5. භද්දිත්ථි විමානයි වර්ණනා
නීලා පිතා ච කාලා ච යනුවෙන් හද්දිත්ථි විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ ආරාමයේ වාසය කරන සේක. එකල්හි කිම්බිල නම් නුවර ශ්රද්ධාවන්ත වූ, පැහැදුණු සිත් ඇත්තා වූ සිල්වත් හැසිරීමෙන් යුක්ත වූ රෝහක නම් ගෘහපති පුත්රයෙක් වාසය කළේය. ඒ නගරයෙහිම ඔහුට සමාන වූ මහත් වූ සම්පත් ඇති කුලගෙයක ශ්රද්ධා සම්පන්න වූ, පැහැදුණු සිත් ඇති, ස්වභාවයෙන්ම යහපත් වූ බැවින් ‘භද්දා’ නම් නම් ඇති එක් දැරියක් වූවාය. ඉක්බිති රෝහණගේ දෙමාපියෝ ඒ දැරිය ආවාහයට කැමති කරවාගෙන ඇය ද එකඟ වූ කල්හි කැඳවාගෙන අවුත් ඔවුන් දෙදෙනාගේ විවාහය සිදුකළහ. ඒ යුවළ ද සමගිව වාසය කරන්නාහුය. ඕ තොමෝ තමාගේ ආචාර සම්පන්න භාවය නිසා ‘භද්දිත්ථි’ හෙවත් යහපත් ස්ත්රිය යනුවෙන් ඒ නගරයෙහි ප්රකටව හඳුනා ගැනීමට පත්වූවාය.
එම කාලයෙහිම අගසවු දෙදෙනා වහන්සේලා පන්සියය පන්සියය බැගින් වූ පිරිවර භික්ෂූන් සහිතව ජනපද චාරිකාවේ හැසිරෙමින් කිම්බිල නගරයට පැමිණියහ. උන්වහන්සේලා එහි වැඩමවූ බව දැන සොම්නස් උපදවාගත් රෝහක තෙමේ තෙරුන් වහන්සේලා වෙත එළඹ වැඳ පසුදින දානය සඳහා ආරාධනා කොට, දෙවන දිනයෙහි ප්රණීත වූ බාද්ය භෝද්ය ආහාරයෙන් පිරිවර සහිතව ඒ තෙරවරුන් මනාව වළඳවා, උන්වහන්සේලා විසින් දේශනා කරන ලද ධර්මය අඹු දරුවන් සහිතව අසා උන්වහන්සේලාගේ අවවාදයෙහි පිහිටමින් තිසරණ ලබාගත්තේය. පන්සිල් ද සමාදන් වූහ. ඔහුගේ භාර්යාව වූ කලී අටවක තුදුස්වක පසළොස්වක හා පුරපස දිනයන්හි පෙහෙවස් සමාදන්ව විශේෂයෙන් සිල්වත් හැසිරීම් සහිත වූවාය. ඇයට දේවතානුකම්පාව ලැබිණ. නිකරුණේ ඇය වෙත පතිත වූ අසත්ය දෝෂාරෝපණයන් දේවතානුභාවයෙන් නිදොස් වී ලොව සුපතල කිත් යශස් ඇති තැනැත්තියක් වූවාය.
ඕ තොමෝ කිම්බිල නුවර සිටියදීම, තක්සලා නුවර ව්යාපාරික කටයුතුවල යෙදුනු තම සැමියාට නැකැත් කෙළි සඳහා සිතක් උපන්නේය. එකල්හි නිවසට අධිපති දේවතාවිය විසින් තමන්ගේ දිව්යානුභාවයෙන් ඇය තක්සලා නුවරට පමුණුවා ස්වාමියා සමග එකතු කරන ලද්දීය. ඒ එකතුවෙන්ම දරුගැබක් ඇති වූ ඇය දේවතාවිය විසින්ම නැවත කිම්බිල නුවරට පමුණුවන ලද්දීය. අනතුරුව ගර්භනී භාවය ප්රකට වූ කල්හී ඇය සැමියා ඉක්මවා යන කෙනෙකැයි නැන්දනිය ආදීන් විසින් සැක කරනු ලැබුවාහ. එවිට එම දේවතාවිය විසින්ම ස්වකීය ආනුභාවයෙන්ම මවා පෙන්වූ මහා ගංවතුරක කිම්බිලී නුවර ගිලී ගත්තාක් මෙන් පිහිටි කල්හි ‘භද්දිත්ථි’ තොමෝ තමන්ගේ පතීව්රතාභාවය ප්රකාශකොට ඒ පතීව්රතාව පිළිබඳ සත්යක්රියා කර දිව්රිමකින්, වාත වේගයෙන් උඩට නැගුණු රළ පෙළ සහිත ගඟ මහ දියකඳ නවත්වා තමන් මත පතිත වූ සැකය ද දුරුකළාය. ආපසු පැමිණි සැමියා විසිනුදු පෙර නැන්දනියන් ආදීන් විසින් කරන ලද්දාක් මෙන් සැක කරන ලදුව, තක්සලාවේ දී ඔහු විසින් ඇයට දෙන ලද ඔහුගේ නම කොටන ලද හැඳුනුම් සලකුණ පේරැස් මුද්ද දක්වා එම සැකය නැතිකරවා ස්වාමියාගේ ද ඤාතීන්ගේ ද ජනයාගේ ද විශ්වාසය ද ගරු බුහුමන් ද ලබන්නට වූවාය. ‘සුවිසුද්ධ සීලා ද්වාරතාය අතිවිය ලොකෙ පත්ථවයඝා අහොසි’ සුපිරිසිදු ශීලාචාර භාවයෙන් ලෝකයෙහි සුපතළ කිත් ඇති තැනැත්තියක් වූවාය යන එහෙයින් කියන ලදී.
ඕ තොමෝ පසුකලෙක කළුරියකොට තව්තිසා දෙව්ලොව උපන්නීය. එකල්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවරින් නික්ම තව්තිසාවට වැඩමවා පරසතු රුක්මුල පඬු ඇඹුල් සලස්න මත වැඩඋන් කල්හී, දෙව් පිරිස් පැමිණ වඳිද්දී, ‘භද්දා’ නම් වූ දෙව්දුව ද පැමිණ වැඳ එකත්පස්ව හුන්නාය. එකල්හි භාග්යවතුන් වහන්සේ එහි රැස් වූ දස දහසක් ලෝකධාතුන්හී දිව්ය බ්රහ්ම පිරිස මධ්යයේ එම දේවතාවිය විසින් කරන ලද පින්කම් විමසන සේක්, මෙසේ ප්රශ්න කළ සේක.
නීලා ච පීතා ච මජ්ඣෙට්ඨා අථ ලොහිතා
උච්චාවචානං වණ්ණනං - කිඤ්ජක්ඛ පරිවාරිතා
උච්චාවචානං වණ්ණනං - කිඤ්ජක්ඛ පරිවාරිතා
මන්දාරවානං පුප්ඵානං මාලං ධාරෙසි මුඤ්චතී
නයි මෙ අඤ්ඤෙසු කායෙසු - රුක්ඛාසන්ති සුමෙධ සෙ
නයි මෙ අඤ්ඤෙසු කායෙසු - රුක්ඛාසන්ති සුමෙධ සෙ
එම්බා දෙවඟන! ඒ වනාහි නිල් කහ කළු මදටිය රතු ආදී විවිධ වර්ණයන් සහිත පත්ර කිඤ්ජල්ක කේශර පන්තියෙන් හෙබියා වූ, මදාරා මලින් ගොතා කරන ලද මුදුන් මල්කඩින් හා අනේකප්රකාර විචිත්ර කර්මාන්තයෙන් හෙබි මල්දම්වලින් සැරසී අනිත් දේවතාවියන් අතර සිටින්නීය. අනෙක් දෙවි දේවතාවුන් අතුරෙහි මෙබඳු සැරසීමක් නැත්තේය. මහත් වූ යශශ්රී ඇති දෙව්දුව ගිය දවස තී විසින් කරන ලද කවර කුශල කර්මයක් හේතුකොටගෙන මේ තව්තිසා භවනෙහි උපන්නීද? මා විසින් විචාරන ලද මෙම පැනයට පිළිතුරු මෙම දෙව් බඹ පිරිස් මැද දී ප්රකාශ කරව. යම් කුශල කර්මයකින් මෙබඳු දිවසැපත් ලබන ලද්දේ වී නම් ඒ කුශල කර්මයන් ප්රකාශ කරව.
එහි - නීලා ච පීතා ච කාලා ච මඤ්ජෙට්ඨා අථ ලොහිතා මෙහි ‘ච’ ශබ්දය යොදා ඇත්තේ පදයන්ගේ සම්බන්ධය දැක්වීම සඳහාය. එම ‘ච’ ශබ්දය වෙන වෙනම යෙදිය යුතු වේ. අථ යනු අන්යර්ථයෙහි නිපාත පදයෙකි. ඒ පදයෙන් සුදු පැහැ ආදී නොකියන ලද වර්ණයන් එකතුකොට ගැනේ. ‘ඉති’ ශබ්දය ලොප් කරන ලද්දේ යයි දතයුතු. ‘ච’ ශබ්දය නො කියන ලද අර්ථයෙන් එකතු කරගැනීම සඳහා කියයි. ‘අථ’ යනු ඉති ශබ්දාර්ථයේ නිපාතයි. ‘උච්චාවචානං වණ්ණනත්ති’ මෙහි උච්චාවචානං යනුවෙන් විභක්තිය ලොප්නොකොට තබන ලදී. උච්චාවචානං වණ්ණානං යනු අනේක විවිධ වර්ණයන්ගෙන් යුත් මල් රොන්වලින් ගහණ වූ යන අර්ථයි. වණ්ණානං යන පදය හෝ වණ්ණවන්තානං යන පද දෙකින් එක් පදයක් මෙහි යෙදිය හැකිය. කිඤ්ජක්ඛ පරිවාරිතා රොන්වලින් ගැවසී ගත් මෙහි සම්බන්ධ විභක්ත්යර්ථයේ ප්රථමා විභක්ති පදයයි. කියන ලද්දේ මේ අර්ථය වේ. නීල වර්ණය ද, කහ වර්ණය ද, කාල වර්ණය ද, මදටිය වර්ණය ද, රක්ත වර්ණය ද, තව ද අන්ය වූ සුදු වර්ණය ද ආදී වර්ණයන් හා මේ ආදී තද හා ලිහිල් වර්ණයන්ගෙන් සැදුණු රේණුවලින් සහ කේශරයන්ගෙන් ගැවසී ගත් විසිතුරු ලක්ෂණයන්ගෙන් ද පෙර කියන ලද තද සහ ලා වර්ණයන්ගෙන් ද යුක්ත වූ පුෂ්පයෝ යන අදහසයි. දිව්යමය මදාරා වෘක්ෂයන්හි හටගත් බැවින් මන්දාරවානං පුප්ඵානං මාලං යි කියන ලදී. දේවතාවියනි, ඔබ (පෙර කියන ලද) මල්වලින් සාදන ලද මල් ඔටුන්නක්, හිසෙහි දරයි.