3-4. පඤ්චසික්ඛාපද ආදි සූත්‍ර වර්ණනා
තෙවන සූත්‍රය - පස් කර්මපථ වශයෙන් අවබෝධ කරගන්නවුන්ගේ අදහස් වශයෙන් දේශනා කරන ලදී. සතරවන සූත්‍රය සත් කර්මපථ වශයෙන් දේශිතය. පස්වන සූත්‍රය දශ කර්මපථ වශයෙන් දෙසන ලදී. එහි තෙවැනි සූත්‍රයේ “සුරාමේරය මජ්ජපමාදට්ඨායිනො” යනු “රහමෙර” නම් වූ මදයට ප්‍රමාදයට හේතු වූ මත්වීමේ සිතෙන් පානය කරති. එය මදයට හා ප්‍රමාදයට හේතු වූ රහමෙර යැ”යි කියනු ලැබේ. එහි යෙදුනෝ “රහමෙර පානය කරනෝ” නම් වෙති. අමුතු පදයකට ඇත්තේ මෙම පදය පමණි. සෙසු පදයන්හි අර්ථ ඉතා ප්‍රකටය.
5. දසකම්මපථ සූත්‍ර වර්ණනාව
පස්වන සූත්‍රයේ-“ප්‍රාණය වේගයෙන් හෙළයි” යනු “පාණාතිපාතිනො” නම් වේ. “පරපණ නසයි” යන අර්ථයයි. “නුදුන්දේ ගනියි” යනු “අදින්නා දායිනො” නම් වේ. “අනුන්ගේ දේ ගනියි” යන අර්ථයයි. වස්තු කාමයෙහිත් ක්ලේශ කාමයෙහිත් වැරදි හැසිරීම් ඇත්තේ “කාමෙසු මිචඡාචාරිනො” නම් වේ. බොරු කියයි. රවටයි යනු “මුසාවාදිනො” නමි. අන්‍යයන්ගේ යහපත නසන, හිස්-බොරු, පදනමක් නැති වදන් පවසයි. යන අර්ථයයි. කේලාම් කියයි යනු “පිසුණාවාචා” නමි. “මොවුහු මර්මස්ථාන සිඳ දමන ඵරුෂ වදන් ඇත්තෝය” යනු “ඵරුසා වාචා” නමි. ප්‍රලාප, නිරර්ථක වචන කථා කරන්නෝ “සම්ඵප්පලාපිනො”. දැඩිසේ ලෝභ කරන්නෝ “අභිජ්ඣාලුනො” නම් වේ. “අන්‍යන්ගේ සම්පත් පිළිබඳව එල්බෙන ස්වභාව ඇති” යනු “බ්‍යාපත්ත චිත්තා” නමි. “වැරදි පවිටු නුවණැත්තන් විසින් ගැරහු දෘෂ්ටියක් මොවුන්ට ඇත යනු “මිච්ඡාදිට්ඨිකා” නම් වේ. කර්මපථ ඇතුලත් දානයේ විපාක නැත ආදී වශයෙන් දැක්වූ වැරදි දේ ඇතුලත් නිවණට අයත් නොවන දෘෂ්ටියෙන් යුක්ත වූ” යන අර්ථයයි. යහපත් වූ ශෝභන වූ නැණවතුන් විසින් පසසන ලද මොවුන්ගේ දෘෂ්ටිය යනු “සම්මාදිට්ඨිකා” නම් වේ. කර්මපථයට ඇතුලත් වූ “දානයේ විපාක ඇත” යනාදී කර්මය පිළිබඳව දැක් වූ දැක්මක් සහිත. “නිවැරදි වූ මාර්ග දෘෂ්ටියෙන් යුක්ත වූ” යන අර්ථයයි. මෙය වනාහී පෙර නො පැවසූ පදයන්ගේ වර්ණනාවක් පමණි.
ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය, මුසාවාදය, පුසාණාවාචා, සම්ප්‍රප්ඵලාපය, අභිධ්‍යාව, ව්‍යාපාදය හා මිත්‍යා දෘෂ්ටිය යන මේ අකුසල පක්ෂයේ අර්ථය දශවිධ වේ. එහි ප්‍රාණයාගේ වේගවත් වැටීම ප්‍රාණඝාතයයි. ප්‍රාණයක් වදයක් වීම ප්‍රාණඝාත නම් වේ. “ප්‍රාණ” යනු සම්මුති වශයෙන් සත්ත්වයායි. පරමාර්ථ වශයෙන් ජීවිතින්ද්‍රියයි. ඒ ප්‍රාණය යන හැඟීම් ඇති සත්ත්වයා කෙරෙහි ජීවත්වීමේ ශක්තිය සිඳ දමන, උපක්‍රම උපදවන කායවාග් වාරයන්ගෙන් එකකින් පවතින වධකමය චේතනාව ප්‍රාණ ඝාතයයි. සියලු ගුණයන්ගෙන් දුරුවූ එය, තිරිසන්ගත කුඩා ප්‍රාණීන් කෙරෙහි අල්ප සාවද්‍ය වේ. මහා ශරීර ඇති සතුන් කෙරෙහි මහා සාවද්‍ය වේ. කුමක් නිසාද? ප්‍රයෝගයේ මහත් බව නිසයි. වස්තුව විශාල වනවිට ඊට යොදන ප්‍රයෝගය ද මහත් වේ. ගුණවත් සත්පුරුෂයකු නම් මහා සාවද්‍ය වේ. අල්ප ගුණ ඇතෙකු නම් අල්ප සාවද්‍ය වේ. මෙහි දී ශරීරය එක සමාන වුවත් ගුණයන් මත තීරණය වේ. කෙලෙස්, උපක්‍රම ආදියේ මෘදුතාවය නිසාද අල්ප සාවද්‍ය වේ. ඒවායේ තියුණු බැවින් මහාසාවද්‍ය වේ.
ප්‍රාණඝාතය සම්පූර්ණ වීමට අවශ්‍ය කරුණු පහකි. ප්‍රාණියෙක් වීම, ප්‍රාණියෙක් බව දැනගැනීම, මරණ සිත, ඊට උපක්‍රමයක් යෙදීම, ඒ උපක්‍රමයෙන් මරණයට පත්වීම යන කරුණු පසයි. මෙහි ප්‍රයෝග සයකි. සියතින් කිරීම, අණකර කරවීම, අත්හැරිමේදී ස්ථාවරව සිටීමේදී, විද්‍යාමය වශයෙන් හා ඍද්ධිමය වශයෙනි. මෙලෙස අර්ථ විස්තර කරන කල්හි අතිශයින් ප්‍රමාද වේ. එනිසා වැඩි විස්තර නොපවසමු. දිගු විස්තර කැමැත්තන් විසින් සමන්තපාසාදිකා විනය අටුවාව බලා කරුණු දැනගත යුතුයි.
නුදුන් දේ ගැනීම අදින්නාදානයයි. අනුන්ගේ දේ ගැනීම සොරකමකි. එහි “නුදුන් දේ” යනු අනුන් විසින් අල්වාගත්. යම්තැනක් අනුන්ගේ කැමැත්ත ඇතිව දඬුවමකට හෝ දොස් නැගීමකට නොහැකිවේද එබඳු අනුන් අයත් වූ තැන්. අනුන් අයත් වස්තු ඒ බව දැන දැන, සොරසිතින් උපක්‍රම උපදවා ගැනීම, අනුන්ගේ පරිත්‍යාග කිරිමක් නොමැතිව ගැනීම අදින්නාදානයයි. ඒ දෙය අනුන් සතු වූ හීන වූ දෙයක් නම් අල්ප සාවද්‍ය වේ. උසස් දෙයක් නම් මහා සාවද්‍ය වේ. කුමක් නිසාද? වස්තුවේ උසස් බව නිසයි. වස්තු සමාන කල්හි ගුණවැඩි අයගේ වස්තුව ගැනීමෙහි මහා සාවද්‍ය වේ. එහි ගුණ අධික බව සලකා බැලේ. ගුණහීනයන්ගේ අයත් වස්තුවෙහි අල්ප සාවද්‍ය වේ.
මෙහිද සම්පූර්ණ විය යුතු කරුණු පහකි. අනුන් අයත් වස්තුවක් වීම, අනුන් අයත් බව දැන සිටීම, සොරකම් කිරීමේ සිත, උපක්‍රමය, එයින් වස්තුව සොයාගැනීම යන පසයි. ප්‍රයෝග හයකි. ඉහත කී ප්‍රයෝග සයම මෙහිදී යෙදේ. එහිද සුපුරුදු පරිදි සොරසිතින් ගැනීම, බලහත්කාරයෙන් ගැනීම, සැගවී ගැනීම, පරිකල්පනයෙන් - අදහසින් ගැනීම හා සීට්ටු වශයෙන් ගැනීම යන මේ සොරාගැනීම් වශයෙන් පවතියි. මේ සංක්‍ෂිප්ත දැක්වීමයි. මේ සියල්ල සවිස්තරව සමන්තපාසාදිකාවෙහි දැක්වේ.