8. කතමොරකතිස්ස සූත්‍ර වර්ණනාව
අට වැන්නේ - අකිස්සවං යනු ‘කිස්සවා’ ප්‍රඥාව යි කියනු ලැබේ. ‘ප්‍රඥාව නැත්තේ’ යන අරුත යි.
අට වැනි සූත්‍රය යි.
9. තුදුබ්‍රහ්ම සූත්‍ර වර්ණනාව
නව වැන්නේ - ආබාධිකො “සංසපමත්තීහි පිළකාහි” ‘අබ ඇට පමණ ගඩුවලින්’ (බිබිළිවලින්) ආදී ක්‍රමයට මී ළඟ සූත්‍රයෙහි එන ආබාධයෙන් රෝගාතුර වූයේ. බාළ්හගිලානො දැඩි ලෙස ගිලන් වූයේ, තුදු කෝකාලිකගේ උපාධ්‍යාය තුදු තෙරුන් වහන්සේ අනාගාමි ඵලයට පත් ව බ්‍රහ්ම ලෝකයෙහි උපන්නේ ය. හේ බූමාටු දේවතාවන් ආදීන් කොට, කෝකාලික විසින් අග්‍රශ්‍රාවකයන් හට හි අන්තිම වස්තුවෙන් (පාරාජිකාපත්තියෙන්) දොස් පැවරීමෙන් නුසුදුසු දෙයක් කරන ලදැයි පිළිවෙලින් බ්‍රහ්ම ලෝකය දක්වා පැතුරුණු කෝකාලිකගේ පාප කර්මය අසා, නිවටයා මා බලා සිටියදී ම නො නැසේවා, තෙරුන් කෙරෙහි පැහැදීම් වස් ඔහුට අවවාද කරන්නෙමි යි පැමිණ ඔහු ඉදිරියේ සිටියේ ය. ඒ අරභයා ‘තුදු පච්චෙක බ්‍රහ්මා’ යි කියන ලදි. පෙසලො ප්‍රියශීලී, කොසි ත්‍වං ආවුසො වැතිර සිටිමින් ම කබර ඇස් දල්වා මෙසේ කී ය. පස්ස යාචඤ්ච තෙ බලව, ඔබ විසින් යම් පමණ අපරද්ධං (අපරාධයක් කරන ලද ද) තමාගේ නළලෙහි මහා ගඩුව නො දකිමින් අබ ඇට පමණ වූ ගඩු හේතුවෙන් මට දොස් පැවරිය යුතු ය යි සිතහි දැයි කී ය.
ඉක්බිති සාවද්‍ය දෘෂ්ටියට පිළිපන් මේ නිවටයා විෂ ගිල්ලකු මෙන් කිසිවකුගේ වචන නො කරන්නේය යි දැන පුරිසස්ස හි යනාදිය කී ය.
එහි කුඨාරි කෙටේරිය බඳු පරුෂ වචන; ඡින්‍දති කුශල මූල සංඛ්‍යාත මුල් ම සිඳින්නේ ය. නින්‍දියං නින්දා කටයුතු දුශ්ශීල පුද්ගලයා, පසංසති උත්තමාර්ථයෙහි සම්භාවනා කොට (ගරු කොට) ක්‍ෂීණාශ්‍රව යි කියයි.
තං වා නින්‍දති යො පසංසියො යම් ක්‍ෂීණාශ්‍රවයෙක් ප්‍රශංසා කටයුත්තේ ද උන්වහන්සේට පාරාජිකාපත්තියෙන් චෝදනා කරමින් මොහු දුශ්ශීලයෙකි යි කියයි ද, විචිනාති මුඛෙන සො කලිං හේ ඒ අපරාධය මුවෙන් රැස් කරයි නමි. කලිනා තෙන ඒ අපරාධයෙන්, සුඛං න වින්‍දති නින්දා කළ යුත්තහුට ප්‍රශංසා කිරීමෙනුත් ප්‍රශංසා කළයුත්තහුට නින්දා කිරීමෙනුත් විපාකය සමාන ම ය.
සබ්බස්සාපි සහාපි අත්තනා තමනුත් සමඟ තමාට අයත් සියල්ල ඇතුළු ව දූ කෙළියෙහි දී (ලබන) ධන පරාජය නම් වූ මෙය අල්පමාත්‍ර අපරාධයකි. යො සුගතෙසු යමෙක් නිවැරදි මාවතෙහි ගිය පුද්ගලයන් කෙරෙහි සිත දූෂණය කර ගන්නේ ද එය සිත දූෂ්‍ය කිරීමක් ම ය. එයින් කරන ලද අපරාධ මහත් ම අපරාධයකි.
දැන් එහි වඩාත් මහත් බැව් දක්වමින් ‘සතං සහස්සානං’ ආදිය පැවසී ය. එහි සතං සහස්සානං නිරබ්බුද ගණනින් ලක්ෂයකි. ඡත්තිංසති තවත් නිරබ්බුද තිස් හයකි. පඤ්ච ච අබ්බුද ගණනින් අබ්බුදාති අර්බුද පහකි. යමරියගරහී ආර්යයන් හට ගරහන්නේ යම් නිරයක උපදී ද එහි මෙපමණ ආයු ප්‍රමාණයකි.
නව වැනි සූත්‍රය යි.
10. දුතියකොකාලික සූත්‍ර වර්ණනාව
දස වැන්නේ - කොකාලිකො භික්‍ඛූ යෙන භගවා තෙනුපසංකමි මේ කෝකාලික කවු ද? කුමක් නිසා පැමිණියේ ද? මෙතෙමේ කෝකාලික රටේ කෝකාලික නගරයෙහි කෝකාලික සිටුගේ පුතා ය. පැවිදි ව පියා විසින් කරවන ලද විහාරයෙහි නමින් වසයි. චුල්ලකෝකාලික දේවදත්තගේ ශිෂ්‍යයා නො වේ. ඔහු බ්‍රාහ්මණ පුත්‍ර වූ මහාකෝකාලික නමි. භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි දෑගසවුවෝ පන්සියයක් පමණ භික්‍ෂූන් සමග ජනපදචාරිකාවේ යෙදෙන සේක් වස්කාලය ළංවුණු හෙයින් විවේක සුවයෙන් විසීමට කැමැත්තේ ඒ භික්‍ෂූන් පිටත් කර යවා තම පාත්‍ර සිවුරු ගෙන ඒ ජනපදයෙහි ඒ නගරයට පිවිස ඒ විහාරයට වැඩියහ. එහි දී උන්වහන්සේලාට කෝකාලික තෙමේ ආචාර දැක්වී ය. උන්වහන්සේලා ඔහු සමග සතුටු සිත් ඇති ව ඇවැත්නිහ, අපි මෙහි තෙමසක් වසන්නෙමු. කිසිවෙකුට නො දන්වනු මැනවි යි පොරොන්දුවක් ගෙන විසූහ. වැස, පවාරණ දිනයෙහි පවාරණය කොට, ඇවැත්නි, අපි යමු’ යි කෝකාලික විමසූහ. කෝකාලික තෙම, ඇවැත්නි අද (මෙහි) එක දවසක් වැස හෙට යනු මැනවි’ කියා කියා දෙවන දවසේ නගරයට පිවිස මිනිසුන් ආමන්ත්‍රණය කළේ ය. ‘පින්වත්නි ඔබලා අගසව්වන් මෙහි පැමිණ වසන බැව් නො දන්නහු, කිසිවෙක් උන්වහන්සේලාට ප්‍රත්‍යයෙන් වත් ආරාධනය නො කරයි.” නගර වාසීහු “තෙරුන් වහන්සේලා කොහි ද? කුමක් නිසා අපට නොදැන්වූයෙහි ද?” “පින්වත්නි, දැන්වීමක් කුමට ද? භික්‍ෂූන් වහන්සේලා දෙනම තෙරුන්ගේ ආසනවල සිටිනු නො පෙනේ ද? මේ අග්‍රශ්‍රාවකයෝ ය” ඔවුහු වහා රැස් ව ගිතෙල් පැණි ආදියත් සිවුරු වස්ත්‍රත් ගෙනාහ.
කෝකාලික තෙම (මෙසේ) සිතී ය: අග්‍රශ්‍රාවකයෝ බෙහෙවිාන් ම අල්පේච්ඡ වූවෝ ය. (වැරදි ලෙස) පාවිච්චි කළ වචන මගින් ලබාගත් ලාභය භුක්ති නො විඳිති. භුක්ති නො විඳිමින් ආවාසයෙහි වසන්නාට දෙනු මැනවියි කියත් යයි ඒ ලාභය (තමන්ට) අත් කරවා ගෙන තෙරවරුන් සමීපයට ගියේ ය. තෙරුන් වහන්සේලා මේ ප්‍රත්‍යය අපට වත් කෝකාලිකට වත් කැප නැතැයි ප්‍රතික්ෂේප කොට වැඩියහ.
කෝකාලික තෙම කෙසේ නම් තමනුත් නො ගෙන අපටත් නො දෙවා යත් දැයි වෛරයක් ඇති කර ගත්තේ ය. උන්වහන්සේලා ද භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ යළි තම පිරිස රැගෙන ජනපද චාරිකාවෙහි යෙදෙන්නාහු අනුපිළිවෙලින් ඒ රටේ ඒ නගරයට ම පෙරළා පැමිණියහ. නගර වැසියෝ තෙරුන් හැඳින ගෙන පිරිකරත් සමග දන් සාදා නගරය මැද මණ්ඩපයක් කොට දන් දුන්හ. තෙරවරුන්ට පිරිකර ද පිරිනැමූහ. තෙරවරු භික්ෂුසංඝයාට පවරා දුන්හ.
ඒ දැක කෝකාලික මෙසේ සිතී ය: මේ අය පෙර අල්පේච්ඡ වූහ. දැන් පාපී අදහස් ඇත්තාහු ය. පෙර දීත් අල්පේච්ඡ සන්තෝෂයෙන් වෙන්වූවා හා සමාන යයි සිතමි යි තෙරුන් වෙත පැමිණ, ඇවැත්නි, ඔබ වහන්සේලා පෙර අල්පේච්ඡ වගේ (සිට) දැන් පාපි භික්‍ෂූන් වී ඇතැයි කියා ඔවුන්ගේ ප්‍රතිෂ්ඨාව මුලින් ම බිඳින්නෙමි යි වහ වහා නික්මී සැවැත් නුවරට ගොස් බුදුන් වහන්සේ යම් තැනක ද එතැනට පැමිණියේ ය. මේ කෝකාලික තෙමේ මේ කරුණින් ද ළඟට පැමිණිායේ යි දත යුතු ය.