1. චතුධාතු සූත්ර වර්ණනාව
සතරවන වර්ගයේ පළමු සූත්රයේ “පඨවි ධාතු” යනු පිහිටන ධාතුවයි. “ආපෝ ධාතු” යනු එකට බැඳෙන ධාතුවයි. “තෙජෝ ධාතු” යනු මෝරා යන ධාතුවයි. “වායෝ ධාතු” යනු පුම්බවන ධාතුවයි. මේ දැක්වූයේ සංක්ෂිප්ත වශයෙනි. සවිස්තර ලෙස විසි කොට්ඨාසි වශයෙන් කිව යුතුයි.
පළමු සූත්රයයි.
2. පුබ්බ සූත්ර වර්ණනාව
දෙවන සූත්රයේ “අයං පඨවි ධාතුයා අස්සාදෝ” යනු මේ පඨවි ධාතුව ආශ්රිත වූ ආශ්වාදයයි. ඔහු මේ කය ඉතා උස්කර, උදරය දිගහැර “මෙහි මගේ ඇගිල්ල පිවිසවීමට වෑයම් කරවූ” කියා හෝ අත දිගහැර “මෙය නැවීමට වෑයම් කරවු” කියා හෝ පවසයි. මෙසේ පවතින ආශ්වාදයයි. “අනිච්චා” යනාදියෙහි - පැවතී විනාශවන අර්ථයෙන් “අනිච්චා” නම් වේ. පෙලීමට ලක්වන ආකාරයෙන් “දුක්ඛා”. ස්වභාවය වෙනස්වන ආකාරයෙන් “විපරිණාම ධම්මා”. “අයං පඨවි ධාතුයා ආදීනවො” යනු යම් අයුරකින් මෙය අනිත්ය, දුක්ඛ, අනාත්ම වන්නේ ද මෙලෙසින් පඨවි ධාතුවේ ආදීනව ද දතයුතුයි. “ඡන්දරාග විනයො ඡන්දරාගප්පහාණං” යන නිවණට පැමිණ පඨවි ධාතුවෙන් ඡන්දරාගය දුරුකරයි. එසේම ප්රහීණ කරයි. එනිසා නිර්වාණය යනු ඉන් නිදහස් වීමයි.
“අයං ආපොධාතුයා අස්සාදො” යනු මේ ආපෝධාතුව ආශ්රිත වූ ආශ්වාදයයි. ඔහු මේ ආපෝ ධාතුවේ උපද්රව දැක “මෙය උපන් දවස සිටම මුත්ර ලෙස ම නිමෙන්නේ ද පිවිසෙන්නේ ද වේ. අල්පමාත්ර වූ ද ක්රියාවක් කරන්නාගේ දහඩියෙන් තෙත්වූ වස්ත්ර පීඩාවක් වේ. අනුමෝදනා දේශනාව පැවැත්වීමේදීත් තල්පතක් ගතයුතු වේ. මේ කිම්ද? අපි වනාහී සවස නිදාගෙන උදේම නැගිටින්නෙමු. අපගේ සිරුර පිරුණු කළයක් මෙන් මැනවින් පවතියි. මහත් වූ වෙහෙස ඇතිකරන කටයුත්තක් සිදුකළේ නමුත් දහඩිය මාත්රයක් වත් නූපදී. හෙනහඬ මෙන් ධර්මදේශනා කළත් ශරිරයේ වන උණුසුම් මාත්රයක්වත් අපට නැත”යි මෙසේ පැවතීම් වශයෙන් දතයුතුයි.
“අයං තේජෝ ධාතුයා අස්සාදො” යනු මේ තේජෝ ධාතුව ආශ්රිත වූ ආශ්වාදයයි. ඔහු ශීතලෙන් ගැහෙන අයෙකු දැක මෙසේ කියයි. “කිම මොවුහු කිසියම් කැඳ, බත්, කැවිලි ආදියක් ගිල දමා, තද වූ කුසක් ඇතිව හිඳ, මුළු රෑම අඟුරු කබල් සොයති. ශරීරයේ ස්පර්ශ කළ පමණින් ම අගුරු කටාරමට බැස පොරවාගෙන මෙන් නිදාගනිති. අපි වනාහී ඉතා තදවූ මස් හෝ කැවිලි හෝ කමු. කුස පිරෙන්න බත් කමු. එකෙණෙහිම අප සිරුරට ඇතුලු වූ එම ආහාර කෙළපිඩක් මෙන් දියවේ. සතියක් අහස වැහි වළාකුලින් වැසී තිබුණත් අප සිරුරෙහි මද සීතලකුදු නැත්තේත්ය. “මෙසේ පැවතීම් වශයෙන් දතයුතුයි.
“අයං වායෝ ධාතුයා අස්සාදෝ” යනු මේ වායෝ ධාතුව ආශ්රිත වූ ආශ්වාදයයි. ඔහු සෙසු වාතයෙන් ආබාධිත වූවන් දැක මෙසේ කියයි. “මොවුහු අල්ප වූ කාර්යයක් කළත්, අනුමෝදනා දේශනාව පමණක් කළත් සිරුරෙහි වාතය කිපෙයි. ගවුවක් පමණ මාර්ගයේ ඇවිද ගියවුන්ගේ අත්පා රිදේ. පිට වේදනා දෙයි. කුසේ වාතය, හිසේ වාතය, කණේ වාතය නිතර උපද්රව දෙයි. තෙල්, පැණි ආදියෙන් නිතර වාතයට බෙහෙත් ගනිමින් වෙසේ. අපි මහත් වූ කටයුතු කරමු. තුන් යම් රාත්රියෙහිම ධර්ම දේශනා කරන්නෙමු. එක්දිනම යොදුන් දහයක් දුර වුවත් යන්නෙමු. අපගේ අත්පා රිදීමක් හෝ වෙහෙසීමක්, පිට රිදීමක් නොවේමය.” මෙසේ පැවතීම් වශයෙන් දතයුතුයි. මෙලෙස පැවතීම එම ධාතූන්ගේ ආශ්වාද කිරීමයි.