින් මනාව මිදුණු. සෙසු පදයන් අර්ථ ඉතා ප්‍රකටය.
මේ සූත්‍ර දෙකින්ම අසේඛ භූමිය කියන ලදී. පළමු සූත්‍රය රාහුල හිමියන්ගේ ආයාචනයක් ලෙස දේශිතය. දෙවැනි සූත්‍රය ආයාචනයක් අනැතුවම දේශනා කළ සේක. මුළු රාහුල සංයුත්තයේ සෑම සූත්‍රයක්ම රාහුල හිමියන්ගේ විමුක්තිය මුහුකුරවා යෑම පිණිස ම දෙසූ බව වටහාගත යුතුයි.
රාහුල සංයුත්තය නිමියේය.