ඒ චතුර්විධ වූ පුෂ්පයෝ යම් සේ වෙත් ද, එසේ ම අද්ඝටිතඥැ, විඤ්චිතඥැ, නෙය්‍ය, පදපරම යි පුද්ගලයෝ සතර දෙනෙකි. එහි යම් පුද්ගලයකුට නිදසුන් දැක්වූ මොහොතත් සමග ධර්මාභිසමය වේ. ඒ පුද්ගලයා “උග්ඝටිතඤ්ඤැ” යි කියනු ලැබේ. යම් පුද්ගලයෙකුට ලුහුඬින් පවසන ලද්ද විස්තර වශයෙන් අර්ථය බෙදා වෙන් කරන ලද කල්හි ධර්මාභිසමය වේ ද ඒ පුද්ගලයා “විපඤ්චිතඤ්ඤැ” යි කියනු ලැබේ. යම් පුද්ගලයෙකුට උද්දේස කරන ලදුව, ප්‍රශ්න කරන ලදුව, යෝනිසෝ මනසිකාර කරන ලදුව, කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන ලදුව, භජනය කරන ලදුව, පයිරුපාසනය කරන ලදුව අනුපිළිවෙලින් ධර්මාභිසමය ඇති වේ. ඒ පුද්ගලයා “නෙය්‍ය” යි කියනු ලැබේ. යම් පුද්ගලයෙකුට බොහෝ ඇසුව ද, බොහෝ (සිත්හි) දැරුව ද, බොහෝ කියවුව ද, ඒ ජාතියෙහි ධර්මාභිසමයක් නො වේ. ඒ පුද්ගලයා ‘පදපරම’ යි කියනු ලැබේ. එහි භාග්‍යවතුන් වහන්සේ උපුල් වනය සමාන වූ දසසහස්‍රයක් ලෝක ධාතුව බලන සේක් අද පිපෙන මල් පෙන් ‘උග්ඝටිතඤ්ඤැ’ ද හෙට පිපෙන මල් මෙන් “විපඤ්චිතඤ්ඤැ” ද, තෙවැනි දවසේ පිපෙන මල් මෙන් “නෙය්‍ය” ද, මසුන් කැසුබුවන් භක්ෂණය කරන මල් මෙන් “පදපරම” ද දුටු සේක. දකිමින් ම අල්ප රජස්වූවන් මෙපමණ ය. මහා රජස්වූවන් මෙපමණ යයි ද දුටු සේක. එහි ද උද්ඝටිතඤ්ඤැ මෙපමණ ය යි ද මෙසේ සියලු ආකාරයෙන් දුටු සේක.
එහි පුද්ගලයන් තිදෙනාට මේ ආත්ම භවයේ දී ම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනාව අර්ථය සාදා ලයි. පදපරම වූවනට අනාගත අර්ථය පිණිස වාසනාව වේ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ සිවු වැදෑරුම් පුද්ගලයනට ධර්ම දේශනාව අර්ථය සලසන බව දැන දේශනා කරනු කැමැත්ත උපදවා යළිත් තුන් භවයෙහි සියලු සත්ත්වයන් භව්‍ය අභව්‍ය වශයෙන් දෙකොටසකට (වෙන්) කළ සේක. ඒ අරභයා කියන ලදි: අභව්‍ය සත්ත්වයෝ කවරහු ද? යම් ඒ සත්ත්ව කෙනෙක් කර්මාවරණයෙන් යුක්ත වූවාහු විපාකාවරණයෙන් යුක්ත වූවාහු ක්ලේශාවරණයෙන් යුක්ත වූවාහු අශ්‍රද්ධාවත් වූ කැමැත්ත නැත්තා වූ, නුවණ නැත්තා වූ අය ය. (ආර්ය) මාර්ගයට ප්‍රවේශවීම අභව්‍ය ය. කුසල් දහම්වල සම්‍යක් බවට ප්‍රවේශ වීම අභව්‍ය ය. මේ සත්ත්වයෝ අභව්‍ය (වෙති); භව්‍ය සත්ත්වයෝ කවරහු ද? යම් ඒ කෙනෙක් කර්මාවරණයෙන් යුක්ත නො වූවාහු ..... මේ සත්ත්වයෝ භව්‍ය වූවෝ වෙත්. එහි දී සියලු ම අභව්‍ය පුද්ගලයන් හැර ඥානයෙන් භව්‍ය පුද්ගලයන් ම ගෙන රාග චරිත මෙපමණ ය, ද්වේෂ, මෝහ, විතර්ක, ශ්‍රද්ධා, බුද්ධි චරිත (මෙ පමණ) යයි කොටස් හයක් කළ සේක. මෙසේ කොට දහම් දෙන්නෙමි යි සිතූ සේක.
පච්චභාසි ‘පති අභාසි’ (පෙරළා වදාළ සේක.) අපාරුතා විවෘත කරන ලදි. අමතස්ස ද්වාරා ආර්ය මාර්ගය, එය අමෘත සංඛ්‍යාත වූ නිර්වාණයට දොරටුව යි. එය මා විසින් විවර කොට තබන ලද්දේ යයි පෙන්වයි. පමුඤ්චන්තු සද්ධං සියලු දෙනා තමන්ගේ ශ්‍රද්ධාව මුදාහරිත්වා, විසර්ජනය කරත්වා, අවසන් පද දෙකේ අර්ථය මෙසේ ය. මා ප්‍රගුණ කරන මනා ප්‍රවර්තන සහිත මේ ප්‍රණීත වූ උත්තම ධර්මය කාය වාක් ක්ලමථ සංඥාව (වෙහෙස ගැන හැඟීම) ඇත්තෙකු වී නො කීවෙමි. දැන් සියලු ජනයා ශ්‍රද්ධා භාජනය ගෙන එත්වා, ඔවුන්ගේ අදහස් සපුරා ලන්නෙමි.
අන්තරධායි බුදුන් වහන්සේට සුගන්ධ පුෂ්ප ආදියෙන් පූජා කොට අතුරුදහන් වූයේ සිය ස්ථානයට ම ගියේ ය යන අරුත යි. ඔහු ගිය කල්හි භාග්‍යවතුන් වහන්සේ “මම පළමු කොට ම කවරෙකුට දහම් දෙසන්නෙම්දැයි (විමසන සේක්) ආළාර උද්දක යන අය මළ බවත්, පඤ්චවග්ගියන් බොහෝ උපකාරී වූ බවත් දැන ඔවුන්ට ධර්මය දේශනා කරනු කැමැත්තාහු බරණැස ඉසිපතනයට වැඩ ධර්ම චක්‍රය පැවැත්වූ සේක.
පළමු වැනි සූත්‍රය යි.
2. ගාරව සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - උදපාදි මේ විතර්කය පස් වැනි සතියෙහි දී ඇති විය. අගාරවො අනිකෙකුට ගෞරව රහිත ව, කිසිවකු ගුරු ස්ථානයෙහි නො තබා යන අර්ථයි යි. අප්පතිස්සො - ගෙය රහිත, කිසිවකු - ජ්‍යෙෂ්ඨ ස්ථානයෙහි නො තබා යන අර්ථය යි.
සදෙවකෙ යනාදියෙහි දෙවියන් සහිත ‘සදෙවක’ දෙවියන් ගැනීමෙන් මාරබ්‍රහ්මයෝ ද ගන්නා ලදහ. ‘මාර’ නම් වසවර්තී - සියල්ලන් මත අණසක පවත්වයි. බ්‍රහ්මා නම් මහාප්‍රභාව සම්පන්න ය. එක් ඇඟිල්ලකින් සක්වළ එක් දහසක ආලෝකය පතුරුවයි. දෙකකින් (සක්වල) දෙදහසක..... ඇඟිලි දහයකින් සක්වළ දසදහසක ආලෝකය පතුරුවයි. හේ මෙයින් වඩාත් ශීලසම්පන්න යයි කීමට නො ලබත්වායි සමාරකෙ සබ්‍රහ්මකෙ යි වෙන් වෙන් ව කියන ලදි. එසේ ම ශ්‍රමණයෝ නම් ඒක නිකාය ආදි වශයෙන් බහුශ්‍රැත වූවෝ පණ්ඩිත වූවෝ ය. බ්‍රාහ්මණයෝ ද වාස්තු විද්‍යා ආදියෙන් බහුශ්‍රැතයෝ ය; පණ්ඩිතයෝ ය. ඔවුහු මෙයින් වඩාත් ශීලසම්පන්න යයි කීමට නො ලබත්වා යි (පත් නො වෙත්වා යි) සස්සමණබ්‍රාහ්මණියා පජාය යි කියන ලදි. සදෙවමනුස්සාය මෙය වෙන් වශයෙන් දැක්වීම පිණිස ගන්නා ලද්දේ ම යි ගෙන කියන ලදි. තව ද මෙහි මුල් පද තුන ‘ලෝක’ වශයෙන් කියන ලදි. අවසන් (පද) දෙක ප්‍රජා වශයෙනි. සීලසම්පන්නතරං ශීලයෙන් සම්පන්නතර, අධිකතර යන අරුත යි. අනෙක් ඒවා ගැන ද මේ න්‍යාය ම ය. මෙහි ද “ශීල” ආදි ලෞකික ලෝකෝත්තර ධර්ම සතර පවසන ලදි. විමුක්ති ඤාණදස්සනය ලෞකික ම ය. එය ප්‍රත්‍යවේක්ෂණ ඥානය යි.