7. අප්පමාද සූත්‍ර වර්ණනාව
සත් වැන්නෙහි - සමධිගය්හ අත්පත් කොට ගෙන, ලබාගෙන යන අරුත යි. අප්පමාදො සම්පාදක අප්‍රමාදය, සමොධානං ‘සමවධානං’ - ඒකරාශී කිරීම, එවමෙව ඛො ඇත් පාදය මෙනි, සම්පාදක අප්‍රමාදය. අත් පා සටහන් බඳු ය, අනිකුත් චතුභූමක කුශල ධර්ම. ඒවා අනිකුත් පාද-ඇත් පාදයෙහි (ඇතුළු කළ හැකිවා) මෙන් අප්‍රමාදයෙහි සමෝධානයට (අන්තර්ගත වීමට) පත්වෙයි. අප්‍රමාදයෙහි ඇතුළට වැටේ. හස්ති පාදය අන් පාද අතර අග්‍ර - ශ්‍රේෂ්ඨ - වන්නේ යම් සේ ද එසේ ම අප්‍රමාදය ද අන් ධර්ම අතර (අග්‍රය යි ශ්‍රේෂ්ඨ ය යි දක්වයි). මහාර්ඝ වූ ලෝකෝත්තර ධර්මයන්ගේ විශේෂ අත්පත් කර ගැනීම් අර්ථයෙන් ලෞකික දේ වූයේ වුව ද අග්‍ර ම වෙයි.
අප්පමාදං පසංසන්ති ආයුෂ ආදිය පතන්නා විසින් අප්‍රමාදය ම (ප්‍රගුණ) කළ යුතු යයි අප්‍රමාදය ම ප්‍රශංසා කරති. යම් හෙයකින් පුණ්‍යක්‍රියාවල දක්ෂ වූවෝ අප්‍රමාදයට ප්‍රශංසා කරත් ද එනිසා ම ආයු ආදිය පතන්නාහු විසින් අප්‍රමාදය ම (ප්‍රගුණ) කළ යුතු ය යනු අර්ථ යි. අත්‍ථාභිසමයා පරමාර්ථය අත්පත් කර ගැනීමෙන්.
සත් වැනි සූත්‍රය යි.
8. කල්‍යාණමිත්ත සූත්‍ර වර්ණනාව
අට වැන්නෙහි - සො ච ඛො කල්‍යාණමිත්තස්ස මේ ධර්මය කල්‍යාණ මිත්‍රයාට ම ‘ස්වාක්ඛාත’ වේ. න පාපමිත්තස්ස (පාප මිත්‍රයාට නො වේ) ධර්මය සියලු ම දෙනා හට මැනවින් දේශනා කරන ලද්දේ නමුදු අසන්නා වූ අදහන්නා වූ කල්‍යාණ මිත්‍රයාට වළඳන අයට බෙහෙතක් මෙන් අර්ථය සපුරා ලයි. අන් අයට නො වේ. එහෙයින් මෙය කියන ලදි. ධම්මො මෙහි දේශනා ධර්මය දත යුතු ය.
උපඩ්ඪමිදං තෙරුන් වහන්සේ රහසිගත ව සිතී ය: මේ ශ්‍රමණ ධර්මය නම් ඔවා දෙන අනුශාසනා කරන කල්‍යාණ මිත්‍රයකු ඇති කල, තම තමා සතු වීර්යයෙහි පිහිටන කෙනෙකුට සම්පාදනය වේ. අඩක් කල්‍යාණ මිත්‍රත්වයෙන් වේ. අඩක් තම තමාට අයත් වීර්යයෙනි. ඉක්බිති උන්වහන්සේට (මෙසේ) සිතිණි: “මම සීමිත ඥානයෙහි පිහිටියෙම්, අසීමිත ව සිතීමට නො හැක්කෙම් වෙමි. යමි; බුදුන් වහන්සේ විමසා නිසැක වූයේ වන්නෙමි. එහෙයින් බුදුන් වහන්සේ වෙත පැමිණ මෙසේ කී ය: බ්‍රහ්මචරියස්ස ආර්යමාර්ගයට, යදිදං කල්‍යාණමිත්තතා ඒ යමක් කල්‍යාණ මිත්‍රතාව නම් වේ ද, එය අඩකි. එයින් අඩක් පැමිණෙයි යන අර්ථය යි. මෙසේ තෙරුන් වහන්සේ විසින් අඩ මසකින් සම්මාදිට්ඨි ආදිය කල්‍යාණ මිත්‍රත්වයෙන් පැමිණේ. අඩ අඩක් තමාට අයත් පුරුෂ කාර්යයන් කිරීම මගින් පැමිණෙතැයි කියන ලදි. එතෙකුදු වුවත්, තෙරුන්ගේ මනෝ රථය මෙය යි. යම් සේ බොහෝ දෙනෙකු විසින් ශීලාස්ථම්භ (ගල්කණු) ඔසවා තැබූ කල්හි මෙපමණ තැනකට අසුවලා විසින් උසුලන ලදි, මෙපමණ අසුවලා විසිනැයි වෙන් කොට දැක්වීමක් නැත්තේ ය: යම් සේ මව්පියන් නිසා දරුවන් උපන් කල මෙපමණක් මවගෙන් උපණ, මෙපමණක් පියාගෙන් යයි වෙන් කිරීමක් නැද්ද, එසේ ම මෙහි ද අවිනිබ්භොග (වෙන් කොට නො දක්වන) ධර්මය වේ. එය, සම්මා දිට්ඨි ආදියේ මෙපමණක් කල්‍යාණ මිත්‍රත්වයෙන් උපන, මෙපමණක් එක් එක් තැනැත්තාට අයත් වීර්යය මගින් යයි ලැබීමට නො හැක. කල්‍යාණ මිත්‍රතාවෙන් අඩක් ලබයි යන තෙරුන්ගේ මතය හේතුවෙන් ‘උපඩ්ඪ’ නම ඇති විණි. කල්‍යාණ මිත්‍රතාව යන මෙය ද ‘පුබ්බභාග පටිලාභංගං’ (පූර්ව භාග ප්‍රතිලාභ අංගය) නමැයි ගන්නා ලදි. අර්ථ වශයෙන් කල්‍යාණ මිත්‍රත්වය නිසා ලද ශීල - සමාධි - විදර්ශනා වශයෙන් ස්කන්ධ සතර ය; සංස්කාර ස්කන්ධය යි ද කියත් ම ය.
මා හෙවං ආනන්‍ද, ආනන්දය, එසේ නො කියන්න. ඔබ බහුශ්‍රැතයෙකි, සේඛ ප්‍රතිසම්භිදාවට පත් ව සිටින්නේ ය. වර අටක් ඉල්ලා ගෙන මට උවටැන් කරන්නෙහි ය. ආශ්චර්ය අද්භූත ධර්ම හතරකින් යුක්ත ය. එබන්දකුට මෙසේ කීම නො වටී. සකලමෙව හිදං ආනන්‍ද බ්‍රහ්මචරියං යදිදං කල්‍යාණමිත්තතා මෙහි භාග්‍යවතුන් වහන්සේ සතර මග, සතර ඵල ත්‍රිවිද්‍යා ෂඩ්අභිඥා යන මේ සියල්ල ම කල්‍යාණ මිත්‍රත්වය මුල් කොට ඇත්තේ ම ය යන්න අරභයා වදාළහ. දැන් වාග් භේදයෙන් එය ම ප්‍රකාශ කරන්නාහු කල්‍යාණමිත්තස්සෙතං යන ආදිය වදාළ සේක. එහි පාටිකඞ්ඛන්ති යනු අපේක්‍ෂා කළ යුතු, කැමති විය යුතු; අවශ්‍යයෙන් ම සිදුවේ ය යන අර්ථයි.
ඉධ යනු මේ සසුනෙහි; සම්මා දිට්ඨිං භාවෙති යනාදියෙහි මුල් පද අටට පමණක් මේ කෙටි විස්තරය යි. යහපත් දර්ශනය ලක්ෂණ කොට ඇත්තේ සම්මාදිට්ඨි යි; යහපත් අභිනිරොපනය (මනස නිසි සේ යෙදවීම තහවුරු කිරීම) ලක්‍ෂණ කොට ඇත්තේ සම්මාසංකප්පො; යහපත් පරිග්‍රහ (ග්‍රහණය කිරීම) ලක්‍ෂණ කොට ඇත්තේ සම්මාවාචා; යහපත් සමුට්ඨාපනය (ඉපදවීම) ලක්‍ෂණ කොට ඇත්තේ සම්මාකම්මන්ත; යහපත් පිරිසිදු කරවීම ලක්‍ෂණ කොට ඇත්තේ සම්මා ආජීවො; යහපත් උත්සාහය ලක්‍ෂණ කොට ඇත්තේ සම්මා වායාමො; යහපත් රැක බලා ගැනීම ලක්‍ෂණ කොට ඇත්තේ සම්මා සති; යහපත් ඒකාග්‍රතාව ලක්‍ෂණ කොට ඇත්තේ සම්මා සමාධි.
ඒවා අතර එක එකට කෘත්‍ය තුන බැගින් වේ. කෙසේද යත්; සම්මා දිට්ඨිය වෙනත් ප්‍රතිවිරුද්ධ කෙලෙස් සමග මිථ්‍යා දෘෂ්ටිය පහ කරයි; නිරෝධය අරමුණු කරයි. සම්ප්‍රයුක්ත ධර්මයන් ද දකියි. එය වසා දමන මෝහය විධ්වංසනය කිරීම් වශයෙන්, නුමුළා බැවිනි. සම්මා සංකප්ප ආදිය ද එසේ ම මිථයා සංකල්ප ආදිය ද බැහැර කරයි; නිවන අරමුණු කරයි. මෙහි විශේෂයෙන් සම්මා දිට්ඨි සහජාත (එක් ව උපන්) ධර්මයන් මැනවින් දක්වයි. සම්මා සංකප්පය සහජාත ධර්මයන් අභිනිරෝපනය කරයි. සම්මා වාචා මනා කොට පරිග්‍රහණය කරයි. සම්මා කම්මන්තය මනා කොට සමුට්ඨාපනය කරයි (හටගන්වයි). සම්මා ආජීව මනා කොට පිරිසිදු කරවයි. සම්මා වායාම මනා කොට උත්සාහ කරවයි. සම්මා සතිය මනා කොට රැකවල් ලා තබයි; සම්මා සමාධිය මනා කොට දවා ලයි.
තව ද මේ සම්මා දිට්ඨිය නම් පූර්‍ව භාගයෙහි විවිධ ක්‍ෂණයන් ද විවිධ අරමුණු ද සහිත වේ. මාර්ග කාලයෙහි ඒකක්‍ෂණ ද ඒකාරම්මණ ද වේ. කෘත්‍යය වශයෙන් සම්මා දිට්ඨිය “දුක්‍ඛෙ ඤාණං” ආදි වශයෙන් නම් සතරක් ලබයි. සම්මා සංකප්ප ආදියත් පූර්ව භාගයෙහි නොයෙක් නොයෙක් ක්ෂණ නොයෙක් නොයෙක් අරමුණු සහිත වේ. මාර්ග කාලයෙහි ඒකක්ෂණ ඒකාරම්මණ වේ. ඒ අතර සම්මා සංකප්ප, කෘත්‍ය වශයෙන් ‘නෙක්ඛම්ම සංකප්ප’ ආදී නාම තුනක් ලබයි. සම්මා වාචා ආදිය විරති තුන ද වෙයි; චේතනා ද වෙයි. මාර්ගක්ෂණයෙහි දී විරතිය ම වේ. සම්මා වායාම සම්මා සති යන මෙය ද කෘත්‍ය වශයෙන් දෙකකි. සම්මප්පධාන සතිපට්ඨාන වශයෙන් නම් සතරක් ලබයි. සම්මා සමාධිය වනාහි පූර්‍ව භාගයෙහි ද මාර්ගක්ෂණයෙහි ද සම්මා සමාධිය ම වේ.