7. නාගදත්ත සූත්‍ර වර්ණනාව
සත් වැන්නේ - අතිකාලෙන මුළු රැය නිදා සිට ඉතා උදෑසන ඉළපතින් මඳක් ඇමද මුව සෝදා කැඳ අහර පිණිස උදයෙන් ම ප්‍රවේශ වෙයි. අතිදිවා කැඳ රැගෙන ආසන ශාලාවට ගොස් (කැඳ) බී එක් තැනක හෙව නිදා මිනිසුන් ආහාර ගන්නා වේලාවේ ප්‍රණීත වූ භික්ෂාවක් ලබන්නෙමැයි මද්දහන ආසන්නයේ නැගිට ධම්ම කරකයෙන් (පැන් පෙරනයෙන්) ජලය ගෙන ඇස් සෝදා පිඬු පිණිස සැරිසරා හැකි තරම් අනුභව කොට මද්දහන ඉකුත් වූ පසු පෙරළා එයි. දිවා ච ආගන්ත්‍වා බොහෝ කල් ඇතිව ගිය අය අන් භික්‍ෂූනට පළමු ව ආ යුතු වේ. ඔබ බොහෝ දවල් වී අවුත් ගියෙහි ය යන අරුත යි. භායාමි නාගදත්තං ඒ නාගදත්තට (නම් වූ භික්‍ෂුවට) බිය වෙමි. සුප්පගබ්භං ‘සුට්ඨු පගබ්භං’ මැනවින් බුහුටි; කුලෙසු ක්‍ෂත්‍රිය කුල ආදි උපස්ථායක කුලවල.
සත් වැනි සූත්‍රය යි.
8. කුලඝරණී සූත්‍ර වර්ණනාව
අට වැන්නේ - අජ්ඣොගාළ්හප්පත්තො අවතීර්ණ වූ තත්ත්වයට පත් වූයේ (බෙහෙවින් ඇගෑලුම් තත්ත්වයට පත් වූයේ). හේ බුදුන් සමීපයේ කමටහන් ගෙන ඒ වන ලැහැබට පිවිස, දෙවැනි දිනයේ පිඬු පිණිස සිත් අළවන පැහැදවීම් සමග ගමට පිවිසියේ ය. එක්තරා කුලයක් (පවුලක්) භික්‍ෂුවගේ ඉරියව් ගැන පැහැදී පසඟ පිහිටුවා වැඳ පිණ්ඩපාතය දුන්නේ ය. භුක්තානුමෝදනාව අසා වැඩිමනක් පැහැදී ස්වාමීනි, සදා කල්හි මෙහි ම භික්‍ෂාව ගනු මැනවි යි ආරාධනය කළේ ය. තෙරුන් වහන්සේ ඉවසා ඔවුන්ගේ ආහාර වළඳන්නේ වීර්යය ගෙන උත්සාහ කරන්නේ අර්හත් භාවයට පත් ව මෙසේ සිතී ය. මේ පවුල මට බෙහෙවින් උපකාරී විය. වෙන තැනක ගොස් කුමක් කරන්නෙම් ද? ඵල සමාපත්ති සුවය අනුභව කරමින් එහි ම විසී ය. අජ්ඣභාසි ඇය (දේවතාවිය) තෙරුන්ගේ ක්ෂීණාශ්‍රව භාවය නො දන්නී (මෙසේ) සිතුවා ය. මේ තෙරුන් වහන්සේ වෙනත් ගමකට නො යයි. වෙනත් නිවසකට ද (නො ය යි), රුක් මුල ආසනශාලා ආදියෙහි නො හිඳියි. සැම දා (මේ) නිවසට පිවිස ම හිඳියි. මේ දෙගොල්ල ම අගාධයට වන්නෝ ය; දැඩි ව පය ගසා සිටින්නෝ ය. කිසියම් දිනක ඔහු මේ පවුල දූෂණය කරන්නේ ය ඔහුට දෝෂාරෝපණය කරන්නෙමි” එහෙයින් කීවා ය.
සණ්ඨානෙ නගර ද්වාරය අසළ ස්ථානයක, මිනිසුන්ගේ බඩු බිමට බා විවේක ගන්නා ස්ථානයෙහි; සඞ්ගම්ම රැස් වී, මන්තෙන්ති කථා කරත්. මං ච තං ච මා ගැන ද කථා කරත්, ඔබ ගැන ද කථා කරත්; කිමන්තරං හේතුව කුමක් ද? බහූ හි සද්දා පච්චූහා ලොවෙහි මේ ප්‍රතිලේාම ශබ්ද බොහෝ ය. තෙන ඒ කාරණයෙන් නැතහොත් ඒ තාපසයා විසින් න මඞ්කුහොතබ්බං (මුළා නො විය යුතු ය); න හිතෙන අනුන් විසින් කියන ලද ඒ වචනයෙන් නොව සත්ත්වයා කිලිස්සති (කිළිටි වේ); තමා විසින් කරන ලද පාප කර්මයෙන් ම කිලිටි වෙති යි දක්වයි. වාතමිගො යථා යම් සේ වනයෙහි වාතමෘගයෙක් සුළඟින් සෙළවුණු කොළ ආදියේ ශබ්දවලින් තැති ගනී ද, එසේ යමෙක් ශබ්දය නිසා තැති ගන්නේ වෙයි ද යනු අර්ථ යි. නාස්ස සම්පජ්ජතෙ වතං ලුහු සිත් ඇති ඔහුගේ ව්‍රතය සම්පාදනය නො වේ. තෙරුන් වහන්සේ ක්‍ෂීණාශ්‍රව බැවින් ව්‍රතසම්පන්න වූයේ යි දත යුත්තේ ය.
අට වැනි සූත්‍රය යි.
9. වජ්ජිපුත්ත සූත්‍ර වර්ණනාව
නව වැන්නේ - වජ්ජිපුත්තකො වැදෑ රටේ රාජ පුත්‍රයා ඡත්‍රය හැර දමා පැවිදි වූයේ ය. සබ්බරත්තිවාරො කැති නැකත ගැන අණබෙර කරවා මුළු නගරය ධජ පතාක ආදියෙන් සරසවා පවත්වන ලද සර්වරාත්‍රික ක්‍රීඩාව (නැකැත් කෙළිය) මේ නැකත චාතුර්මහාරාජිකය දක්වා ඒකාබද්ධ වේ. තුරියතාළිකවාදිතනිග්ඝොසසද්දං බෙර ආදි තූර්ය භාණ්ඩවල, තාලම්පටවල, වීණා ආදි වාදනවල මහා ඝෝෂාව හා හඬ අභාසි වේසාලියෙහි සත්දහස් සත් සිය සතක් රජවරු ද එපමණ ම ඔවුන්ගේ උපරාජ සේනාපති ආදීහු (වෙත්), ඔවුන් අලංකාර කොට පිළියෙල කරන ලදුව, නැකැත් කෙළි පිණිස වීදියට අවතීර්ණ වූ කල්හි හැට රියන් මහත් සක්මන් මලුවෙහි සක්මන් කරමින් නුබ මැද සිටි සඳ දැක සක්මන් කෙළවර ඵලකය ඇසුරු කොට සිටිමින් (මෙසේ) කී ය.
අපවිද්ධංව වනස්මිං දාරුකං වස්ත්‍ර - වෙළුම් - අලංකාර රහිත බැවින් වනයෙහි දමන ලද දර කොටයක් මෙන් වූ; පාපියො අපට වැඩි පහත් (පාපී) කිසිවෙක් ඇද්ද? පිහයන්ති තෙරුන් වහන්සේ ආරණ්‍යකහය, පංශුකුලිකයහ, පිණ්ඩපාතිකයහ, සන්තුෂ්ඨයහ බොහෝ දෙනා ඔබ වහන්සේ පත්ති යනු අරුත යි. සග්ගගාමිනං ස්වර්ගයට යන්නවුන්ගේ, ගියවුන්ගේ ද.
නව වැනි සූත්‍රය යි.
10. සජ්ඣාය සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි - යං සුදං නිපාත මාත්‍රයකි. සජ්ඣායබහුලො නිස්සරණ පර්යාප්ති වශයෙන් හැදෑරීමෙන් බොහෝ කාලයක් සජ්ඣායනය කරමින් (හදාරමින්); හේ ආචාර්යයන් වහන්සේගේ දිවාස්ථානය ඇමද ආචාර්යයන් වහන්සේ (එන දෙස) පරීක්‍ෂා කරමින් සිටී; ඉක්බිති ඔහු එනු දැකලා ම පෙර ගමන් කොට පා සිවුරු පිළිගෙන පනවන ලද අසුනෙහි සිාටි (උන්වහන්සේට) තල් පතින් පවන් සලා පැන් විමසා පා දොවා තෙල් ගල්වා වැඳ සිටියේ උදෙසීම් ගෙන සූර්යාස්තංගමය වන තෙක් (රෑ බෝ වන තෙක්) සජ්ඣායනය කරයි. හේ නාන කොටුවේ දිය උවටැන් කොට අඟුරු කබලේ ගිනි දල්වයි. ස්නානය කොට පැමිණි ආචාර්යයන් වහන්සේගේ පාවල දිය පිසදා පිට පිරිමැදීම් කර වැඳ උද්දේස ගෙන ප්‍රථම යාමයෙහි සජ්ඣායනය කොට මධ්‍යම යාමයෙහි සිරුර සතප්පා පශ්චිම යාමයෙහි උද්දේස ගෙන අරුණෝද්ගමනය දක්වා සජ්ඣායතනය කරයි. සජ්ඣායතනය කොට උදයව්‍යයය (ඇතිවීම් නැතිවීම්) වශයෙන් සම්මර්ශනය කරයි. එයින් ඉතිරි උපාදාය රූපය භූතරූපය නාම රූපය යි. පඤ්චස්කන්ධ පිළිබඳ ව විපස්සනාව වඩා අර්හත්වයට පත් විය. අප්පොස්සුක්කො උද්දේශ ගැනීමෙහිත් සජ්ඣායතනය කිරීමෙහිත් උත්සාහවත් නො වූයේ සඞ්කසායති දැන් යම් අර්ථයක් උදෙසා මම සජ්ඣායතනය කරම් ද මගේ ඒ අර්ථය මස්තක ප්‍රාප්ත විණි. දැන් මට සජ්ඣායනයෙන් (ඇති ඵලය) කිම? යි ඵලසමාපත්ති සුවයෙන් කාලය ගත කරයි. අජ්ඣභාසි කිම තෙරුනට අපහසුවක් හට ගැනිණි ද, නැතහොත් ඔහුගේ ආචාර්යයනට (අපහසුවක් වී ද), කුමන කරුණක් නිසා මධුර ස්වරයෙන් සජ්ඣායනය නො කරත් දැයි පැමිණ සමීපයේ සිට පැවසී ය.