6. රෝහිතස්ස සූත්‍ර වර්ණනාව
සය වැන්නෙහි - යත්‍ථ සක්වළ ලොවේ එක් අවකාශයෙක්හි බිම ඇසුරු කළ න චවති න උප්පජ්ජති මෙය යළි යළිත් චුති ප්‍රතිසන්ධි වශයෙන් ගන්නා ලදි. ගමනෙන පා ගමනින් නාහං තං ලොකස්ස අන්තං ශාස්තෲන් වහන්සේ සංස්කාර ලෝකයේ අන්තය පිළිබඳ ව පවසන සේක. ඤාතෙය්‍යං ආදියෙහි දත යුතු, දැකිය යුතු, පැමිණිය යුතු යන අර්ථ යි.
මෙසේ දේවපුත්‍රයා විසින් චක්‍රවාළ ලෝකයෙහි අන්තය විමසන ලද්දේ ය. ශාස්තෲන් වහන්සේ විසින් සංස්කාර ලෝකයෙහි (අන්තය) ප්‍රකාශ කරන ලද්දේ ය. හේ තමාගේ ප්‍රශ්නය සමග ශාස්තෲන් වහන්සේගේ පිළිතුර සම වෙතැයි සිතා ප්‍රශංසා කරන්නේ අච්ඡරියං ආදිය පැවසී ය.
දළ්හධම්මො දැඩි වූ දුන්න, උතුම් ප්‍රමාණ වූ දුන්නෙන් සමන්විත වූයේ, ධනුග්ගහො දුණු ආචාර්යවරයෙක්, සික්‍ඛිතො දොළොස් වසරක් ධනු ශිල්පය හදාළ; කතහත්‍ථො වෘෂභප්‍රමාණ වුව ද වල’ග විදීමට සමත් බැවින් කෘතහස්ත වූ; කතූපාසනො ඊ විදීමෙන් දක්වන ලද ශිල්ප ඇත්තේ; අසනෙන ඊයෙන්, අතිපාතෙය්‍ය ඉක්මවා යයි ද, ඔහු යම් සැණෙකින් තල් ඡායාව ඉක්මවා යයි ද එවන් වේලාවකින් එක් සක්වළක් ඉක්මවා යමි යි තමාගේ ජවසම්පත්තිය පෙන්වයි.
පුරත්‍ථිමසමුද්දා පච්ඡිමො පෙර දිග මුහුදින් යම් සේ පශ්චිම මුහුද දුර ද මෙසේ දුරෙහි මාගේ පා ගමනක් වී යයි කියයි. හේ පෙර දිග සක් වළ මුව විටියෙහි සිටියේ පා විහිදුවා පෑල දිග සක්වළ මුවවිටිය ඉක්මවයි. යළි දෙවන පාදය විහිදුවා පර සක්වළ මුවවිටිය ඉක්මවයි. ඉච්ඡාගතං ඉච්ඡා එව - ආශාව ම ය. අඤ්ඤත්‍රෙව නිෂ්ප්‍රපඤ්චතාව (ප්‍රමාද රහිත බව) දක්වයි. ආහාර බුදින වේලෙහි බුලත් දැහැටි කා අනෝතත්ත විලෙන් මුව දොවා සුදුසු වේලාව ආ විට උතුරු කුරු දිවයිනෙහි පිඬු පිණිස හැසිර සක්වළ මුව විටියෙහි හිඳ බත්කිස කරයි. එහි මොහොතක් විඩා හැර යළි දුවයි. වස්සසතායුකො - එකල්හි දීර්ඝායුෂ්ක කාලයක් විය. මොහු සිය වසක් ඉතිරි ව තිබියදී ගමන ඇරඹී ය. අන්තරාව කාලංකතො සක්වළ ලෝකයේ කෙළවරට නො පැමිණ ම අතර මඟ දී ම මළේ ය. හේ එහි කාලක්‍රියා කොට ද පැමිණ මේ සක්වළෙහි උපණි. අප්පත්‍වා සංස්කාර ලෝකයේ අන්තයට නො පැමිණ; දුක්‍ඛස්ස සසර දුකෙහි; අන්තකිරියං අවසාන කරන; කලෙබරෙ ශරීරයෙහි, සසඤ්ඤිම්හි සමනකෙ සංඥා සහිත, චිත්ත සහිත, ලොකං දුක්ඛ සත්‍යය, ලොක සමුදයං සමුදය සත්‍යය, ලොකනිරොධං නිරොධ සත්‍යය, පටිපදං මාර්ග සත්‍යය, මෙසේ ආයුෂ්මතුනි, මම මේ සත්‍ය සතර තණකොළ ලී කොට ආදියෙහි නො පණවමි. මේ මහා භූත සතරින් යුතු ශරීරයෙහි ම පෙන්වමි යි දක්වයි. සමතාවී පාපය සමනය කළ; නාසිංසති නො පතයි.
සය වැනි සූත්‍රය යි.
7-8.නන්ද ආදි සූත්‍ර වර්ණනා
සත් වැනි හා අට වැනි සූත්‍ර කියන ලද අර්ථ පරිදි ම ය.
9. සුසීම සූත්‍ර වර්ණනාව
නව වැන්නෙහි - තුය්හම්පි නො ආනන්‍ද සාරිපුත්තො රුච්චති බුදුන් වහන්සේ තෙරුන් ගුණ වර්ණනා කරනු කැමති වන සේක්, මේ ප්‍රශංසාව සම නො වන පුද්ගලයකු සමීපයෙහි පැවසීමට නො වටී. ඔහු සමීපයෙහි පවසන ලද්දේ හිසට නො එයි. ඔහු අසුවල් නම් වූ භික්ෂුව “සිල්වත්” යයි කියන ලද්දේ, “ඔහුගේ ශීලය කිම? ගොනෙකුගේ ස්වභාවය ඇති සිල්වතෙකි. කිම ඔබ විසින් වෙනත් සිල්වතෙක් නො දුටු විරූ ද? නැතහොත් ‘ප්‍රඥාවන්තයෙක්’ යි කියන ලද්දේ ‘ඒ කුමන ප්‍රඥාවක් ද? කිම ප්‍රඥාවන්තයෙක් මීට පෙර නො දුටු විරූ ද?” ආදිය කියා වර්ණකථාවට (ප්‍රශංසාවට) අනතුරක් කරයි. ආනන්ද තෙරුන් වහන්සේ වූ කලී සැරියුත් තෙරණුවන් හා ගැලපේ. ප්‍රණීත දන් ලැබ තෙරුනට දෙයි. තමන්ගේ උපස්ථායක තරුණයන් පැවිදි කරවා තෙරුන් සමීපයෙහි උපාධ්‍යායන් වහන්සේ හැටියට ගන්වයි; උපසපන් කරවයි. සැරියුත් තෙරණුවෝ ද අනඳ තෙරුනට එසේ කරති. කුමක් නිසා ද? අන්‍යෝන්‍යයන්ගේ ගුණ පිළිබඳ ව පැහැදී ම ඇළුම් කරති. අනඳ තෙරණුවෝ ද, අපගේ වැඩිමහල් සහෝදරයා එක් අසංඛෙය්‍ය ලක්ෂයක් කප්හි පාරමී පුරා සොළොස් ආකාර ප්‍රඥාව ප්‍රතිවේධ කොට ධර්ම සේනාපති ස්ථානයෙහි සිටි සේකැයි තෙරුන්ගේ ගුණයෙහි පැහැදී ම තෙරුනට ඇළුම් කරති. සැරියුත් තෙරණුවෝ ද සම්මා සම්බුදුන් වහන්සේට මා විසින් කළ යුතු මුව සේදීම සඳහා දිය සැපයීම ආදී කටයුතු සියල්ල අනඳ හිමි කරයි, ආනන්‍දයන් නිසා මම කැමති කැමති සමාපත්තියට සම වැදීම ලබා ගනිමි යි ඒ ආයුෂ්මතුන්ගේ ගුණයෙහි පැහැදී ම උන්වහන්සේට ඇළුම් කරති. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ සැරියුත් තෙරුන්ගේ ගුණ වර්ණනා කරනු කැමති වන සේක් අනඳ හිමියන් සමීපයෙහි පැවසීම ඇරඹූහ.
එහි තුය්හංපි හි ‘පි’ සම්පිණ්ඩන අර්ථයෙහි ය. කියන ලද්දේ මෙය යි: සැරියුත් හිමියන්ගේ ආචාර ගෝචර, විහාර, අභික්කම, පටික්කම ආලෝකිත, විලෝකිත, සම්මිඤ්ජිත, පසාරිත ක්‍රියා සියල්ල මට රුචිකර ය. අසූ මහා තෙරුනට රුචිකර ය. දෙවියන් සහිත ලෝකයාට රුචිකර ය. ඔබටත් රුචිකර ය.
ඉන් පසු තෙරුන් වහන්සේ, තිරය අතරින් ඉඩ ලද ශක්තිමත් මල්ලවයකු මෙන් සතුටු සිත් ඇත්තාහු බුදුන් වහන්සේ මට ප්‍රියසහායයාගේ ගුණ වර්ණනාව දක්වනු කැමති වන සේක. වළා අතරින් චන්ද්‍රයා ගෙන පෙන්වන්නාක් මෙන් සැරියුත් තෙරණුවන්ගේ ගුණ කථනය කරවීමට ලැබෙතැයි සිතා පළමු කොට ම සිවු පදයකින් පුද්ගල වරුණ ගෙන හැර පාන්නේ කස්ස හි නාම භන්තෙ අබාලස්ස ආදිය පැවසූ සේක. බාලයෙක් බාල බව නිසා, දුෂ්ට වූවෙක් ද්වේෂය නිසා, මුළා වූවෙක් මෝහය නිසා, විපරියාස වුණු සිතැත්තෙක් - උන්මත්තකයෙක් - චිත්ත විපර්යාසය නිසා වර්ණය (යහපත් ගුණ, ප්‍රශංසාව) වර්ණය යි හෝ අවර්ණය අවර්ණය යි හෝ මේ බුදුන් වහන්සේ ය, මේ ශ්‍රාවකයා යි හෝ නො දනියි. බාල ආදී වූ නො වූ අය දනිති. එහෙයින් අබාලස්ස ආදිය පැවසූ සේක. න රුච්චෙය්‍ය බාලයන් ආදීනට ම උන්වහන්සේ නො රුස්නේ ය. අනිකුත් කිසිවෙකුට නො රුස්නේ නො වේ.