1. දාරුණ සූත්‍ර වර්ණනාව
ලාභසත්කාර සංයුත්තයේ පළමු සූත්‍රය “දාරුණෝ” යනු තද වූ දරුණු වූ යනුයි. “ලාභසක්කාර සිලොකො” මෙහි “ලාභය” නම් සිවුපස ලාභයයි. “සත්කාරය” නම් මනාසේ සකස් කළ, මනාව පිළියෙල කළ ලාභයයි. “සිලොක” යනු කීර්ති ඝෝෂාවයි. “කටුකො” යනු තියුණුය. “ඵරුසො” යනු කර්කෂය. “අන්තරායිකො” යනු අන්තරායක් කරයි.
පළමු සූත්‍රයයි.
2. බළිස සූත්‍ර වර්ණනාව
දෙවන සූත්‍රයේ “බාළිසිකො” යනු බිලීපිත්තක් ගෙන හැසිරෙන මසුන් මරන්නායි. “ආමිසගතං” යනු ආහාරමය ඇමයි. “ආමිස චක්ඛු” යනු ආහාරයේම පැවති ඇසේ දර්ශනය ඇති තැනැත්තා. “ආමිස චක්ඛු” නම් වේ. “ගිළ බළසො” යනු ගිලින ලද බිලිය ඇති යනුයි. “අනයං අපන්නො” යනු දුකට පැමිණියේ යනුයි. “ව්‍යසනං ආපන්නො” යනු ව්‍යසනයට පැමිණියේ යනුයි. “යථාකාම කරණීයො” යනු කැමති පරිදි රිසි සේ යනුයි. යම්සේ බිලීබාන්නා කැමති වේ. ඒ අයුරින් ඔහුට කළහැකි වේ. “යථාකාම කරණීයො මාරස්ස” යනු ක්ලේශ මාරයාට රිසි දේ කළ හැකි වේ. නිරයට හෝ ප්‍රේත යෝනියට හෝ තිරිසන් යෝනියට හෝ කැමති තැනකට පමුණුවන්නේය.
දෙවන සූත්‍රයයි.
3-4. කුම්ම ආදි සූත්‍ර වර්ණනා
තෙවැනි සූත්‍රයේ “මහාකුම්මකුලං” මහත් වූ ඇටකැස්බා කුලයක් යනුයි. “අගමාසි” යනු ඒකාන්තයෙන් මෙහි කිසියම් කෑයුතු දෙයක් ඇතැයි, ඒ පිළිබඳ මසුරුකමින් මට එය නැතිවේය යන සංඥාවෙන් ගියේය යනුයි. “පපතාය” යනු වැටුණේය යනුයි. දිගු රැහැනකින් බැඳි යකඩ කොපුවක දණ්ඩක් ඇතුලු කර තනාගත් මුදුනෙහි හිලක් යෙදූ ගල් කඩුව-යකඩ කටුව, යමකට වේගයෙන් වැටී පිටපැත්තෙහි ඇලුණු මොහොතේ දණ්ඩක් නික්මී රැහැණින් එකට බැඳී යයි. “සො කුම්මො” යනු ඒ ළදරු කැස්බෑවාය. “යෙන සො කුම්මො” යනු ජලයේ ශබ්දය අසා සැක සහිත තැනක් වන්නේ යැයි නැවතී සිටි තමාට යහපත කැමති කැස්බෑවාය. “තදානි ත්‍වං අම්හාකං” යනු දැන් නුඹ අපගේ සතුරන් අතට ගියේය. අපට අයත් නොවේ යන අර්ථයි. මෙසේ ඔවුහු කථාකරමින් සිටියදීම නැවේ සිටි වැද්දා රැහැන ඇද, කැස්බෑවා ගෙන කැමති දෙයක් කළේය.
මෙම අර්ථය ම සිවුවන සූත්‍රයේදී ද දතයුතුයි.
තෙවන හා සිවුවන සූත්‍රයන් ය.
5. මීළ්හක සූත්‍ර වර්ණනාව
පස්වන සූත්‍රයේ - “එළකා” යනු අශූචි කා ජීවත්වන සත්තුය. “ගූථාදී” යනු අශූචි කන යනුයි. “ගූථ පුරා” යනු ඇතුල අශූචියෙන් බරවූ යනුයි. “පුණ්ණා ගූථස්ස” යනු මෙය මුල්පදයේම අර්ථය දැක්වීමකි. “අතිමඤ්ඤෙය්‍ය” යනු පසුපාදයෙන් බිම හිඳ, පෙර පාදයෙන් අශූචි මතුපිටට නැඟ සිටගෙන - “මම වනාහී අශූචිවලින් පිරුණේයැ”යි කියමින් සෙසු පණුවන් ඉක්මවා සිතයි. “පිණ්ඩපාතො චස්ස පූරො” යනු ඔහුගේ පාත්‍රය පිරි ප්‍රණීත පිණ්ඩපාතය ලැබුණේ වෙයි.
පස්වන සූත්‍රයයි.
6. අසනිවක්ක සූත්‍ර වර්ණනාව
සයවන සූත්‍රයේ “කං භික්ඛවෙ! අසනි විචක්කං” යනු “මහණෙනි! කවර පුද්ගලයෙක් මත වැටී මඩිමින් විනාශවන හෙනගුලිය එන්නේද?” යනුයි. “අප්පත්ත මානස” යනු රහත්බව අවබෝධ නොකළ යනුයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ සත්ත්වයන්ගේ දුක්සහගත කාමයේ ආදීනව දැක්වීමට පමණක්ම මෙය නොදෙසූහ. හෙනගුලියක් හිසමත වැටුනහුගේ එක් ආත්මභාවයක් පමණක් විනාශ වේ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදියේ ඇලුණු සිත් ඇත්තා නිරයාදියෙහි ආත්මභාව ගණනාවක් අනන්ත දුක් විඳියි.
සයවන සූත්‍රයයි.
7. දිද්ධවිසල්ල සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයේ “දිද්ධගතෙන” යනු විෂ පොවන ලද යනුයි. “විසල්ලෙන” යනු විෂ ආලේප කරන ලද හුලෙන්. සැතෙන්. ආයුධයෙන් යන අර්ථයි.
සත්වන සූත්‍රයයි.
8. සිගාල සූත්‍ර වර්ණනාව
අටවන සූත්‍රයේ “සිගාලො” යනු ජරාවට පත් සිවලාය. යම්සේ රන්වන් වූ ශරීරයත් කුණු ශරීරයක්ම වේ. එකෙණෙහිම ගත්තා වූ මුත්‍ර පවා “කුණු වූ මුත්‍ර” නම් වේ. මෙලෙස එදිනම උපන් සිවලාත් “මහළු වූ සිවලෙකි”යි දැක්විණි. “උක්කණ්ටකෙන නාම” එනම් ඇති රෝගයෙන්. එය ශීත කාලයේ සෑදෙන්නකි. එය වැළඳුණු විට මුලු ශරීරයේම ලෝම හැලෙයි. සිරුරේ ලොම් නැතුව හාත්පස ස්පර්ශ කරයි. සුලං වැදී තුවාල වේදනා දෙයි. පිස්සු බල්ලෙකු විසින් හපා කන ලද මිනිසෙකු මෙන් ස්ථිර නොවූයේ, එහෙ-මෙහෙ හැසිරේ. මෙම රෝගය උපන් කල්හි මෙසේ කැරකීම හා ඇවිදීම ඇතිවේ. අසුවල් තැන සැපක් ඇතිවේයැයි නොවැටහේ.
අටවන සූත්‍රයයි.
9. වෙරම්භ සූත්‍ර වර්ණනාව
නවවන සූත්‍රයේ “වෙරම්බ වාතා” යනු එනම් වූ නම් ඇති මහ සුලඟයි. මේ සුලඟ කවර තැනක හමන්නේද? යම්තැනකදී සතරමහා දිවයින් උපුල්පතක් මෙන් පෙනෙන්නේද (ඉහල අහසේ) එබඳු තැන මේ සුලඟ හමයි. “යො පක්ඛී ගච්ඡති” යනු අලුතින් වැසි වැටුණු කල්හි නද දෙමින් සුලං කුරුල්ලෝ එහි පියඹා යති. එනිසා මෙය කියන ලදී. “අරක්ඛිතෙනෙව කායෙන” යනාදියෙහි අත්පාවලින් ක්‍රීඩාකරන - කොඳු ඇට නවන ස්වභාවය, “කය නොරැකීම” නම් වේ. නානාප්‍රකාර අසභ්‍ය වදන් කථාකිරීම “වචන නොරැකීම” නම් වේ. කාම විතර්කාදිය විතර්කනය කිරීම “සිත නොරැකීම” නම් වේ. “අනුපට්ඨිතාය සතියා” යනු කායගතාසතිය නොපිහිටුවාය.
නවවන සුත්‍රය යි.
10. සගාථ සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයේ “අසක්කාරෙන චූභයං” යනු අසක්කාරෙන ච උභයෙන සත්කාර කිරීමෙන්ද අසත්කාර කිරීමෙන්ද යනුයි. “සමාධී” යනු අර්හත්ඵල සමාධියයි. ඔහු එයින් කම්පා නොවේ. “අප්පමාණ විහාරිතො” යනු අප්‍රමාණ වූ ඵලසමාධියෙන් යුක්තව වාසය කරන්නාටය. “සාතතිකං” යනු නිතර ක්‍රියාකරන්නාය. “සුඛුමදිට්ඨි විපස්සකං” යනු අර්හත් මාර්ග දෘෂ්ටියෙන්, සූක්‍ෂම දෘෂ්ටියෙන් ඵල සමාපත්තිය සඳහා විදර්ශනාව වඩා, විදර්ශනාවට පැමිණි බැවින්. “උපාදානක්‍ඛයාරාමං” යනු උපාදානක්‍ෂය නම් වූ නිවනෙහි ඇලුණු යනුයි. “ආහු සප්පුරිසො ඉතී” යනු සත්පුරුෂයෙක් යැයි කියති.