1. චන්දිමස සූත්ර වර්ණනාව
දෙවන වර්ගයේ පළමු වැන්නේ - කච්ඡෙ ව කිස්සෙහි මෙන්, කිස්ස - කඳුවල “කිස්ස” හා ගංගා “කිස්ස” ද වේ. එකොදි නිපකා ඒකාග්රතාවයට පත් සිතින් හා ප්රඥා නිපුණත්වයෙන් යුක්ත වූ; සතා සිහි ඇති; කියන ලද්දේ මෙය යි: යම් කෙනෙක් ධ්යාන ලැබ එකඟ වූ සිතින් යුතු ව, ප්රඥානිපුණත්වය ඇති ව හා සිහියෙන් යුතු ව වසන්නේ ද ඔවුහු (අමකසෙ = අ+මකසෙ) මදුරුවන් නැති කඳු කිස්සක හෝ නදීකිස්සක හෝ මුවන් මෙන් සුවයට යන්නෝ ද පාරං නිවනට; අම්බුජො මත්ස්යයා, රණඤ්ජහා කෙළෙස් දුර ලන, යම් කෙනෙක් දැහැන් ලැබ අප්රමාදී වූවෝ කෙළෙස් දුර ලත් ද ඔවුහු නූල් දැල බිඳ (යන) මත්ස්යයන් මෙන් නිවනට යන්නාහු ය යි කියන ලදි.
ප්රථම සූත්රය යි.
2. වෙණ්හු සූත්ර වර්ණනාව
දෙවැන්නේ - වෙණ්හු ඒ දේවපුත්රයාගේ නම යි. පයිරුපාසියා ආශ්රය කොට; අනුසික්ඛරෙ හික්මෙත්; සත්ථිපදෙ අනුශාසන පදයෙහි; කාලෙ තෙ අප්පමජ්ජන්තා සුදුසු කල්හි ඔවුහු අප්රමාද ව කරන්නාහු.
දෙවැනි සූත්රය යි.
3. දීඝලට්ඨි සූත්ර වර්ණනාව
තුන් වැන්නේ - දීඝලට්ඨි දෙව්ලොව සියල්ලෝ සමප්රමාණ ව ගවු තුනක් ම වෙත්, මනුෂ්ය ලෝකයෙහි ඔහුගේ දිගු සිරුර හේතුවෙන් මෙ බඳු නමක් විය, හේ පින් කර දෙව් ලොව උපන්නේ වුව ද ඒ නමින් ම හැඳින්විණි.
තුන් වන සූත්රය යි.
4. නන්දන සූත්ර වර්ණනාව
සිවු වැන්නේ - ගොතම භාග්යවතුන් වහන්සේ ගෝත්රයෙන් ආමන්ත්රණය කරයි. අනාවටං තථාගතයන් වහන්සේගේ සර්වඥතාඥානය විහිදුවද්දී ගසකට හෝ පර්වතයකට හෝ ආවරණය කරලීමට (වළකා ලීමට) සමතෙක් නම් නැත. එහෙයින් ‘අනාවටං’ යි කී ය. මෙසේ තථාගතයන් වහන්සේට ස්තුති කොට දෙව්ලොව දී සකසන ලද ප්රශ්නය විමසන්නේ ‘කථං විධං’ ආදිය කී ය. එහි දුක්ඛමතිච්ච ඉරීයති දුක ඉක්මවා වාසය කරයි. සීලවා ලෞකික ලෝකෝත්තර ශීලයෙන් යුක්ත ක්ෂීණාශ්රවයන් වහන්සේ; ප්රඥා ආදිය ද මිශ්රක යයි දත යුතු; පූජයන්ති සුවඳ මල් ආදියෙන් පූජා කරත්.
සිවු වැනි සූත්රය යි.
5. චන්දන සූත්ර වර්ණනාව
පස් වැන්නේ - අප්පතිට්ඨෙ අනාලම්බෙ පහතින් ප්රතිෂ්ටාවක් (පදනමක්, පිහිටක්) නැති; ඉහළ එල්ලීමක් නැති, සුසමාහිතො අර්පණාවෙන් හා උපචාරයෙනුත් මැනවින් සමාධිගත වූ පහිතත්තො යැවූ (මෙහෙය වූ) සිත් ඇත්තේ. නන්දිරාගපරික්ඛීණො ප්රහීණ කළ නන්දිරාග ඇත්තේ, ‘නන්දිරාග’ නම් කර්මාභිසංස්කාර තුන ය. මෙසේ මේ ගාථාවෙන් කාම සංඥා ගැනීමෙන් පඤ්ච ඕරම්භාගිය සංයෝජනත්, රූප සංයෝජන ගැනීමෙන් පඤ්ච උද්ධම්භාගිය සංයෝජනත් නන්දිරාගයෙන් කර්මාභිසංස්කාර තුනත් ගන්නා ලදි. මෙසේ යමෙකුගේ දස සංයෝජනත් කර්මාභිසංස්කාර තුනත් ප්රහීණ වී ද සො ගම්භීරෙ (හේ ගැඹුරු) මහා සැඬ පහරෙහි න සීදති (නො ගිලෙයි). කාම සංඥාවෙන් කාම භවය හෝ රූපසංයෝජනයෙන් රූපභවය හෝ ගන්නා ලදි. ඒවා ගැනීමෙන් අරූප භාවය ගන්නා ලද්දේ ම ය. නන්දිරාගයෙන් කර්මාභිසංස්කාර තුන ගන්නා ලදැයි මෙසේ යමෙකුට භවත්රයෙහි සංස්කාර තුන නො මැත්තේ ද හේ සැඬ පහරෙහි නො ගිලෙතියි පෙන්වයි.
පස් වැනි සූත්රය යි.
6. වසුදත්ත සූත්ර වර්ණනාව
සය වැන්න - පවසන ලද පරිදි ය.
සය වැනි සූත්රය යි.
7. සූබ්රහ්ම සූත්ර වර්ණනාව
සත් වැන්නේ - සුබ්රහ්මා ඒ දේවපුත්රයා අප්සරාවන් දහසකින් පිරිවරන ලද්දේ නදුනුයනේ ක්රීඩා පිණිස ගොස් පරසතු රුක මුල පනවන ලද අසුනේ හිඳ ගත්තේ ය. පන්සියයක් දෙව්දූවරු ඔහු පිරිවරා සිටියාහු ය. පන්සියයක් රුකට නැඟී සිටියාහු ය.
දේවතාවන්ගේ සිත් (කැමති) පරිදි යොදුන් සියයක් වුව ද වෘක්ෂය නැමී අතට එන්නේ නම් කුමන කරුණක් නිසා ඔවුහු ගසට නැග්ගෝ ද? ක්රීඩාවෙහි යෙදුණු නිසා ය. නැග මධුර ස්වරයෙන් ගය ගයා මුල් පහත හෙලත් ඒවා ගෙන අන්යයෝ ‘එකතො වණ්ටිකමාලා’ (එක පැත්තට නැටි සිටින සේ ගෙතු මල් මාලා) ආදී වශයෙන් ගොතත්.
ඉක්බිති ගසට නැග්ගාහු උපච්ඡේදක කර්ම වශයෙන් එක් වන ම කාල ක්රියා කොට අවීචියෙහි උපන්නාහු මහ දුක් අනුභව කරති.