12. වඞ්ගීස සූත්ර වර්ණනාව
දොළොස් වැන්නේ - ආයස්මා ප්රිය වචනයකි. වඞ්ගීසො ඒ තෙරුන්ගේ නම යි. හේ පෙර පදුමුත්තර (බුදුන්) කාලයෙහි ප්රතිභා (බුද්ධි) සම්පන්න වූ ශ්රාවකයකු දැක දන් දී පැතීමක් කොට කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අපගේ බුදුන් වහන්සේගේ සමයෙහි මුළු දඹදිව වාද කිරීමේ කැමති බව නිසා දඹ අත්තක් පරිහරණය කොට එක් පිරිවැජියකු සමග වාද කොට වාදයෙහි ජය පරාජයක් නො මැති බව හේතුවෙන් එම පිරිවැජියා සමග ම සංවාස කොට ජීවත් වන එක් පරිබ්රාජිකාවකගේ කුසයෙහි උපන්නේ විය පත් ව මවගෙන් වාද පන්සියයක් ද පියාගෙන් වාද පන්සියයක් දැයි වාද දහසක් ඉගෙන හැසිරෙයි. එක් විද්යාවක් ද දනියි. ඒ විද්යාව ජප කොට මළවුන්ගේ සිරසට ඇඟිල්ලෙන් ඇන, අසුවල් තැන උපනැයි දනියි. හේ අනුපිළිවෙලින් ගම් නියම්ගම් ආදියෙහි සැරිසරන්නේ තරුණයන් පන්සියයක් සමග සැවතට අනුප්රාප්ත වූයේ නගර දොරටු ශාලාවෙහි හිඳියි.
එදා ද නගර වාසීහු පෙරබත්හි දානය දී පසු බත්හි ශුද්ධ වූ උත්තරාසංග ඇත්තාහු සුවඳ මාලා ආදිය අතින් ගත්තෝ ධර්ම ශ්රවණය පිණිස විහාරයට යති. තරුණයා (ඒ බැව්) දැක කොහි යන්නහු දැයි විචාළේ ය. ඔවුහු බුදුන් සමීපයෙහි ධර්ම ශ්රවණය පිණිස ය යි කීහ. හේ ද පිරිවර සහිත ව ඔවුන් සමග ගොස් පිළිසඳර කථා කොට එකත්පස් ව සිටියේ ය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඔහුට (මෙසේ) කී සේක. “වංගීස, හොඳ ශිල්පයක් දන්නෙහි ලු!” “භවත් ගෞතමයිනි, මම බොහෝ ශිල්ප දනිමි. ඔබ වහන්සේ කවරක් අරභයා විමසන්නෙහි ද? ‘ඡවරූපක (මළ කඳ පිළිබඳ ප්රතිරූප) ශිල්පය යි.” “එසේ ය, භවත් ගෞතමයිනි,” ඉක්බිති භාග්යවතුන් වහන්සේ සිය ආනුභාවයෙන් නිරයේ උපන්නෙකුගේ හිසක් පෙන්වා ‘වංගීස, මොහු කොහි උපන්නේදැයි විමසූ සේක. හේ මන්ත්රය ජප කොට ඇඟිල්ලෙන් ඇන “නිරයෙහි” යි පැවසී ය. හොඳයි වංගීස, මැනවින් කියන ලදී’ යි දෙව්ලොව උපන්නෙකුගේ හිසක් දැක් වූ සේක. එය ද එසේ ම ප්රකාශ කළේ ය. ඉක්බිති ක්ෂීණාශ්රව කෙනකුන්ගේ හිසක් පෙන් වී ය. හේ යළි යළිත් මන්ත්රය පෙරලූයේ වුව ද ඇඟිල්ලෙන් ඇන ද උපදින තැනක් නො දකියි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඔහුගෙන් “වංගීස, වෙහෙස දැයි විමසූ සේක, “එසේය භවත් ගෞතමයිනි,” “යළි යළිත් පරීක්ෂා කරව.” එසේ කරන්නේ වුව ද නො දැක “භවත් ගෞතමයනි, ඔබ වහන්සේ දන්නෙහි දැයි විමසී ය. මේ උපත මා හේතු කොට ගෙන ය. මම ඔහුගේ ගමන (යන තැන) දනිමි” “භවත් ගෞතමයිනි, මන්ත්රයෙන් දන්නෙහි ද?” “එසේ ය, වංගීසයෙනි, එක ම මන්ත්රයකින් දක්නෙමි.” “භවත් ගෞතමයනි, මගේ මන්ත්රය ගෙන මේ මන්ත්රය දෙනු මැනවි. “වංගීස, මගේ මන්ත්රය අමූලික ය.” “මට දෙනු මැනවි භවත් ගෞතමයිනි.” “මා ළඟ පැවිදි නොවූවහුට දීමට නො හැක්කේ ය.” හේ අන්තේවාසිකයන් ඇමතී ය. “සොහොයුරනි, ශ්රමණ ගෞතමයෝ වැඩිපුර ශිල්පයක් දනිති. මම උන් වහන්සේගේ ශාසනයෙහි මහණ වී ශිල්පය ගනිමි. එවිට මුළු දඹදිව මට වැඩියෙන් දන්නා කෙනෙක් නම් නො වන්නාහු ය. ඔබලා මා එන තෙක් උකටලී නො වී සැරිසරව්’ යි ඔවුන් උනන්දු කරවා, “මා පැවිදි කරවනු මැනවි’ යි කී ය. බුදුහු නිග්රෝධ කාශ්යප හිමියනට පැවරූ සේක. තෙරුන් වහන්සේ තමන් වසන තැනට ගෙන ගොස් පැවිදි කරවූ සේක. හේ පැවිදි ව බුදුන් වහන්සේ වෙත පැමිණ වැඳ සිටිමින් ශිල්පය දෙනු මැනවියි අයැදී ය. ‘වංගීසය, ඔබ (ඔබේ) ශිල්පය ලුණු නැති බොදුන්, (වැළඳීම) රළු බිම්හි නිදීම ආදියෙන් සකසා ගන්නෙහි ය. මේ ශිල්පයට ද පිළිවෙලක් ඇත. එය කරව’යි (කී සේක). ‘යහපති ස්වාමීනි,” ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඔහුට තිස් දෙයාකාර කමටහන් වදාළ සේක. හේ එය අනුලෝම ප්රතිලෝම වශයෙන් මෙනෙහි කරන්නේ විපස්සනා වඩා අනුක්රමයෙන් අර්හත්වයට පත් වූයේ ය.