4. පඨමසඞ්ගාම සූත්‍ර වර්ණනාව
සිවු වැන්නේ - වෙදෙහිපුත්තො ‘වෙදෙහි’ යනු ‘පණ්ඩිත’ යන්නට සමාන වචනයකි. පණ්ඩිත ස්ත්‍රියගේ පුතා යන අර්ථය යි. චතුරඞ්ගිනිං ඇත් - අස් - රිය - පා බල සංඛ්‍යාත වූ සතර අංගයන්ගෙන් සමන්විත වූ, සන්නය්හිත්‍වා හම්පටියෙන් තද කොට බැඳීම ආදියෙන් සන්නද්ධ කරවා, සඞ්ගාමෙසුං යුද්ධ කළහ; කුමන කරුණකින් ද? මහා කෝසල රජතුමා විසින් බිම්බිසාරට දියණිය පාවා දෙමින් රාජ්‍යයන් දෙක අතර ලක්ෂයක් තැන් වූ කාසි ග්‍රාමය දියණියට දෙන ලදි. අජාතසත්තු විසින් පියා මරවන ලද කල්හි ඔහුගේ මව රජතුමාගේ වියෝග ශෝකයෙන් නොබෝ කලකින් මළා ය. ඉන් පසු පසේනදි කොසොල් රජතුමා “අජාතසත්තු විසින් මව්පියෝ මරවන ලදහ. මගේ පියා සන්තක ගම” යි එය ලබා ගනු පිණිස දබර කරයි. අජාතසත්තු ද “මගේ පියා සන්තක ය” යි ඒ ගම (තබා ගනු) පිණිස (දබර කරයි). මාමා බෑණා දෙදෙනා ම යුද කළහ.
පාපී දේවදත්ත ආදීහු ඔහුගේ මිත්‍රයෝ යි = පාපමිත්තො; ඔවුහු ම මොහුගේ සහායකයෝ ය = පාපසහායො, ඔවුන් කෙරෙහි ම මොහුගේ සිත නැඹුරු විය, අතිශයින් වක් වී ය යි = පාපසම්පවඞ්කො; පසේනදී හට සැරියුත් තෙරුන් ආදීන්ගේ කල්‍යාණ මිත්‍රත්වය දත යුත්තේ ය.
දුක්‍ඛං සෙති දිනනු ලැබූ ඇතුන් ආදීන් ගැන තැවෙන්නේ දුක සේ නිදන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ යළිත් ඔහුගේ ජයග්‍රහණ හේතුව දැක ජයං වෙරං පසවති යි වදාළහ. දිනන තැනැත්තේ වෛරය උපදවයි. වෛරී පුද්ගලයන් ද ලබයි.
සතර වැනි සූත්‍රය යි.
5. දුතීය සඞ්ගාම සූත්‍ර වර්ණනාව
පස් වැන්නේ - අබ්භූය්‍යාසි පරාජයෙහි දී ගැරහීමට පත් වූයේ, “ආරාමයට ගොස් භික්ෂූන්ගේ කථා සල්ලාපය අසව” යි රාත්‍රී භාගයෙහි දී බුද්ධරක්ඛිත නම් මහලු වියේ පැවිදි වූවකු විසින් මහලු ව පැවිදි වූ ධම්මරක්ඛිත හට ඉදින් රජතුමා මේ මේ උපාය යොදා ගන්නේ නම් යළි ජය ගන්නේ යයි කියන ලද ජය කාරණය අසා ‘අභිඋය්‍යාසි’ විරුද්ධ ව ඉදිරියට ගියේ ය.
යාවස්ස උපකප්පති ‘යාව තස්ස උපකප්පති’ යම් තාක් ඔහුට හැකි වේද? දරාගත හැකි වේ ද, යදා චඤ්ඤෙ යදා අඤ්ඤෙ (යම් විටෙක අන්‍යයෝ), විලුම්පන්ති ඔහු නසා සිටි ඒ පුද්ගලයා නසත්, විලුප්පති නසනු ලැබේ. ඨානඤ්හි මඤ්ඤති කාරණය (හේතුව) සිතයි; යදා යම් කලක, ජෙතාරං ලභතෙ ජයං ජයගන්නා පුද්ගලයා පසුව (වෙනත්) දිනන්නකු ද ලබයි. රොසෙතාරං ගැටෙන්නෙකු, රොසකො ගැටෙන්නා, කම්මවිවට්ටෙන කර්ම පරිණාමයෙන්, ඒ විලුම්පන කර්මයේ (නැසීම් ක්‍රියාවේ) විපාක දීමෙන්, සො විලුත්තො විලුප්පති ඒ නසන තැනැත්තා (ද) නසනු ලැබේ. (නැසීමට භාජනය වේ.)
පස් වැනි සූත්‍රය යි.
6. ධීතු සූත්‍ර වර්ණනාව
සය වැන්නේ - උපසඞ්කමි මල්ලිකා දේවියගේ ගැබ් පිහිටි කාලයෙහි තිඹිරි ගෙය පෝෂණය කොට ආරක්ෂාව දී පැමිණියේ ය. අනත්තමනො අහොසි දිළිඳු පවුලක (උපන්) දියණියට මවිසින් මහත් සැප සම්පත් දෙන ලදි. ඉදින් පුතකු ලබන්නේ ද මහත් වූ සත්කාර ලබන්නේ ය. දැන් එය ගිළිහිණි යි නො සතුටු සිත් ඇත්තේ විය.
සෙය්‍යා අනුවණ වූ අඳ ගොලු පුත්‍රයාට වඩා එක් ස්ත්‍රියක් ම ශ්‍රේෂ්ඨ ය. පොස පෝෂණය කරනු මැනවි. ජනාධිප ජනයාගේ අධිපති වූ රජතුමා අමතයි. සස්සුදෙව නැදිමයිලන් දෙවි කොට ඇති, දිසම්පති දිසාවට ජ්‍යෙෂ්ඨ වූ (අධිපති වූ) තාදිසා සුභගියා එබඳු මහා භාග්‍යයෙන් යුත්.
සය වැනි සූත්‍රය යි.
7. අප්පමාද සූත්‍ර වර්ණනාව
සත් වැන්නෙහි - සමධිගය්හ අත්පත් කොට ගෙන, ලබාගෙන යන අරුත යි. අප්පමාදො සම්පාදක අප්‍රමාදය, සමොධානං ‘සමවධානං’ - ඒකරාශී කිරීම, එවමෙව ඛො ඇත් පාදය මෙනි, සම්පාදක අප්‍රමාදය. අත් පා සටහන් බඳු ය, අනිකුත් චතුභූමක කුශල ධර්ම. ඒවා අනිකුත් පාද-ඇත් පාදයෙහි (ඇතුළු කළ හැකිවා) මෙන් අප්‍රමාදයෙහි සමෝධානයට (අන්තර්ගත වීමට) පත්වෙයි. අප්‍රමාදයෙහි ඇතුළට වැටේ. හස්ති පාදය අන් පාද අතර අග්‍ර - ශ්‍රේෂ්ඨ - වන්නේ යම් සේ ද එසේ ම අප්‍රමාදය ද අන් ධර්ම අතර (අග්‍රය යි ශ්‍රේෂ්ඨ ය යි දක්වයි). මහාර්ඝ වූ ලෝකෝත්තර ධර්මයන්ගේ විශේෂ අත්පත් කර ගැනීම් අර්ථයෙන් ලෞකික දේ වූයේ වුව ද අග්‍ර ම වෙයි.
අප්පමාදං පසංසන්ති ආයුෂ ආදිය පතන්නා විසින් අප්‍රමාදය ම (ප්‍රගුණ) කළ යුතු යයි අප්‍රමාදය ම ප්‍රශංසා කරති. යම් හෙයකින් පුණ්‍යක්‍රියාවල දක්ෂ වූවෝ අප්‍රමාදයට ප්‍රශංසා කරත් ද එනිසා ම ආයු ආදිය පතන්නාහු විසින් අප්‍රමාදය ම (ප්‍රගුණ) කළ යුතු ය යනු අර්ථ යි. අත්‍ථාභිසමයා පරමාර්ථය අත්පත් කර ගැනීමෙන්.
සත් වැනි සූත්‍රය යි.
8. කල්‍යාණමිත්ත සූත්‍ර වර්ණනාව
අට වැන්නෙහි - සො ච ඛො කල්‍යාණමිත්තස්ස මේ ධර්මය කල්‍යාණ මිත්‍රයාට ම ‘ස්වාක්ඛාත’ වේ. න පාපමිත්තස්ස (පාප මිත්‍රයාට නො වේ) ධර්මය සියලු ම දෙනා හට මැනවින් දේශනා කරන ලද්දේ නමුදු අසන්නා වූ අදහන්නා වූ කල්‍යාණ මිත්‍රයාට වළඳන අයට බෙහෙතක් මෙන් අර්ථය සපුරා ලයි. අන් අයට නො වේ. එහෙයින් මෙය කියන ලදි. ධම්මො මෙහි දේශනා ධර්මය දත යුතු ය.
උපඩ්ඪමිදං තෙරුන් වහන්සේ රහසිගත ව සිතී ය: මේ ශ්‍රමණ ධර්මය නම් ඔවා දෙන අනුශාසනා කරන කල්‍යාණ මිත්‍රයකු ඇති කල, තම තමා සතු වීර්යයෙහි පිහිටන කෙනෙකුට සම්පාදනය වේ. අඩක් කල්‍යාණ මිත්‍රත්වයෙන් වේ. අඩක් තම තමාට අයත් වීර්යයෙනි. ඉක්බිති උන්වහන්සේට (මෙසේ) සිතිණි: “මම සීමිත ඥානයෙහි පිහිටියෙම්, අසීමිත ව සිතීමට නො හැක්කෙම් වෙමි. යමි; බුදුන් වහන්සේ විමසා නිසැක වූයේ වන්නෙමි. එහෙයින් බුදුන් වහන්සේ වෙත පැමිණ මෙසේ කී ය: බ්‍රහ්මචරියස්ස ආර්යමාර්ගයට, යදිදං කල්‍යාණමිත්තතා ඒ යමක් කල්‍යාණ මිත්‍රතාව නම් වේ ද, එය අඩකි. එයින් අඩක් පැමිණෙයි යන අර්ථය යි. මෙසේ තෙරුන් වහන්සේ විසින් අඩ මසකින් සම්මාදිට්ඨි ආදිය කල්‍යාණ මිත්‍රත්වයෙන් පැමිණේ. අඩ අඩක් තමාට අයත් පුරුෂ කාර්යයන් කිරීම මගින් පැමිණෙතැයි කියන ලදි. එතෙකුදු වුවත්, තෙරුන්ගේ මනෝ රථය මෙය යි. යම් සේ බොහෝ දෙනෙකු විසින් ශීලාස්ථම්භ (ගල්කණු) ඔසවා තැබූ කල්හි මෙපමණ තැනකට අසුවලා විසින් උසුලන ලදි, මෙපමණ අසුවලා විසිනැයි වෙන් කොට දැක්වීමක් නැත්තේ ය: යම් සේ මව්පියන් නිසා දරුවන් උපන් කල මෙපමණක් මවගෙන් උපණ, මෙපමණක් පියාගෙන් යයි වෙන් කිරීමක් නැද්ද, එසේ ම මෙහි ද අවිනිබ්භොග (වෙන් කොට නො දක්වන) ධර්මය වේ. එය, සම්මා දිට්ඨි ආදියේ මෙපමණක් කල්‍යාණ මිත්‍රත්වයෙන් උපන, මෙපමණක් එක් එක් තැනැත්තාට අයත් වීර්යය මගින් යයි ලැබීමට නො හැක. කල්‍යාණ මිත්‍රතාවෙන් අඩක් ලබයි යන තෙරුන්ගේ මතය හේතුවෙන් ‘උපඩ්ඪ’ නම ඇති විණි. කල්‍යාණ මිත්‍රතාව යන මෙය ද ‘පුබ්බභාග පටිලාභංගං’ (පූර්ව භාග ප්‍රතිලාභ අංගය) නමැයි ගන්නා ලදි. අර්ථ වශයෙන් කල්‍යාණ මිත්‍රත්වය නිසා ලද ශීල - සමාධි - විදර්ශනා වශයෙන් ස්කන්ධ සතර ය; සංස්කාර ස්කන්ධය යි ද කියත් ම ය.