12. රජ්ජුමාලාවිමාන වර්ණනා
අභික්කන්තෙන වණ්ණෙන යනුවෙන් රජ්ජුමාලා විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර දෙව්රම්හි වාසය කරන සේක. එසමයෙහි ‘ගයා’ නම් ගමේ එක්තරා බ්‍රාහ්මණයකුගේ දියණියක් ඒ ගමේම එක්තරා බ්‍රාහ්මණ කුලපුත්‍රයෙකුට විවාහ කර දුන්නේය. ස්වාමියාගේ නිවසට ගියා වූ ඇය ඒ නිවසෙහි අධි බව පවත්වමින් වෙසෙයි. ඕ තොමෝ ඒ නිවසේ දාසියගේ දුව නොඉවසයි. නොරුස්සයි. දුටු වේලෙහි පටන් ක්‍රෝධයෙන් දත් සපමින් ඇයට බැනවදියි. නින්දා කරයි. සමහරවිට පහර දෙයි. යම්කලෙක වනාහි ඇය වැඩ කිරීමට සුදුසු වයසට පත්වී වැඩ කිරීමෙහි නිරත වූවාද, එකල්හි පෙර භවයක බැඳ ගත් ක්‍රෝධයක් නිසා ඇයට දණහිසින් වැලමිටින් අත්මිටෙන් පහර දෙන්නීය.
ඒ දැරිය කාශ්‍යප බුදුන්ගේ කාලයේ දී ඇගේ ස්වාමිදුව වූවාය. අද ස්වාමිදුව එදා දාසිය වූවාය. එදා ස්වාමිදුව (අද දාසිය) එදා දාසියට අතින් පයින් ගල් මුගුරු ආදියෙන් පහර දුන්නීය. එයින් කලකිරුණු (එදා) දාසිය පුළුවන් හැමවිටකම දානාදී පින්කම් කොට, අනාගතයේ ස්වාමිදුව වීමට ප්‍රාර්ථනා කළාය. එසේ ස්වාමිදුව වී (අද) දාසිය මත ආධිපත්‍යය පැතිරවීමට ප්‍රාර්ථනා කළාය. ඉක්බිත්තෙන් ඒ දාසිය එයින් චුත වී මතු මතුද හැසිරෙමින් මේ බුද්ධෝත්පාද කාලයේ පෙර කී පරිදි ‘ගයා’ නම් නගරයේ බමුණු කුලයක ඉපිද අනෙක් බමුණු කුලයකට විවාහ ගොස් එහි ස්වාමිදුව වූවාය. අන් තැනැත්තිය දාසිය වූවාය. මෙසේ බඳින ලද ක්‍රෝධය නිසා ඕ තොමෝ ඇයට හිංසා කරයි.
මෙසේ වෙමින් හේතුවක් නැතිවම කෙස්වලින් අල්ලාගෙන පහර දුන්නාය. අත්වලින් ද පාවලින්ද දැඩිව පහර දුන්නාය. ඕ තොමෝ ජලස්නාන ශාලාවට ගොස් හිස මුඩුකොට ගෙදර ගියාය. ස්වාමිදුව බොල දුෂ්ට දාසිය, හිස මුඩු කිරීමෙන් තී නිදහස ලද්දේ යැයි සිතන්නීද නැත යයි කියා රැහැනක් ගෙන හිසෙහි බඳවා එතැනින් ඇය අල්වා නමා බැඳ හෙළා පහර දෙයි. ඇයට ඒ රැහැන ලිහන්නට ද ඉඩ නොදේ. ඒ නිසා ඇය රජ්ජුමාලා නමින් හඳුන්වන්නට විය.
එක් දවසක් ශාස්තෲන් වහන්සේ අලුයම් වේලෙහි මහා කරුණා සමාපත්තියෙන් ලොව බලා වදාරන්නේ රජ්ජුමාලාවට සෝවාන් වීමේ නිශ්‍රය සම්පත් ඇති බව දැක, ඇගේ ස්වාමි දූ බැමිණියට සරණ සිල්හි පිහිටීමට ඇති වාසනාව දැක වනයට පිවිස එක්තරා ගසක් මුල සවණක් රැස් විහිදුවමින් වැඩ සිටියේය. රජ්ජුමාලා ද දිනපතා ගුටි කෑමෙන් කලකිරී මේ දිවියෙන් කවර අර්ථයක්දැයි සිතා මියයාමට කැමැත්තී ලණුවක් ද කළය ද ගෙන දිය ගෙන එන්නට යන්නාක් මෙන් ගෙයින් පිටවී වනයට ගියාය. ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් වෘක්‍ෂය නුදුරෙහි වූ වෘක්‍ෂයක අත්තක ලණුව ගැටගසා කෙළවර මළපුඩුව තනා එය උඩ අත්තේ බඳිනු කැමැතිව, එහා මෙහා බලන්නී එහි වැඩ උන්නා වූ, පැහැදීම ඇති කරන්නා වූ පැහැදීමට සුදුසු වන්නා වූ උතුම් වූ දමනයට හා සන්සුන් බවට පැමිණියා වූ සවණක් බුදුරැස් විහිදුවන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුටුවාය. දුටු පමණින්ම බුද්ධ ගෞරවයෙන් ඇදී ගිය සිත් ඇත්තී කිම බුදුහු වනාහි මා වැන්නියන්ටත් දහම් දෙසත්ද, මම යමක් අසා මේ දුක්ඛිත තත්ත්වයෙන් මිදෙන්නේ නම් යෙහෙකියි සිතුවාය.
එකල්හි බුදුන්වහන්සේ ඇගේ සිත් හැසිරීම බලා රජ්ජුමාලාවෙනි! යි ඇමතූ සේක. ඕ තොමෝ එය අසා අමෘතයෙන් අභිෂේක ලද්දියක් මෙන්, ප්‍රීතියට පත්ව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ එකත්පසෙක හුන්නීය. භාග්‍යවත්හු ඇයට පිළිවෙළින් අනුපිළිවෙළ කථාව ද චතුරාර්ය සත්‍යය ද දේශනා කළහ. ඕ තොමෝ බණ අසා සෝවාන් වූවාය. ශාස්තෲන් වහන්සේ රජ්ජුමාලාවට මේ අනුග්‍රහය ඇතැයි ප්‍රමාණවත්ය සෑහෙන්නේය. දැන් ඇය කිසියම් වූ නොවැසෙන තත්ත්වයට පත්වූවා යයි දැන, වනයෙන් නික්ම ගමට නුදුරෙහි එක්තරා ගසක් මුල වැඩහුන්හ. රජ්ජුමාලාද තමන් දැන් පහත් තත්ත්වයකට හෙලීම අයෝග්‍ය බැවින් ද, තමා ඉවසීම, මෛත්‍රිය, කරුණාව ආදියෙන් යුක්ත බැවින්ද, බැමිණිය මට අහර දෙනු හිංසා කරනු, හෝ වෙනත් යමක් කරනු ලැබේවායි සිතා කළයෙන් දිය ගෙන නිවසට ගියාය. ඒ යනවිට ගෙදොර දොර අසල සිටි ගෙදර ස්වාමියා (බමුණා) ඇය දැක දියතොටට ගිය නුඹ අද බොහෝ වෙලාවක් ගතවී පැමිණියාය. ඔබේ මුහුණෙහි පැහැය අද ඉතා ප්‍රසන්නයහ. ඔබ අන්‍ය වූ ආකාරයකින් එළඹ සිටින්නීද වන්නේය. මේ කුමන තත්ත්වයක්ද යයි විචාළේය. ඕ තොමෝ (රජ්ජුමාලා) ඔහුට ඒ පුවත කීවාය.
බමුණා ඇයගේ වචන අසා සතුටට පත්ව ගෙතුළට ගොස් රජ්ජුමාලාවට මින්මතු කිසිවක් නොකළ යුතුයයි, රජ්ජුමාලා අභිභවා යමක් නොකළ යුතුයයි සිය ලේලියට (ස්වාමි දුවට) කියා සතුටු සිත් ඇතිව ඉක්මණින් ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් වැඳ ආදර සහිතව කරන ලද පිළිසඳර කථා ඇත්තේ ශාස්තෲන් වහන්සේට ආරාධනා කොට ගෙදරට වඩමවා ප්‍රණීතව ඛාද්‍ය භෝද්‍යාදියෙන් සකසා දන් දී භාග්‍යවතුන් වහන්සේ වැළඳවූයේය. දන් වළඳා නිමවූ උන්වහන්සේ වෙත පැමිණ එකත්පසෙක හුන්නේය. ඔහුගේ ලේලියද පැමිණ වැඳ එකත්පසෙක හුන්නාය. ගයා නම් ගමෙහි ගම්වැසි බමුණු ගැහැවියෝ එපවත් හුන්නාය. ගයා නම් ගමෙහි ගම්වැසි බමුණු ගැහැවිගේ එපවත් අසා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ එකත්පසෙක හුන්හ. ඇතැමෙක් සාමීචි කථා කොට එකත්පසෙක හුන්හ.