1. මඤ්ජෙට්ඨක විමාන වර්ණනා
මාඤ්ජ්යෙෂ්ඨක වර්ගයෙහි. මඤ්ජෙට්ඨකෙ විමානස්මිං යනුවෙන් මඤ්ජෙට්ඨක විමාන වර්ණනාව ආරම්භ වේ. එහි උත්පත්තිය කෙසේ වීද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවාසය කරන සේක. එහි විසූ එක්තරා උපාසකවරයෙක් භාග්‍යවතුන් වහන්සේට දානය සඳහා ආරාධනා කොට තමාගේ ගෙය දොරකඩ මහත් වූ මණ්ඩපයක් ඔසවා නොයෙක් වර්ණයන්ගෙන් යුත් වස්ත්‍රයන් ද, මල්දම් මල් මාලා ආදිය ද හාත්පස එල්ලා විසිතුරුකොට, පැන් ඉස හැමැද පොළව සමතලාකොට අසුන් පනවා භාග්‍යවතුන් වහන්සේට සුදුසු කාලයෙහි කාලය සැළ කළේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පා සිවුරු ගෙන හැඳ පොරවා, පෙරවරු කාලයේ, දෙව්විමනක් සේ අලංකාර වූ මණ්ඩපය වෙත වැඩමවා උදයගිරි පර්වතයේ තරුණ සූර්යයා මෙන් බබළමින් පනවන ලද බුද්ධාසනයේ වැඩහුන් සේක. උපාසක තෙමේ සුවඳමලින් හා සුවඳ දුමින් ද සුවඳ පහනින් ද පිදීය. එකල්හි එක්තරා කුලදාසියක් අන්ධ වනයෙහි මනාව පිපුණු සල් රුකක් දැක එහි මල් කඩා, ඒවා පටියකින් අමුණා මල්දමක් සේ සකසා නැවත වෙන් වෙන්ව කඩාගත් මල් ද අතු අග මල් ද නෙලාගෙන නුවරට පිවිසියාය. එවේලේ පෙර කී මණ්ඩපයෙහි යුගන්ධර පර්වතය මුදුනේ බබළන්නා වූ තරුණ සූර්යයා මෙන් සවණක්ගණ බුදුරැස් විහිදුවමින් සිටින්නා වූ බුදුරජුන් දැක පැහැදුණු සිතින් යුතුව ඒ මල්වලින් බුදුන් පූජා කළාය. මල්මාලාවන් අසුන වටේ තබා ඉතිරි මල් විසුරුවා සකසා වැඳ තෙවරක් පැදකුණු කළ ඕ තොමෝ ආපසු ගියාය. ඕ පසුකාලයක දී කළුරියකොට තව්තිසා දෙව්ලොව උපන්නාය. එහිදී ඇයට රතු පළිඟුමය විමානයක් ද, එයට ඉදිරියෙන් රන්වන් වැලි අතුල බිමක් ද ඇති මහාසල් උයනක් ද පහළ විය. ඒ දෙවඟන යම්විටක විමානයෙන් නික්ම සල්වනයට පිවිසෙන්නී ද, ඒ මොහොතේ සල්අතු බිමට නැවී ඇය මතට සල්මල් විසුරුවයි. ආයුෂ්මත් මුගලන් මහතෙරුන් වහන්සේ දිව්‍යලෝක චාරිකාවෙහි හැසිරෙන්නේ දහසක් දෙවඟනන් පිරිවරාගෙන, සල්මල් විසුරුවමින් සිටින දේවතාවිය දැක ඇයගේ සමීපයට ගොස් මෙසේ විමසූ සේක.
මඤ්ජෙට්ඨකෙ විමානස්මිං - සොණ්ණ වාලුක සත්ථතෙ
පඤ්චංගිකෙන තුරියෙන රමසී සුප්පවාදිතෙ
පඤ්චංගිකෙන තුරියෙන රමසී සුප්පවාදිතෙ
රුවන්වැලි විසුරුවා හරින ලද බිමෙහි වූ රතු පළිඟුමය විමානයේ මැනවින් වයනු ලබන පසඟතුරු නාදයෙන් සතුටු වන්නෙහිය.
තස්මා විමානං ඔරුය්හ - නිම්මිතා රතනාමයා
ඔගාහසී සාලවනං - පුප්ඵිතං සබ්බකාලිකං
ඔගාහසී සාලවනං - පුප්ඵිතං සබ්බකාලිකං
රත්නයන්ගෙන්ම නිර්මාණය වූ ඒ විමානයෙහි බැස යන හැමකල්හිම මල් පිපී ඇත්තා වූ සල් උයනට පිවිසෙන්නෙහිය.
යස්ස යස්සෙව සාලස්ස - මූලෙ තිට්ඨති දෙවතෙ
සො සො මුඤ්චති පුප්ඵානි - ඔනමිත්වා අමුත්තමො
සො සො මුඤ්චති පුප්ඵානි - ඔනමිත්වා අමුත්තමො
දේවතාවියනි, යම් යම් සල්ගසක් මුල ඔබ සිටින්නෙහිද, ඒ ඒ අගනා වෘක්ෂය පහතට නැමී ඔබ සඳහා මල් මුදා හරියි.
වා තෙරිතං සාලවනං - ආධුතං දිජ සෙවිතා
වාති ගන්ධො දිසා සබ්බා - රුක්ඛො මඤ්ජුස්සකො යථා
වාති ගන්ධො දිසා සබ්බා - රුක්ඛො මඤ්ජුස්සකො යථා
වාතයෙන් කම්පිතව සෙලවෙන්නා වූ, පක්ෂීන් ගැවසෙන සල් උයන මඤ්ජුස්සක නම් දේව වෘක්ෂය මෙන් සියලු දිසාවන්හි සුවඳ පතුරුවා හරියි.
ඝායසෙ ත්වං සුචිං ගන්ධං - රූපං පස්සසි අමානුසං
දෙවතෙ පුච්ඡිතා වික්ඛ - කිස්ස කම්මස්සිදං ඵලං
දෙවතෙ පුච්ඡිතා වික්ඛ - කිස්ස කම්මස්සිදං ඵලං
ඔබ ඉතා පිරිසිදු මල් සුවඳ ආඝ්‍රාණය කරන්නෙහිය. මිනිස්බව ඉක්ම වූ රූපයකින් යුතුව පෙනෙන්නෙහිය. දෙව් දියණියනි, මේ කවර නම් පුණ්‍ය කර්මයක ආනිසංස ඵලවිපාකද, මා විසින් අසන ලද්දට පිළිතුරු කියන්න.
එහි මඤ්ජෙට්ඨකෙ විමානස්මිං රතු පළිඟුවලින් ඉදිකළ විමානයෙහි, නික ගස්වල හා කණේරු ගස්වල මල් කැකුළුවලට සමාන වූ වර්ණයට මාංඤ්ජෙට්ඨක යයි කියයි. සොණ්ණවාලුක සන්ථ තෙ හාත්පසින් විසිරුණු රන්වැල්ලෙන් යුතු - භූමිභාගයෙහි රමසි සුප්පවාදිතෙ මනාව වාදනය කරනු ලබන පංචාංගික තූර්ය වාදනයෙන් සතුටු වන්නෙහිය.
නිම්මිතාරතනාමයා ඔබගේ යහපත් ක්‍රියාවන් නිසා ලත් ශිල්පීය දැනුමෙන් මනාව නිමවූ, රත්නයන්ගෙන් සැදුනු විමානයෙන් ඔගාහසී පිවිසෙන්නෙහිය. සබ්බකාලකං සියලු කල්හි සුවය ලැබෙන, සියළු සෘතුවලට ගැලපෙන යන අදහසයි. සියලු කල්හි මල් පිපෙන යන අදහස ද ලැබේ.
වාතෙරිතං යම් ආකාරයකින් මල් විසිරී යන්නේ ද එය සිදුවිය හැකි ආකාරයෙන් වාතයෙන් කම්පනය වූ සෙලවුනා වූ ආධුතං මදින් මද, සෙමින් සෙමින් පවන් සැලෙන්නා වූ, දිජසෙවිතං මොණර කොවුල් ආදී පක්ෂි සමූහයාගෙන් යුක්ත වූ.
තෙරුන් වහන්සේ විසින් මෙසේ ප්‍රශ්න කරනු ලැබුවා වූ ඒ දේවතා දියණියෝ මේ ගාථාවන්ගෙන් පිළිතුරු පැවසූහ.
අහං මනුස්සෙසු මනුස්සභුතා - දාසී අයිරකුලෙ අහුං
බුද්ධං නිසින්නං දිස්වාන - සාල පුප්ඵෙති ඔකිරිං
බුද්ධං නිසින්නං දිස්වාන - සාල පුප්ඵෙති ඔකිරිං
මිනිස් ලොව මිනිස් ස්ත්‍රියක් වූ මම අධිපතියකුගේ නිවසක දාසියක වීමි. වැඩඋන්නා වූ බුදුන් දැක හාත්පස සල්මල් ඇතිරුවෙමි.
වටංසකඤ්ච සුකතං - සාල පුප්ඵ මයං අහං
බුද්ධස්ස උපනාමෙසිං - පසන්නා සෙහි පාණිහි
බුද්ධස්ස උපනාමෙසිං - පසන්නා සෙහි පාණිහි
මම මගේ දෝතින්ම සල්මලින් මනාව සකස් කරන ලද මල්මාලා පැහැදුනු සිතින් යුතුව බුදුරජාණන් වහන්සේට පූජා කළෙමි.
තාහං කම්මං කරිත්වාන - කුසලං බුද්ධ වණ්ණිතං
අපෙත සොකා සුඛිතා - සම්පමොද මනාමයා
අපෙත සොකා සුඛිතා - සම්පමොද මනාමයා
මම බුදුන් විසින් වර්ණනා කරන ලද ඒ කුසල ධර්මය සිදුකොට ශෝකය දුරුකළා වූ සුවහස් වූ සතුටට පත් සිත් ඇත්තා වූ තැනැත්තියක් වීමි.
එහි අයිර කුලෙ උතුමෙකුගේ නිවසක, ධන ධාන්‍ය ආදියට හිමිකම් ඇත්තෙකුගේ නිවසක යන අදහසයි. අහුං වූයෙමි. ඔකිරිං නෙලා ගන්නා ලද මල් විසිරවීමි. උපනාමෙසිං පූජා කිරීම් වශයෙන් බුදුන් වහන්සේ වෙත එළඹවීමි. සෙස්ස පෙර කියන ලද පරිදිම වේ.
ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් මහරහතන් වහන්සේ පිරිවර සහිත වූ දේවතාවියට දහම් දෙසා, මිනිස් ලොවට පැමිණ භාග්‍යවතුන් වහන්සේට ඒ පුවත දන්වා සිටියහ. භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණය අර්ථෝත්පත්ති කොටගෙන පැමිණ සිටි පිරිසට ධර්ම දේශනා කළ සේක. එම දේශනාව දෙවියන් සහිත වූ ලෝකයාට සාර්ථක වූයේය.
මඤ්ජෙට්ඨක විමාන වර්ණනාව නිමියේ ය.
2. පහස්සර විමාන වර්ණනා
පභස්සර වර වණ්ණ නිභෙ යනුවෙන් පභසර විමාන වත්ථුව ආරම්භ වේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වාසය කරන සේක. ඒ සමයෙහි රජගහනුවර එක් උපාසකයෙක් මහ මුගලන් තෙරුන් වහන්සේ කෙරෙහි අතිශයින් පැහැදුනේ වෙයි. ඔහුට ශ්රද්ධාවන්ත වූ තෙරුවන් කෙරෙහි පැහැදුනා වූ එක් දියණියක් සිටියාය. ඇය ද තෙරුවන් කෙරෙහි බෙහෙවින් ගරුබුහුමන් දක්වන්නියක වේ. ඉක්බිති එක් දිනක් ආයුෂ්මත් මහ මුගලන් තෙරුන් වහන්සේ රජගහ නුවර පිඬු පිණිස හැසිරෙමින් ඒ නිවසට වැඩමවූහ. ඕ තොමෝ තෙරණුවන් දැක සොම්නසට පත්ව අසුනක් පනවා තෙරුන් එහි වැඩසිටි කල්හි සමන් මලින් පුදා ප්‍රණීත වූ මිහිරි වූ උක්සකුරු පානයෙක් පාත්‍රයෙහි වත්කළාය. තෙරුන් වහන්සේ පින් අනුමෝදන් කරනු කැමතිව වැඩහුන්හ. ඕ තොමෝ ගෙදොර දොර වැඩකටයුතු බහුල නිසා අනුමෝදනාව ඇසීමට අවකාශ නැති බව දන්වා, වෙනත් දිනක ධර්ම ශ්‍රවණය කරන්නෙමැයි කියා තෙරණුවන්ට වැන්දාය. තෙරණුවෝ පිටත්ව වැඩියහ. ඇය එදිනම කලුරියකොට තව්තිසාවෙහි උපන්නාය. ආයුෂ්මත් මුගලන් තෙරණුවෝ ඇය වෙත පැමිණ මෙම ගාථාවන් මගින් කරුණු විචාළේය.
පභස්සර වර වණ්ණනිභෙ - සුරත්තවත්ථ නිවාසනෙ
මහිද්ධිකෙ චන්දන රුචි ගත්තෙ - කාත්වං සුභෙ දෙවතෙ වන්දසේ මමං
මහිද්ධිකෙ චන්දන රුචි ගත්තෙ - කාත්වං සුභෙ දෙවතෙ වන්දසේ මමං
පැහැපත් දැකුම්කළු වර්ණයෙන් බබළන්නා වූ, ඉතා රත්පැහැ ගත් වස්ත්‍ර හැඳ ගත්තා වූ, මහත් සෘද්ධි ඇත්තා වූ, සඳුන් ආලේපිත ශරීරයෙන් යුතු වූ මා වෙත වන්දනා කරන්නා වූ යහපත් දේවතාවියනි, ඔබ කවර නම් තැනැත්තියක්ද?
පල්ලංකො ච තෙ මහග්ඝො - නානාරතන විත්තිතො රුචිරො
යත්ථ ත්වං නිසින්නා විරොචසී - දෙව රාජා ව නන්දනෙ වනෙ
යත්ථ ත්වං නිසින්නා විරොචසී - දෙව රාජා ව නන්දනෙ වනෙ
යම් පර්යංකයෙක්හි හුන්නා වූ ඔබ නන්දන උයනෙහි සක්දෙවිඳු මෙන් බබළන්නෙහිය. ඔබගේ ඒ පර්යංකය ද විවිධ රත්නයන්ගෙන් විසිතුරු කරන ලදුව මනෝඥ ලෙස පවත්නේය.
කිං ත්වං පුරෙ සුචරිත මාචරී භද්දෙ
කිස්ස කම්මස්ස විපාකං අනුභොසි දෙව ලොකස්මිං
දෙවතෙ පුච්ඡිතා චික්ඛ, කිස්ස කම්මස්සිදං ඵලං
කිස්ස කම්මස්ස විපාකං අනුභොසි දෙව ලොකස්මිං
දෙවතෙ පුච්ඡිතා චික්ඛ, කිස්ස කම්මස්සිදං ඵලං
භද්‍රාවෙනි, ඔබ පෙර භවයෙහි දී කවරනම් සත්ක්රියාවෙක යෙදුනේ ද, ඔබ පෙර භවයෙහි දී කවරනම් සත්ක්‍රියාවක යෙදුනේ ද දැන් දෙව්ලොවදී කවරනම් කර්ම විපාකයක් අනුභව කරන්නෙහි ද, දේවතාවියනි, මෙය කිනම් කර්මයක විපාකයක්ද යන බව මා විසින් ප්‍රශ්න කරනු ලබන, ඔබ මට කියන්න.
එහි පභස්සර මර වණ්ණනිභෙ බබළයි. ආලෝකය විහිදුවයි යන අරුතින් නිසා යයි යෙදේ. වර්ණයම බබළයි. වණ්ණෙ නිභා යන අරුතින් වණ්ණනිභා යයි යෙදී ඇත. වර්ණය නිසාම බබළයි. බබළන වර්ණ ඇත්තේයි. අතිශයින් පැහැපත් බැවින් පභස්සර හෙවත් ආලෝකවත් පැහැයක්ද, සමේ දෝෂයක් නැති හේතුවෙන් ද, උතුම් වූ බබළන වර්ණයක් ද මේ දෙවඟනට ඇත්තේය යන අදහසින් පභස්සර වණ්ණනිභා යයි යෙදේ. ආමන්ත්‍රණය කිරීම් වශයෙන් පභස්සර වණ්ණ නිභො යයි කියන ලදී. සුරත්ත වත්ථ නිවාසනෙ මනාව රත්පැහැ ගත් වස්ත්‍ර හැඳගත්තා වූ, චන්දන රුචිරගත්තෙ සඳුන් ආලේප කරන ලද්දක් වැනි මනෝඥ ශරීරයෙහි රන්වන් සඳුන් ඝත ලෙස ආලේප කරන ලද්දක් වැනි, රත්පැහැ ගත් ශරීරාවයවයන්හි යන අර්ථයි. සඳුන් තවරා ගැනීමෙන් අලංකාර වූ ශරීරයෙහි යන අදහසද වේ.
තෙරුන් වහන්සේ විසින් මෙසේ ප්‍රශ්න කරන ලද්දා වූ දේවතා තොමෝ මෙම ගාථාවන්ගෙන් පිළිතුරු ප්‍රකාශ කළහ.
පිණ්ඩාය තෙ චරන්තස්ස - මාලං පාණිතඤ්ච අද දං භන්තෙ
තස්ස කම්මස්සිදං විපාකං - අනුභොමි දෙව ලොකස්මිං
තස්ස කම්මස්සිදං විපාකං - අනුභොමි දෙව ලොකස්මිං
ස්වාමීනි, පිඬු පිණිස හැසිරෙන ඔබවහන්සේට මල් පූජාකොට උක්සකුරු පානයක් ද පූජා කළෙමි. එම පුණ්‍ය කර්මයේ විපාක වශයෙන් මෙම සැපත් දෙව්ලොවදී මම අනුභව කරමි.
හොති ච මෙ අනුතාපො - අපරද්ධං දුක්කතඤ්ච භන්තෙ
සාහං ධම්මං නාස්සොසිං - සුදෙසිතං ධම්ම රාජෙන
සාහං ධම්මං නාස්සොසිං - සුදෙසිතං ධම්ම රාජෙන
ස්වාමීනි, ඒ මම ධර්මරාජයන් වූ බුදුන් වහන්සේ විසින් මනාව දෙසන ලද ධර්මය එදා ශ්‍රවණය නො කෙළෙමි. එම වරද එම නො කටයුත්ත නිසා මට පසුතැවිල්ලක් ඇතිවේ.
තං තං වදාමි භද්දන්තෙ - යස්ස ම අනුකම්පියො
කොචි ධම්මෙසු තං සමාදපෙත්ථ - සුදෙසිතං ධම්මරාජෙන
කොචි ධම්මෙසු තං සමාදපෙත්ථ - සුදෙසිතං ධම්මරාජෙන
ස්වාමීනි, එහෙයින් ඔබවහන්සේට මෙසේ කියමි. මට අනුකම්පා කටයුතු යම්කිසිවක් වේනම්, ධර්මරාජයන් වහන්සේ විසින් මනාව දේශනා කරන ලද ධර්මයෙන් ඒ මා සමාදන් කරවන සේක්වා.
යෙසං අත්ථ සද්ධාච - බුද්ධෙ ධම්මෙ ච සංඝ රතනෙච
තං තෙමං අති වරොචෙන්ති - ආයුනා - යස්සා සිරියා
තං තෙමං අති වරොචෙන්ති - ආයුනා - යස්සා සිරියා
යම් කෙනෙකුට බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව පවතී ද, ඒ අය ආයුෂයෙන් ද, සම්පතින් ද, යසසින් ද, මා ඉක්මවා මට වඩා බබළත්.
පතාපෙන වණ්ණෙන - උත්තරීතරා, අඤ්ඤෙ මහිද්ධිකතරා මයා දෙවා ති
තේජසින් ද, වර්ණයෙන්, මට වඩා උසස් වූ, මහත් සෘද්ධි ඇත්තා වූ වෙනත් දෙවිවරු සිටිති.
එහි මාලං සමන් මල්. ඵාණිතං උක් ගස් ගෙන තනන ලද මිහිරි පානයක්,
අනුතාපො විපිළිසර බව, එයට හේතුව මෙසේ කීය. අපරද්ධං දුක්කතඤ්ච මෙ භන්තෙ දැන් එයට සමාන හේතු වශයෙන් දක්වයි. සාහං ධම්මො නාස්සොසිං ඒ මම, එදා ඔබවහන්සේ දේශනා කිරීමට කැමති වූ ඔබවහන්සේගේ බණපදය නොඇසුවෙමි. කෙබඳු ධර්මයක් ද යත්, සුදෙසිතං ධම්මරාජෙන. සම්මා සම්බුදුන් වහන්සේ විසින් මුල යහපත් ආදී වශයෙන් මනාව දේශනා කරන ලද ධර්මය යන අර්ථයි.
තං එහෙයින් ධර්ම රාජයන් වහන්සේ විසින් මනාව දේශනා කරන ලද බැවින්, ධර්මය ශ්‍රවණය නො කරන මා වැන්නවුන්ට පසුතැවීමට හේතු ඇති බැවින්, තං ඔබ ඔබගේ යන අර්ථ ඇත්තේ වේ. යස්ස (යො+අස්ස) යමක් වන්නේ නම් යන අදහසයි. අනුකම්පියො අනුකම්පා කරනු ලැබිය යුතුමය. කොචි යම් කිසිවෙක් ධම්මෙසු ශීලාදී ධර්මයන්හි ‘ධම්මෙහි’ යන පාඨයක් ද වේ. ශාසන ධර්මයෙහි යන අර්ථයයි හි යනු නිපාත මාත්‍රයකි. ධම්මෙසු - ධම්මෙහි යන වචන දෙක අතර වර්ණ විපර්යාසයක් හෝ ඇත. තං අනුකම්පා කරනු ලැබිය යුතු පුද්ගලයා සුදෙසිතං මනාව දේශනා කරන ලද