3. පෙසල අතිමඤ්ඤනා සූත්‍ර වර්ණනාව
තුන් වැන්නේ - අතිමඤ්ඤති මේ මහල්ලෝ කවරහු ද? ඔවුනට පාළි නැත; අටුවා (ද) නැත; පදව්‍යඤ්ජන මධුරතාව (ද) නැත; අපට පාළියත්, අට්ඨකථාත් න්‍යාය සියයකින් න්‍යාය දහසකින් පිහිටියේ යි ඉක්මවා සිතයි. ගොතමො ගෞතම බුදුන්ගේ ශ්‍රාවක හේතුවෙන් තමා ආමන්ත්‍රණය කරයි. මානපථං මානාරම්මණ මෙන් ම මාන හා එක් වුණු ධර්ම, විප්පටිසාරහුවා ‘විප්පටිසාරි අහුවා’ (විපිළිසර විය) යනු අර්ථ යි. මග්ගජිනො මාර්ගයෙන් දිනන ලද කෙළෙස් ඇත්තේ; කිත්තිඤ්ච සුඛඤ්ච ගුණ වැනීම හා කායික මානසික සුවය ද, අඛිලොධ පධානවා ‘අකිලො ඉධ පධානවනා’ මෙහි චෙතෝඛිල නැති ප්‍රධන් වීර්යය ඇති - විරිය සම්පන්න වූ; විසුද්ධො පිරිසිදු වූයේ වෙයි. අසෙසං ශේෂ කිරීමක් නැති ව, නව විධ වූ; විජ්ජායන්තකරො විද්‍යාවෙන් කෙළෙස්වල කෙළවර තැනූ; සමිතාවී රාගාදීන්ගේ සංසුන් බවින් උපශාන්ත වූ.
සතර වැනි සූත්‍රය යි.
4. ආනන්ද සූත්‍ර වර්ණනාව
සිවු වැන්නේ - රාගො ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ මහා පුණ්‍යවන්තයහ. සම්මානයට පාත්‍ර වූවාහු ය. රාජ රාජ මහාමාත්‍යාදීහු උන්වහන්සේට ආරාධනය කොට නිවෙස් ඇතුළෙහි වඩා හිඳුවත්. සර්වාලංකාර ප්‍රතිමණ්ඩිත වූ ස්ත්‍රීහු ද තෙරුන් සමීපයට පැමිණ, වැඳ තල් නටුවෙකින් (තල්පතකින්) පවන් සලති. ආසන්නයේ හිඳ ප්‍රශ්න අසති. ධර්මය අසති. එහි අළුත මහණ වූ ආයුෂ්මත් වංගීස තෙරණුවන්ට අරමුණක් අල්ලා ගැනීමට අපොහොසත් වූයෙන් ස්ත්‍රීරූපාරම්මණ වූ රාගයක් සිත වැනසී ය. හේ ශ්‍රද්ධාවෙන් පැවිදි වූ හෙයින් සෘජු ස්වභාව ඇති කුල පුත්‍රයෙක් වූයේ, මගේ මේ රාගය වර්ධනය වී මෙලෝ පරලෝ අර්ථය නසතියි සිතා වහා ම තෙරුනට තමා ගැන අනාවරණය කරන්නේ කාමරාගෙන ආදිය පැවසී ය.
එහි නිබ්බාපනං රාග නිවීම් හේතුවක් (උපායක්) විපරියෙසා විපර්යාස හේතුවෙන්, සුභං රාගූගුපසංහිතං රාගයට හේතුවන ඉෂ්ටාරම්මණයක්, පරතො පස්ස අනිත්‍ය වශයෙන් දකිනු මැනවි. මා ච අත්තතො ආත්ම වශයෙන් නො බලව, කායගතාත්‍යත්‍ථු ‘කායගතා තෙ අත්‍ථු’ (කායගතා සතිය ඔබට වේවා) අනිමිත්තඤ්ච භාවෙහි නිත්‍ය ආදි නිමිති බැහැර කරන හෙයින් විපස්සනාව ‘අනිමිත්තා’ නමි. එය වඩන්නෙහි යි කියයි. මානාභිසමයා මානයේ දර්ශනාභිසමයෙන් මෙන් ම පහාණාභිසමයෙන් ද; උපසන්තො රාගාදිය ශාන්ත වූ හෙයින් උපශාන්ත වූ.
සතර වැනි සූත්‍රය යි.
5. සුභාසිත සූත්‍ර වර්ණනාව
පස් වැන්නේ - අඞ්ගෙහි කාරණවලින් හෝ (අවයවවලින්) කොටස්වලින්; මුසාවාදයෙන් වෙන්වීම ආදි සතර සුභාෂිතයේ කාරණා යි. සත්‍ය වචන ආදි සතර අවයව කොටස් ය. ‘අංග’ ශබ්දය කාරණ අර්ථය ඇත්තේ ද වේ. චතුහි නිස්සක්ක (පඤ්චමී විභක්ති) වචන වේ. කොටස් (අවයව) අර්ථයෙහි කරණ විභක්ති හෝ වේ. සමන්නාගතා ‘සමනු ආගතා’ - පවත්නා, යුක්ත, වාචා ‘වාචා ගිරා ව්‍යප්පථො’ (වචනය, පැවසීම, කථා කිරීම) යනුවෙන් ද “නෙළා කණ්ණසුඛා” (කෙළතොලු නො වූ කණට සුවය එළවන) යනුවෙන් ද ආ කථා කරන වචන යි. යම් වචනයක් “යං චෙතසිකං කම්මං” යනුවෙන් (වචී) විඤ්ඤත්ති (ලෙස) ද, “යා චතුහි වචීදුච්චරිතෙහි ආරති -පෙ- අයං වුච්චති සම්මා වාචා” යනුවෙන් විරති වාචා (ලෙස) ද, “ඵරුසා වාචා භික්‍ඛවෙ ආසෙවිතා භාවිතා බහුලීකතා නිරයසංවත්තනිකා හොති” යනුවෙන් “චෙතනාවාචා” (ලෙස) ද පැමිණියේ ද, එය මෙහි අදහස් නො කරන ලදි. මක් නිසා ද? නො පැවසිය යුතු හෙයිනි. සුභාසිතා මැනවින් ප්‍රකාශ කරන ලද; එයින් මෙහි අර්ථය ගෙන එන බැව් දක්වයි. න දුබ්භාසිතා දුෂ්ට ලෙස ප්‍රකාශ කරන ලද; එයින් මෙහි අනර්ථය ගෙන එන බැව් දක්වයි. අනවජ්ජා රාගාදි වැරදි රහිත වූ; මෙයින් එහි කාරණ ශුද්ධියත් දෝෂ සතර නොමැති බවත් දක්වයි. අනනුවජ්ජා දොස් පැවරීමෙන් මිදුනා වූ; මෙයින් එහි සර්වාලංකාර සම්පත්තිය දක්වා ලයි. විඤ්ඤූනං පණ්ඩිතයන්ගේ. එයින් (මේ වචනයෙන්) නින්දා ප්‍රශංසා සම්බන්ධයෙන් බාලයෝ ප්‍රමාණ (ප්‍රාමාණික) නො වෙති යි දක්වයි.
සුභාසිතං යෙව භාසති මෙය, පුද්ගලාධිෂ්ඨාන දේශනාවෙහි වාක් අංග සතරෙන් එකක නිර්දේශ වචනයකි. නො දුබ්භාසිතං ඒ වාචාංගයේ ම ප්‍රතිපක්ෂ (විරුද්ධ) වූ කථා කිරීම වළකා ලීම යි. මෙයින් මිථ්‍යා වචනප්‍රහාණය දක්වයි. සුභාසිතං මෙයින් ප්‍රහීණ වූ මිථ්‍යා වචනයෙන් කිවයුතු දේ පිළිබඳ ලක්ෂණය යි. අංග පෙන්වා දීම පිණිස මෙහි නො කිව යුතු දේ මුලින් නො කියා කිවයුත්ත ම කී ය. ධම්මං යෙව යන ආදියෙහි ද මේ න්‍යාය ම ය. මෙහි ද පළමු වැන්නෙන් කේළාම් බස් දොස් රහිත - සමගි කරවන වචන කියන ලදි. දෙවැන්නෙන් සම්ඵප්‍රලාප දෝෂ රහිත - ධර්මයන්ගෙන් බැහැර නො ගිය - සීමිත වචනය යි. ඉතිරි දෙකින් පරුෂ, අසත්‍ය රහිත වූ ප්‍රිය සත්‍ය වචන යි. ඉමෙහි ඛො ආදියෙන් ඒ අංග ප්‍රත්‍යක්ෂ ලෙස දක්වමින්, ඒ වචන පිට කරයි. යම් අන්‍ය වූ ප්‍රතිඥා ආදි අවයවවලින් ද, නාම ආදි පදවලින් ද, ලිංග - වචන - විභක්ති - කාල - කාරක සම්පත්ති යන ඒවායින් ද සමන්විත මුසාවාද ආදී අන්‍ය වචන පවා සුභාෂිතය යි සිතත් ද එය (පිළිගැනීම) ප්‍රතිෂෙධනය කරයි. (වළක්වා ලයි). අවයව ආදියෙන් යුක්ත වූයේ වුව ද ඒ ආකාර වචන දුබ්භාෂිත ම වේ. තමාටත් අනුනටත් අනර්ථකර වන හෙයිනි. මේ සතර අංගයෙන් ම යුක්ත වූ ඉදින් ම්ලේච්ඡ භාෂා අන්තර්ගත වූ, දිය අදින දාසිකගේ ගීත වූයේ වුව ද ලෞකික ලෝකෝත්තර සුවය ගෙන දෙන හෙයින් සුභාෂිත වූයේ ම (වේ.)
ඒ එසේ ම ය. මග අසළ අස්වනු රකින, සිංහල භාෂාවෙන් ජාති ජරාමරණ සහිත ගීතිකාවක් ගයන සිංහල මෙහෙකාර තැනැත්තියක ගේ හඬ අසා මග යන සැටක් පමණ වූ විදර්ශනා වඩන භික්ෂූහු අර්හත්වයට පැමිණියහ. එසේ ම විදර්ශනාව ඇරඹූ තිස්ස නම් භික්ෂුව පියුම් විලක් අසලින් යන්නේ, පියුම් විලෙහි පියුම් කඩා:
පාතො ඵුල්ලිතකොකනදං සුරියාලොකෙන තජ්ජීයතෙ
එවං මනුස්සත්තගතා සත්තා ජරාභිවෙගෙන මද්දීයන්ති
(උදයේ පිපුණු උපුල් මල සූර්යාලෝකයෙන් තර්ජනය කරනු ලැබේ. එසේ මනුෂ්‍යත්වයට පත් සත්ත්වයෝ ජරා වේගය විසින් මර්දනය කරනු ලැබෙති.)
යන මේ ගීතිකා ගයන දාසියකට ඇහුම්කන් දී අර්හත් බවට පත්විය.
බුද්ධාන්තරයෙහි ම තවත් පුරුෂයෙක් පුතුන් සත් දෙනකු සමග වනයෙන් පැමිණ මෝල් ගසෙන් වී කොටන ගැහැණියක විසින්:
“ජරාය පරිමද්දිතං එතං මිලාතං ඡවිචම්මනිස්සිතං
මරණෙන භිජ්ජති එතං මච්චුස්ස ඝාසමාමිසං
කිමීනං ආලයං එතං නානාකුණපපූරිතං
අසුචිස්ස භාජනං එතං කදළික්‍ඛන්‍ධසමං ඉදං”
(ජරාවෙන් පිරිමදිනා ලද සිවිය - සම - ඇසුරු කරන ලද, මේ මිලාන වූ (ශරීරය) මරණයෙන් බිඳී යයි. එය මාරයාගේ ආහාරය යි. කෘමීන්ගේ නිවහනක් වූ මෙය නොයෙක් කුණප කොටස්වලින් පිරී ඇත. අශුචියට භාජනයක් වූ මෙය කෙසෙල් කඳක් මෙනි”)
යන මේ ගීතිකාව අසා (ඒ ගැන) සිත මෙහෙයවන්නේ පුත්‍රයන් සමග පසේ බුදු බවට පත්විය.
මෙසේ මේ අංග සතරින් සමන්විත වූ වචන, ම්ලේච්ඡ භාෂාහි අන්තර්ගත වූයේත්, දිය අදින දාසියකගේ ගීතිකාවලින් යුක්ත වූයේත් වුව ද සුභාෂිත යි දත යුත්තේ ය. සුභාෂිත බැවින් අනවද්‍ය ය. දොස් දැක්වීම් රහිත ය. පණ්ඩිතයන් හට ය, අර්ථය කැමති කුල පුත්‍රයනට ය, අර්ථපටිසරණ වූවනට ය. ව්‍යඤ්ජනපටිසරණ වූවනට නො වේ.