1. පඨමකස්සප සූත්‍ර වර්ණනාව
දෙවපුත්තසංයුත්තයේ පළමු වැන්නේ - දෙවපුත්තො දෙවියන්ගේ ඇකයෙහි පහළ වූ පුරුෂයෝ දේවපුත්ත (දිව්‍ය පුත්‍ර) නම් ද, ස්ත්‍රීහු දේවදුහිතෘ නම් ද වෙත්. නම් වශයෙන් ප්‍රකට නො වූයේ “අඤ්ඤතරා දෙවතා” (එක්තරා දේවතාවෙක්) යි කියනු ලැබේ. ප්‍රකට වූයේ මෙ බඳු නම් ඇති දේව පුත්‍රයා යි (කියනු ලැබේ.) එහෙයින් යට (පෙර) “අඤ්ඤතරා දෙවතා” යි කියා මෙහි “දෙවපුත්තො” යි කියන ලදි. අනුසාසං අනුශාසනය කළ සේක. මේ දේවපුත්‍රයා, භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බෝධියෙන් සත් වන වර්ෂයෙහි යමක ප්‍රාතිහාර්යය කොට තව්තිසා දෙව්ලොව වස් පිණිස වැඩම කොට අභිධර්මය දේශනා කරමින් ඣාන විභංගයෙහි “භික්‍ඛූති සමඤ්ඤාය භික්‍ඛූ පටිඤ්ඤාය භික්‍ඛූ” යි භික්‍ඛු නිද්දේසය වදාරනු ඇසී ය. “මෙලෙස විතර්කනය කරවු, මෙලෙස විතර්කනය නො කරවු, මෙසේ සිත්හි ලවු; මෙලෙස සිත්හි නො කරවු, මෙය අත් හරිවු, මෙය උපදවා කල්ගත කරවු” යි මේ ආකාරයේ භික්‍ෂු අවවාද අනුශාසනා නො ඇසී ය. හේ ඒ ගැන භික්‍ඛුං භගවා පකාසෙසි නො ච භික්‍ඛුනො අනුසාසං (භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුවට පැවසූ සේක. (එහෙත්) භික්‍ෂුවට අනුශාසනාව නො පැවසූ සේක) යි කී ය.
තෙන හි යම් හෙයකින් මා විසින් භික්‍ෂූනට අනුශාසනා කරන ලදි. ප්‍රකාශ නො කරන ලදී’යි පවසහි ද? එහෙයින් තඤ්ඤෙවෙත්‍ථ පටිභාතු ඒ අනුශාසනාව ප්‍රකාශනය ඔබට ම ඇති වේවා. යමෙක් ප්‍රශ්නයක් ඇසීමට කැමැත්තේ (එහෙත්) සර්වඥතාඥානය සමග සංසන්දනය කොට කථා කිරීමට නො කැමැත්තේ වේ ද, (තවත්) යමෙක් කථා කිරීමට හැකි එහෙත් කථා කිරීමට නො කැමැත්තේ වේ ද, තවෙකෙක් කථා කිරීමට නො හැකි වූයේ කථා කිරීමට නො කැමැති වූයේත් වේ ද, භාග්‍යවතුන් වහන්සේ ඒ සියලු දෙනාට ම ප්‍රශ්නය බරක් නො කරන සේක. මේ දේවපුත්‍රයා වූ කලී ප්‍රශ්න කිරීමට කැමැත්තේත් කථා කිරීමට හැක්කේත් වේ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඔහුට බර තබන සේක් මෙසේ වදාළ සේක. ඔහු ද ප්‍රශ්නය විචාළේ ය.
එහි සුභාසිතස්ස සික්‍ඛෙථ සුභාෂිතය පුහුණු කරන්නෙහි ය. සත්‍ය සතර අඩංගු, දශකථාවස්තු සහිත, සත්තිස් බෝධි පාක්ෂික ධර්ම සහිත චතුර්විධ වාක් සුචරිතයෙහි ම හික්මෙන්නේ ය. සමණුපාසනස්ස ච ‘සමණෙහි උපාසිතබ්බං සමණුපාසනං’ (ශ්‍රමණයන් විසින් සේවනය කළ යුතු ශ්‍රමණ උපාසනය) නමි. අටතිස් ප්‍රකාර වූ කර්මස්ථාන, එය ද ශික්ෂා කළ යුත්තේ ය, වඩන්නේ ය යන අර්ථය යි. බහුශ්‍රැත වූ හෝ භික්‍ෂූන්ගේ උපාසන ද සමණ උපාසන වේ. එය ද ‘ස්වාමීනි කුශලය යනු කුමක් ද?” ආදි ප්‍රශ්න ඇසීම මඟින් ප්‍රඥාව වැඩීම සඳහා ශික්ෂණය කළ යුත්තේ ය. චිත්තවූපසමස්ස අෂ්ට සමාපත්ති වශයෙන් චිත්තවුපසමනය ශික්ෂණය කළ යුත්තේ ය. මෙසේ දේව පුත්‍රයා විසින් ශික්ෂා තුනක් පවසන ලද්දේ වේ. මුල් පදයෙන් අධිශීල ශික්ෂාව කියන ලදි. දෙවැනි පදයෙන් අධිප්‍රඥා ශික්ෂාව (කියන ලදි) චිත්ත උපසමය මගින් අධිචිත්ත ශික්ෂාව (කියන ලදි) යනුවෙනි. මෙසේ මේ ගාථාවෙන් සකල ශාසනය ම ප්‍රකාශ කරන ලද්දේ වේ.
පළමු වැනි සූත්‍රය යි.
2. දුතියකස්සප සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - ඣායී දැහැන් දෙකෙන් ධ්‍යාන වඩන්නෙක්, විමුත්ත චිත්තො - කර්මස්ථාන විමුක්තියෙන් මිදුණු චිත්තය ඇත්තේ, හදයස්සානුපත්තිං අර්හත්වය, ලොකස්ස සංස්කාර ලෝකයේ, අනිස්සිතො තෘෂ්ණා දෘෂ්ටිවලින් නො සෙවුණු, තදානිසංසො අර්හත්ව ආනිශංසය ඇත්තෙක් කියන ලද්දේ මෙය යි. අර්හත්ව ආනිශංසය ඇති භික්ෂුව අර්හත්වය ප්‍රාර්ථනා කරමින් දැහැන් වඩන්නේ වෙයි, මැනවින් මිදුණු සිත් ඇත්තේ වෙයි, ලොවෙහි උදයව්‍යය (ඇති වීම නැති වීම) දැන නො ඇළුනේ වෙයි. ත්‍රිපිටක ධර්මය මේ ශාසනයෙහි සියල්ලට පූර්වභාග වූ පිළිවෙතයි.
දෙවැනි සූත්‍රය යි.
3. මාඝ සූත්‍ර වර්ණනාව
තෙවැන්නේ - මාඝො මෙය ශක්‍රයාට නමකි. තමාගේ ම ආචාරයෙන් (පැවැත්මෙන්) අන්‍යයන් අභිභවනය කොට දෙවි ඉසුරු බවට පත් වූයේ යි වත්‍රභූ, වත්‍ර නම් වූ අසුරයා අභිභවනය කරතැයි හෝ වත්‍රභූ.
තෙවැනි සූත්‍රය යි.
4. මාගධ සූත්‍ර වර්ණනාව
සිවු වැන්න කියන ලද අර්ථය ම ය.
සිවු වැනි සූත්‍රය යි.