10. දුතියකොකාලික සූත්‍ර වර්ණනාව
දස වැන්නේ - කොකාලිකො භික්‍ඛූ යෙන භගවා තෙනුපසංකමි මේ කෝකාලික කවු ද? කුමක් නිසා පැමිණියේ ද? මෙතෙමේ කෝකාලික රටේ කෝකාලික නගරයෙහි කෝකාලික සිටුගේ පුතා ය. පැවිදි ව පියා විසින් කරවන ලද විහාරයෙහි නමින් වසයි. චුල්ලකෝකාලික දේවදත්තගේ ශිෂ්‍යයා නො වේ. ඔහු බ්‍රාහ්මණ පුත්‍ර වූ මහාකෝකාලික නමි. භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි දෑගසවුවෝ පන්සියයක් පමණ භික්‍ෂූන් සමග ජනපදචාරිකාවේ යෙදෙන සේක් වස්කාලය ළංවුණු හෙයින් විවේක සුවයෙන් විසීමට කැමැත්තේ ඒ භික්‍ෂූන් පිටත් කර යවා තම පාත්‍ර සිවුරු ගෙන ඒ ජනපදයෙහි ඒ නගරයට පිවිස ඒ විහාරයට වැඩියහ. එහි දී උන්වහන්සේලාට කෝකාලික තෙමේ ආචාර දැක්වී ය. උන්වහන්සේලා ඔහු සමග සතුටු සිත් ඇති ව ඇවැත්නිහ, අපි මෙහි තෙමසක් වසන්නෙමු. කිසිවෙකුට නො දන්වනු මැනවි යි පොරොන්දුවක් ගෙන විසූහ. වැස, පවාරණ දිනයෙහි පවාරණය කොට, ඇවැත්නි, අපි යමු’ යි කෝකාලික විමසූහ. කෝකාලික තෙම, ඇවැත්නි අද (මෙහි) එක දවසක් වැස හෙට යනු මැනවි’ කියා කියා දෙවන දවසේ නගරයට පිවිස මිනිසුන් ආමන්ත්‍රණය කළේ ය. ‘පින්වත්නි ඔබලා අගසව්වන් මෙහි පැමිණ වසන බැව් නො දන්නහු, කිසිවෙක් උන්වහන්සේලාට ප්‍රත්‍යයෙන් වත් ආරාධනය නො කරයි.” නගර වාසීහු “තෙරුන් වහන්සේලා කොහි ද? කුමක් නිසා අපට නොදැන්වූයෙහි ද?” “පින්වත්නි, දැන්වීමක් කුමට ද? භික්‍ෂූන් වහන්සේලා දෙනම තෙරුන්ගේ ආසනවල සිටිනු නො පෙනේ ද? මේ අග්‍රශ්‍රාවකයෝ ය” ඔවුහු වහා රැස් ව ගිතෙල් පැණි ආදියත් සිවුරු වස්ත්‍රත් ගෙනාහ.
කෝකාලික තෙම (මෙසේ) සිතී ය: අග්‍රශ්‍රාවකයෝ බෙහෙවිාන් ම අල්පේච්ඡ වූවෝ ය. (වැරදි ලෙස) පාවිච්චි කළ වචන මගින් ලබාගත් ලාභය භුක්ති නො විඳිති. භුක්ති නො විඳිමින් ආවාසයෙහි වසන්නාට දෙනු මැනවියි කියත් යයි ඒ ලාභය (තමන්ට) අත් කරවා ගෙන තෙරවරුන් සමීපයට ගියේ ය. තෙරුන් වහන්සේලා මේ ප්‍රත්‍යය අපට වත් කෝකාලිකට වත් කැප නැතැයි ප්‍රතික්ෂේප කොට වැඩියහ.
කෝකාලික තෙම කෙසේ නම් තමනුත් නො ගෙන අපටත් නො දෙවා යත් දැයි වෛරයක් ඇති කර ගත්තේ ය. උන්වහන්සේලා ද භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ යළි තම පිරිස රැගෙන ජනපද චාරිකාවෙහි යෙදෙන්නාහු අනුපිළිවෙලින් ඒ රටේ ඒ නගරයට ම පෙරළා පැමිණියහ. නගර වැසියෝ තෙරුන් හැඳින ගෙන පිරිකරත් සමග දන් සාදා නගරය මැද මණ්ඩපයක් කොට දන් දුන්හ. තෙරවරුන්ට පිරිකර ද පිරිනැමූහ. තෙරවරු භික්ෂුසංඝයාට පවරා දුන්හ.
ඒ දැක කෝකාලික මෙසේ සිතී ය: මේ අය පෙර අල්පේච්ඡ වූහ. දැන් පාපී අදහස් ඇත්තාහු ය. පෙර දීත් අල්පේච්ඡ සන්තෝෂයෙන් වෙන්වූවා හා සමාන යයි සිතමි යි තෙරුන් වෙත පැමිණ, ඇවැත්නි, ඔබ වහන්සේලා පෙර අල්පේච්ඡ වගේ (සිට) දැන් පාපි භික්‍ෂූන් වී ඇතැයි කියා ඔවුන්ගේ ප්‍රතිෂ්ඨාව මුලින් ම බිඳින්නෙමි යි වහ වහා නික්මී සැවැත් නුවරට ගොස් බුදුන් වහන්සේ යම් තැනක ද එතැනට පැමිණියේ ය. මේ කෝකාලික තෙමේ මේ කරුණින් ද ළඟට පැමිණිායේ යි දත යුතු ය.
භාග්‍යවතුන් වහන්සේ වහ වහා එන ඔහු දැකීමෙන් ම මොහු අග්‍රශ්‍රාවකයනට ආක්‍රෝශ කිරීමට කැමැත්තෙන් පැමිණියේ ය යි දැන ගත්හ. වැළැක්වීමට හැක්කේ වේ දැයි විමසන සේක්, වැළැක්වීමට නො හැකි ය, තෙරුන් හට අපරාධයක් කොට පැමිණියේ ඒකාන්තයෙන් ම පද්ම නිරයෙහි උපදින්නේ යැයි දැක සැරියුත්මුගලන් හට පවා අනෙකෙකු ගරහනු අසා නො වළක්වතියි (යන) චෝදනාවෙන් මිදෙනු පිණිස ආර්ය උපවාදයේ මහත් සාවද්‍ය බව දක්වනු පිණිස මා හෙවං යි තෙවරක් වැළැක්වූ සේක. එහි මාහෙවං එසේ නො කියනු සද්ධායිකො ශ්‍රද්ධාව පමුණුවන, ප්‍රසාදය ගෙන එන, ඇදහිය යුතු වචන ඇත්තේ හෝ;
පච්චයිකො විශ්වාස කටයුතු වචන ඇත්තේ අචිරපක්කන්තස්ස බැහැර ගිය නොබෝ වේලාවකින් ම සබ්බොකායො ඵුටො අහොසි කෙසග මාත්‍රයක පවා ඉඩක් නො තබා සකල ශරීරය ම ඇට බිඳී උද්ගත වූ බිබිලිවලින් පැතිරී ගියේ ය. යම් හෙයකින් බුද්ධානුභාවයෙන් එම ආකාරයේ කර්මයක් බුදුවරුන්ගේ ඉදිරියේ විපාක නො දෙයි ද, දර්ශන උපචාරය (පෙනීම) පහවුණු පමණින් (විපාක) දෙයි. එහෙයින් බැහැර ගිය නො බෝ වේලාවකින් ඔහුට පිළිකා (බිබිලි) හට ගත්තේ ය. කුමක් නිසා පිටත් ව ගියේ ද? කර්මානුභාවයෙන් චෝදනා කරනු ලබන්නේ ගියේ ය. අවස්ථාව ලද කර්මය වැළැක්වීමට නො හැක්කේ ම ය. එය ඔහුට එහි සිටීමට (ඉඩ) නො දුන්නේ ය. කලායමත්තියො කඩල පමණ වූ; බෙලුවසලාටුකමත්තියො ළපටි බෙලි පමණ වූ, පභිජ්ජිංසු - භිජ්ජිංසු (බිඳුනහ) ඒවා බිඳණු විට (පිපිරුණු විට) සකල ශරීරය කොස් ගෙඩියක් මෙන් විය. හේ කුණු වූ ශරීරයෙන් යුතු ව ජේතවන දොරටුවෙහි විෂ ගිලින ලද මත්ස්‍යයකු මෙන් කෙසෙල් කොළවල නිදා ගත්තේ ය. ඉක්බිති ධර්මශ්‍රවණය සඳහා පැමිණි පැමිණි මිනිස්සු ‘චී කෝකාලිය, චී කෝකාලිය, නුසුදුස්සක් කළෙහි ය. තමන්ගේ කට නිසා බොහෝ විපතට පත් වූයේ ය යි කීහ. ඔවුන්ගේ (ප්‍රකාශය) අසා ආරක්ෂක දේවතාවෝ ‘ධික්කාරය’ (චී හඬ) නගා ලූහ. ආරක්ෂක දේවතාවන්ගේ (හඬ අසා) අහසේ සිටින දෙවියෝ ය යන මේ ආකාරයට අකනිටා භවන දක්වා එක ම ධික්කාරය හට ගත්තේ ය. ඉක්බිති ඔහුගේ උපාධ්‍යාය තැන පැමිණ අවවාද නො (පිළි) ගන්නා බැව් දැන ගරහා පිට ව ගියේ ය.
කාලමකාසි උපාධ්‍යායන් පිට ගිය කල කාලක්‍රියා කළේ ය. පදුම නිරයං වෙන් වූ (වෙන ම) පද්ම නිරයක් නම් නැත. අවීචි මහා නිරයෙහි ම පද්ම ගණනට පැසිය යුතු එක් ස්ථානයක උපන්නේ ය.
වීසතිඛාරිකො මගධ නැළියෙන් නැළිසතරක් කොසොල් රටේ එක නැළියක් වේ. ඒ නැළියෙන් නැළිසතරක් “ආළ්හක” (ලාභ) වේ. ලාභ සතරක් දෝණයක් වේ. දෝණ සතරක් ‘මාණිකා’ එකකි. මාණිකා සතරක් ‘ඛාරි’ ය. ඒ ඛාරියෙන් ඛාරි විස්සක්; තිලවාහො මගධ රටේ සියුම් තලවලින් තල කරත්තයක්, අබ්බුදො නිරයො අබ්බුද නම් වෙන ම නිරයක් නම් නැත. අවීචියෙහි ම අබ්බුද ගණනින් පැසිය යුතු ස්ථානයට මේ නම් වේ. නිරබ්බුද ආදියෙහි ද මේ පිළිවෙළ ම ය.