10. උච්ඡුවිමාන වර්ණනා
ඔභාසයිත්‍වා පඨවිං සදෙවකං යන මෙය උච්ජු (උක්) විමාන වස්තුවයි. එය මෙයට පළමු උච්ඡුදායක විමාන වස්තුවට සමානය. අර්ථෝත්පත්තිය ද සමානය. හුදෙක් එහි මාමා පුටුවකින් පහරදී ලේලිය මැරීය. මෙම කථා වස්තුවේ ඇත්තේ වයිල ගලකින් පහර දී මැරූ බවයි. මෙය පමණක් මෙහි වෙනසයි. කථාවස්තු වෙනස් නිසා දෙකම සංග්‍රහ කළ බව දතයුතුය.
දෙවියන් සහිත වූ පෘථුවිය, සඳ හිරුගෙන් බැබළෙන මෙන් බබළවයි. ඉන්ද්‍රයා සහිත වූ තව්තිසා වැසි දෙවියන් බ්‍රහ්මයා මෙන් ද සිරියාවෙන්ද, වර්ණයෙන් ද කීර්තියෙන් ද තෙදින් ද බබළයි.
උපුල් මල් දරන්නා වූ රන් රිදී ආදි ස්වර්ණ පුෂ්පයන්ගෙන් සැරසුණු අලංකාර වූ දිවසළුවලින් සැරසී මා වඳිමි. ඔබ කව්ද?
පෙර භවයේ මිනිස් ලොව මිනිසකු වී මනාකොට සකසා දන් දුන්නේද සීලයෙහි පිහිටියේද කවර අන්දමේ කුසල කර්මයක විපාක වශයෙන් මේ දෙව්ලොව යසස් ඇත්තියක් බවට පැමිණියේද? කවර කර්මයකින් මෙහි උපත ලැබීද දේවතාවිය මට කියනු මැනවි.
ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ මෙසේ විචාළහ. ඉක්බිතිව දෙව්දුව මෙම ගාථාවලින් ප්‍රකාශ කළහ.
ස්වාමීනි, මම මිනිස්ලොව ඉපිද එක්තරා ස්වාමි කුලයක ඉපිද එක්තරා භික්‍ෂු නමක් ගමේ පිඬු පිණිස හැසිරෙන්නේ අපේ ගෙදරට පිණ්ඩපාතය සඳහා වැඩියේය. අසමාන ප්‍රීතියෙන් ප්‍රසන්න සිතින් යුතුව උක්දඬු කැබැල්ලක් පූජා කළෙමි.
පසුව නැන්දා උක් කොහේදැයි මගෙන් ඇසුවාය. ඉවත නොදැමීමි. මවිසින් නොකන ලදී. සාන්ත භික්‍ෂු නමකට මම දුන්නෙමි.
තී මගේ ගෙදර යස ඉසුරු සම්පත් විනාශ කරන්නීය යනුවෙන් මට පරිහාස අවලාද කියා මැටි ගලක් ගෙන මට පහර දුන්නීය. ඒ පහරින් මරණයට පත් මම ඒ කුසල කර්මයෙන් දෙවියන් පිරිවරකොට ඇතිව පංචකාම ගුණයෙන් සතුටු වෙමි.
එසේම මා විසින් කරන ලද පුණ්‍යකර්මය නිසා අද දිව්‍ය සම්පත්ති විඳිමි. දෙවියන් විසින් රකිනා දෙන ලද තිදස පුරයෙහි විස්කම් සැපත අනුභව කරමි.
බලවත් සැදැහැයෙන් යුතුව මා විසින් කළ උක්දඬු පූජාවෙන් පමණක් දෙවියන් පිරිවරා පස්කම් සැපෙන් යුතුව වෙසෙමි.
මෙබඳු වූ උක්දඬු කැබැල්ලක් දන් දීමෙන් මහත් ආලෝකයක් පතුරමින් සක්දෙවීමෙන් නන්දන වනයෙහි ද සතුටු වෙමින් දෙවියන් විසින් රකිනා ලදුව ඉමහත් සතුටෙන් වසමි.
ස්වාමීනි, ඔබවහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් පැමිණ මගේ කුසල් විමසීය. අසමාන වූ ප්‍රීතියකින් යුක්තව උක්දඬු පූජාවෙන් මේ ප්‍රීතිය විඳිමි.
සෙස්ස කියන ලද පරිදිමය.
උච්ඡු විමාන වර්ණනාව නිමියේ ය.
11. වන්දන විමාන වර්ණනා
අභික්කන්තෙන වණ්ණෙන යනු චන්‍දන විමාන වස්තුවයි. එහි උපත කෙසේ වීද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩ වසති. එකහි බොහෝ භික්‍ෂූන් වහන්සේලා එක්තරා ග්‍රාමීය ආවාසයක වස් වැස වස් පවාරණය කිරීමෙන් පසුව සෙනසුන සකසා පා සිවුරු ගෙන භාග්‍යවතුන් වහන්සේ දැකීම සඳහා එක්තරා ගමක් පසුකර වඩිද්දී එක්තරා උපාසිකාවක් මේ භික්‍ෂූන් වහන්සේලා දැක ප්‍රසන්න වූ සිත් ඇතිව ඒ භික්‍ෂූන් පසඟ පිහිටුවා වැඳ සිරසෙහි ඇඳිලි බැඳගෙන ඒ භික්‍ෂූන් වහන්සේලා වඩින තෙක් දෙ ඇස්වලට පෙනෙන තෙක් මානයේ ඇස් දල්වා සැදැහැයෙන් බලා සිටියාය. ඕ තොමෝ පසුකාලයක කලුරියකොට තව්තිසා දෙව්ලොව උපන්හ. ඇය එහිදී දිව්‍ය සම්පත් අනුභව කරත්. ආයුෂ්මත් මහ මුගලන් තෙරුන් ඇය දැක මේ ගාථාවලින් විචාළහ.
විශිෂ්ට වූ රූප සම්පත්තියෙන් හා ඡවි වර්ණයෙන් සකල දිසාවන් බබුළුවමින් මෙහි කිසියම් දේවතාවියක් සිටින්නී ද ඇගේ තොරතුරු කෙසේද කිනම් පුණ්‍ය කර්මයක් කරන ලද්දේ ද?
ඒ දෙව්දුව මුගලන් හිමියන් විසින් තමන්ගෙන් විමසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තමන්ගේ කර්මඵල විපාකය දක්වමින්
මා මිනිස් ලොව මිනිස් දුවක් වශයෙන් ඉපදී සිටින කාලයේ සීලවන්ත වූ සංවර වූ ශ්‍රමණයන් වහන්සේලා දැක සිත ප්‍රසාදයට පත්කර ගනිමින් උන්වහන්සේලා දෙපා නැමැද හිසෙහි දෙ අත් බැඳ නමස්කාර කෙළෙමි.
ඒ කුශල කර්ම විපාකයෙන් මෙවැනි දීප්තිමත් වර්ණයක් ද දිව්‍ය සම්පත් ද සියලු දිසා බබළවන ප්‍රභාවක් ද ලදිමි.
එහි සමණො යනු පව් බැහැර කරන ලද සීලවන්තො සීලාදී ගුණ යුත් මනං පසාදයිං මනා රූපය ඇති ධර්මයෙහි හැසිරෙන ඒ ආර්යයන් වහන්සේලාගේ ගුණ කෙරෙහි සිත පහදවා ගත්තෙමි. චිත්තා වහං අඤ්ජලිකං අකාසි සතුට හා සෝමනස්ස සිතුවිල්ලෙන් යුතුව මම වැන්දෙමි. සුපේශල වූ මනාව හික්මුණු ඒ භික්‍ෂූන් වහන්සේලා කෙරෙහි පැහැදි සිතින් දෙ ඇස් විවෘත කරමින් දෙ ඇස් මානයේ බලා සිටිමින් මෙසේ දකිම් පමණකින් සත්ත්වයන්ට මේසා මහත් සම්පත් ලබා දී උපකාර කිරීම නිසා එය යහපත් වන්දනාවක්ම විය. තෙන මෙ තාදිසො වණ්ණො ආදිය කීහ.
චන්‍දන විමාන වර්ණනාව නිමියේ ය.
12. රජ්ජුමාලාවිමාන වර්ණනා
අභික්කන්තෙන වණ්ණෙන යනුවෙන් රජ්ජුමාලා විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර දෙව්රම්හි වාසය කරන සේක. එසමයෙහි ‘ගයා’ නම් ගමේ එක්තරා බ්‍රාහ්මණයකුගේ දියණියක් ඒ ගමේම එක්තරා බ්‍රාහ්මණ කුලපුත්‍රයෙකුට විවාහ කර දුන්නේය. ස්වාමියාගේ නිවසට ගියා වූ ඇය ඒ නිවසෙහි අධි බව පවත්වමින් වෙසෙයි. ඕ තොමෝ ඒ නිවසේ දාසියගේ දුව නොඉවසයි. නොරුස්සයි. දුටු වේලෙහි පටන් ක්‍රෝධයෙන් දත් සපමින් ඇයට බැනවදියි. නින්දා කරයි. සමහරවිට පහර දෙයි. යම්කලෙක වනාහි ඇය වැඩ කිරීමට සුදුසු වයසට පත්වී වැඩ කිරීමෙහි නිරත වූවාද, එකල්හි පෙර භවයක බැඳ ගත් ක්‍රෝධයක් නිසා ඇයට දණහිසින් වැලමිටින් අත්මිටෙන් පහර දෙන්නීය.
ඒ දැරිය කාශ්‍යප බුදුන්ගේ කාලයේ දී ඇගේ ස්වාමිදුව වූවාය. අද ස්වාමිදුව එදා දාසිය වූවාය. එදා ස්වාමිදුව (අද දාසිය) එදා දාසියට අතින් පයින් ගල් මුගුරු ආදියෙන් පහර දුන්නීය. එයින් කලකිරුණු (එදා) දාසිය පුළුවන් හැමවිටකම දානාදී පින්කම් කොට, අනාගතයේ ස්වාමිදුව වීමට ප්‍රාර්ථනා කළාය. එසේ ස්වාමිදුව වී (අද) දාසිය මත ආධිපත්‍යය පැතිරවීමට ප්‍රාර්ථනා කළාය. ඉක්බිත්තෙන් ඒ දාසිය එයින් චුත වී මතු මතුද හැසිරෙමින් මේ බුද්ධෝත්පාද කාලයේ පෙර කී පරිදි ‘ගයා’ නම් නගරයේ බමුණු කුලයක ඉපිද අනෙක් බමුණු කුලයකට විවාහ ගොස් එහි ස්වාමිදුව වූවාය. අන් තැනැත්තිය දාසිය වූවාය. මෙසේ බඳින ලද ක්‍රෝධය නිසා ඕ තොමෝ ඇයට හිංසා කරයි.
මෙසේ වෙමින් හේතුවක් නැතිවම කෙස්වලින් අල්ලාගෙන පහර දුන්නාය. අත්වලින් ද පාවලින්ද දැඩිව පහර දුන්නාය. ඕ තොමෝ ජලස්නාන ශාලාවට ගොස් හිස මුඩුකොට ගෙදර ගියාය. ස්වාමිදුව බොල දුෂ්ට දාසිය, හිස මුඩු කිරීමෙන් තී නිදහස ලද්දේ යැයි සිතන්නීද නැත යයි කියා රැහැනක් ගෙන හිසෙහි බඳවා එතැනින් ඇය අල්වා නමා බැඳ හෙළා පහර දෙයි. ඇයට ඒ රැහැන ලිහන්නට ද ඉඩ නොදේ. ඒ නිසා ඇය රජ්ජුමාලා නමින් හඳුන්වන්නට විය.