10. භික්ඛාදායිකා විමාන වර්ණනා
අභික්කන්තෙ වණ්ණෙන මේ භික්‍ෂා දායිකා (දන් දුන් තැනැත්තියගේ) විමානය පිළිබඳ කථා වස්තුවයි. එහි උපත කෙසේ වීද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ වාසය කරති. ඒ සමයෙහි උතුරු මධුරාවෙහි ගෙවුන ආයුෂ ඇති, අපායෙහි ඉපදීමට සුදුසුකම් ඇති එක් ස්ත්‍රියක් විසීය. භාග්‍යවතුන් වහන්සේ අරුණෝදයෙහි මහා කරුණා සමාපත්තියෙන් නැගී සිට ලෝකය බලන්නේ ඒ ස්ත්‍රිය නිරයේ ඉපදීමට සුදුස්සියක්ව සිටින බව දැක මහා කරුණාවෙන් යුක්ත වූයේ, ඇය සුගතියෙහි පිහිටුවීමට කැමැතිව, හුදෙකලාව දෙවැන්නෙක් නැතිවම මධුරාවට වැඩම කළ සේක. වැඩමවා පෙරවරුවේ හැඳ පෙරවා පා සිවුරු ගෙන පිට නගරයේ පිඬු පිණිස වැඩම කළහ. ඒ සමයෙහි ඒ ස්ත්‍රිය ගෙදර ආහාර සකස් කර පසෙකින් තැන්පත් කර කළයක් ගෙන නහන තොටට ගොස් දිය නා වතුර කළයක් ද ගෙන තමන්ගේ ගෙට යන්න අතරමගදී භාග්‍යවතුන් වහන්සේ දැක ස්වාමීනි, පිණ්ඩපාතය ලැබුණේදැයි අසා ලබන්නෙමි යයි භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළ කල්හි නොලද බව දැන කළය තබා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ මනාකොට වැඳ ස්වාමීනි, මම පිණ්ඩපාතය පූජා කරමි. ඉවසා වදාළ මැනවැයි කීවාය. භාග්‍යවතුන් වහන්සේ නිහඬ වීමෙන් ඉවසා වදාළහ. ඕ තොමෝ භාග්‍යවතුන් වහන්සේ ඉවසූ බව දැන පළමුව ගොස් අතු ගා පිරිසිදු කරන ලද ප්‍රදේශයක ආසනයක් පනවා බුදුන් වඩනා පෙරමග බලා උන්නාය. භාග්‍යවතුන් වහන්සේ ගෙට වැඩමවා පණවන ලද අසුනෙහි වාඩි විය. ඉක්බිති ඕ තොමෝ භාග්‍යවතුන්ට වැළඳවිය. භාග්‍යවතුන් වහන්සේ වළඳා අවසන්ව ඇයට භුක්තානුමෝදනා කොට වැඩමවිය. ඕ තොමෝ අනුමෝදනා බණ අසා මහත් වූ සොම්නසට පැමිණියාය. බුදුරදුන් වඩිද්දී ඇස් පෙනෙන තෙක් මානයේ බුද්ධාරම්මණ ප්‍රීතිය උපදවා වැඳගෙන සිටියාය. ඕ තොමෝ දින කිහිපයකින් කළුරියකොට තව්තිසා දෙව්ලොව උපන්නීය. අප්සරාවෝ දහසක් ඇගේ පිරිවර වූහ.
ඉක්බිතිව ආයුෂ්මත් මුගලන් ස්ථවිරයෝ දේවලෝක චාරිකාවේ යෙදෙන්නේ මහත් වූ දේව ඍද්ධියෙන් මහත් වූ දේවානුභාවයෙන් බුදු මුවිනුදු කියවා නිමකළ නොහැකි දිව්‍ය සම්පත් අනුභව කරන්නා වූ ඇය දැක මෙම ගාථාවන්ගෙන් ඇයගෙන් කළ පින්කම් විචාළේය.
එම්බා දෙව්දුව ඕසධී තාරකාව මෙන් දස දිසාවන් ඒකාලෝක කරමින් බබලන්නා වූ පැහැපත් වර්ණයෙන් තී යුක්තය. මෙවැනි දීප්තිමත් වර්ණයක් ද මෙවැනි සැප සම්පත් ද ලබා ඔබ ප්‍රියමනාප වූ සතුටු සිතින් සිටින්නීය.
මේ සා මහත් දිව්‍ය සම්පත් ලබන්නට ඔබ කරන ලද පුණ්‍යකර්මය කවරේද?
මහ මුගලන් තෙරුන් වහන්සේ තමන්ගෙන් විචාරණ ලද ප්‍රශ්නයට පිළිතුරු දෙන ඒ දේවතාවිය,
මම මිනිස්ලොව මිනිස් දුවක්ව ඉපදී සිටිද්දී හදවිල පුබුදන්නා වූ, පහ වූ රජස් ඇති බුදුන් වහන්සේ දුටිමි. ප්‍රසන්න වූ සිතින් හා දෑතින් උන්වහන්සේට භික්‍ෂා දානයක් පිරිනැමීමි.
ඒ කුසල කර්මයෙන් මෙබඳු වූ බබළන වර්ණයක් ද සම්පත් ද, අප්සරාවන් ද ලැබ අපමණ සිත් සන්තෝෂයෙන් මෙහි වසමි
යනුවෙන් දේවතාවිය ප්‍රකාශ කළාය. සෙසු සියල්ල පළමු කී පරිද්දෙන් දතයුතුය. ඉක්බිති මුගලන් තෙරණුවෝ පිරිවර සහිත වූ ඒ දෙවඟනට දම් දෙසා පැමිණ භාග්‍යවතුන් වහන්සේ වෙත මේ කරුණ ප්‍රකාශ කළේය. භාග්‍යවතුන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොටගෙන රැස්ව සිටි පිරිසට ධර්මය දේශනා කළ සේක. ඒ දේශනා තොමෝ දෙවියන් සහිත ලෝකයාට සාර්ථක වූයේය.
භික්‍ඛාදායිකා විමාන වර්ණනාව නිමියේය.
11. දුතියභික්ඛාදායිකා විමාන වර්ණනා
අභික්කන්තෙන වණ්ණෙන ආදී වශයෙන් දෙවැනි භික්‍ඛදායිකා විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේ වීද යත්? භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වැඩවාසය කරති. එහි එක්තරා ස්ත්‍රියක් ශ්‍රද්ධාවන්තී, බුදු සසුනෙහි පැහැදීම් ඇත්තී, එක්තරා ක්‍ෂීණාශ්‍රව තෙර නමක් පිඬු පිණිස හැසිරෙද්දී, ඒ බව දැක තමන්ගේ ගෙට වැඩමවා දානය පිළිගැන්වීය. ඕ තොමෝ පසුකාලයක කළුරියකොට තව්තිසා දෙව්ලොව උපන්නාය. සියල්ල පෙර කියන ලද කථා වස්තුව මෙනි.
බබළන්නා වූ වර්ණයෙන්, සිටින්නා වූ දෙව්දුවනි, ඔබගේ ශරීර වර්ණය ඉතා පැහැපත්ය. ඒ ඡවි වර්ණයෙන් සියලු දිසාවන් ප්‍රභාස්වර වේ. දිලිසේ. මේ කවර කුශල කර්මයක විපාකද?
ඕ දෙව්දුවද මුගලන් හිමියන් විසින් විමසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙන්නී,
මම මිනිස්ලොව මනුෂ්‍ය දුවක් වී ඉපදී සිටියෙමි. රාගාදී කෙලෙස්වලින් දුරු වූ, නික්ලේශී වූ, ඇලීම් නැත්තා වූ එක් භික්‍ෂුවක් දැක, උන්වහන්සේ කෙරෙහි පැහැදුනු සිතින් නිවසට වැඩමවා මගේ දෝතින්ම දන් පිළිගැන්වූයෙමි.
ඒ කුශල විපාකයෙන් මේ වගේ වර්ණයක්, මෙවැනි සම්පතක් සියලු දිසාවන් බබුළුවන ඡවි වර්ණයක් මම ලදිමි.
දෙවැනි භික්‍ඛදායිකා විමාන වර්ණනාව නිමියේ ය.
දෙවැනි වර්ග වර්ණනාව සමාප්තයි.
3. පාරිච්ඡත්තක වර්ගය
1. උළාරවිමාන වර්ණනා
පාරිච්ඡත්තක වර්ගයේ උළාරො තෙ යසො වණ්ණො ආදී වශයෙන් උළාර විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනයෙහි ලෙහෙණ අභය භූමියේ වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් මහා මුගලන් තෙරුන් වහන්සේ උපස්ථායක කුලයෙක දන් දීමෙහි අදහස් ඇති, දන්දීමෙහි රුචි ඇති, ඒ පිළිබඳව තුටු පහටු සිත් ඇති දැරියක් වූවාය. ඕ තොමෝ ඒ නිවසෙහි පෙරවරුයෙහි ඛාද්‍ය, භෝද්‍ය වශයෙන් තැනෙක යමක් වේනම් එහි තමන්ට ලැබුනු කොටසින් අඩක් දන්දෙයි. තමන් අඩක් පරිභෝග කරයි. දන් නොදී අනුභව නො කරයි. ලැබිය යුතු කෙනෙකුන් නොදකින් වුව ඒ කොටස තමා දුටු තන්හිදී දෙන්නීය. යාචකයනට හෝ දෙන්නීය. එකල්හි ඇගේ මව මාගේ දියණිය දීමෙහි අදහස් ඇත්තීය. දන් බෙදීමෙහි රුචි ඇත්තීය යනුවෙන් තුටු පහටු වූවා ඇයට කොටස් දෙකක් දෙන්නීය. දෙන්නා වූ මව ද එක් කොටසක් ඇය විසින් කොටස් කරන ලද කල්හි තව කොටසක් දෙන්නීය. ඕ තොමෝ දුවද එයින් ද අඩක් වෙන් කරන්නීය.
මෙසේ කල්යාමේදී ඇගේ මවුපියෝ ඇය නිසි වියපත් වූ විට, ඒ නගරයෙහිම එක්තරා කුලගෙයක කුමරෙකුට ඇය විවාහ කර දුන්නේය. ඒ කුලය වනාහී මිථ්‍යාදෘෂ්ටික වූ ශ්‍රද්ධා රහිත වූ (තෙරුන් කෙරෙහි) නො පැහැදුනා වූ කුලයක් විය. එකල්හි ආයුෂ්මත් මුගලන් තෙරණුවෝ රජගහනුවර පිළිවෙළින් පිඬු පිණිස හැසිරෙන සේක් ඒ දැරියගේ මයිළණුවන්ගේ ගේ දොරකඩ සිටි සේක. උන්වහන්සේ දැක පැහැදුනු සිත් ඇති ඒ දැරිය පිවිසෙන්න ස්වාමීනියි කැඳවාගෙන වැඳ වඩා හිඳුවා නැන්දනිය විසින් කැවුම, නොදක්නා විට, ඇයට පසුව විස්තර කියා අනුමෝදන් කරවන්නෙමියි යන විශ්වාසයෙන් යුතුව නැන්දනිය විසින් තබන ලද කැවුම ගෙන තෙරුන් වහන්සේට පිදුවාය. තෙරණුවෝ අනුමෙවෙනි බණ වදාරා වැඩි සේක. පසුව දැරිය නැන්දනිය අමතා නැන්දනියෙනි, ඔබ විසින් තබන ලද කැවුම් මම මහ මුගලන් හිමියන්ට දුනිමි යි කීවාය. ඕ තොමෝ එය අසා මේ කවරනම් උඩඟුකමක් ද මෙය මා සතුය. මා නො අසාම එය ශ්‍රමණයා හට දුන්නාය කියා තට තට හඬින් දත් සපමින් ක්‍රෝධයෙන් පෙළෙමින් යුතු අයුතුකම් නොසිතන්නී ඉදිරිපස තිබූ මොහොල්කඩ ගෙන ඇගේ උරෙහිම ගැසුවාය. ඇය සියුමැලි බැවින්ද, පිරිහුණු ආයු ඇති බැවින් ද, බලවත් දුකින් මඩිනු ලැබ කීප දවසකින්ම කළුරියකොට තව්තිසා දෙව්ලොව උපන්නාය. ඇයට වෙනත් සුචරිත කර්මයන් ඇත්තේ නමුදු මුගලන් මහ තෙරුන්ට දෙන ලද දානයම බලවත් වී පිහිටියේය. මුගලන් මහතෙරුන් දෙව්ලොව චාරිකා කරන සේක් අප්සරාවන් දහසක් පිරිවරා ගත් මහත් වූ දේව ලීලාවෙන් බබළන ඇය දැක, ඇය වෙතට ගොස් ඈ විසින් කරන ලද සුචරිත කර්ම විමසමින් මේ ගාථාව වදාළහ.