මහා නිපාතය
සුමේධා ථේරීගාථා වර්ණනාව
මහානිපාතයෙහි මන්තාවතියා නගරෙ යනාදිය සුමෙධා තෙරණියගේ ගාථාය. මොතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර ඇත්තී ඒ ඒ භවයන්හි කුසල් රැස්කරමින් මනාකොට විමොක්‍ෂදායී හේතුඵල දරන්නී කෝණාගමන බුදුන්ගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැනහැඳිනගත්කල්හි තමාගේ යෙහෙළි කුලදියණියන් සමග සමාන අදහස් ඇත්තී මහා ආරාමයක් කරවා බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට පවරා දුන්නීය. ඕ ඒ පින්කමෙන් මරණින් පසු තව්තිසාවෙහි උපන්නාය. එහි ජීවිතාන්තය දක්වා දෙව්සැප විඳ එයින් චුතව යාමයෙහි උපන්නාය. එයින් චුතව නිර්මාණරතී දෙව්ලොවෙහිද එයින් පසු පරනිර්මිතවසවර්තී දෙව්ලොවෙහි ද මේ ආදී වශයෙන් පඤ්චවිධ කාමලෝකයන්හි ඉපිද ඒ ඒ දෙව්ලෝවල දෙවිවරුන්ට අගමෙහෙසිය වී එයින් චුතව කාශ්‍යප බුදුන්ගේ කාලයෙහි මහත් සම්පත් ඇති සිටුවරයෙකුගේ දියණියක වී ක්‍රමයෙන් වැඩිවියට පැමිණ සසුනෙහි පැහැදී රත්නත්‍රය විෂයෙහි බොහෝ පින්කම් කළාය.
එහි ජීවිතාවසානය දක්වා ධර්‍මානුකූලව ජීවත්වී කුසල්දහම්හි නිරතව එයින් චුතව ගොස් තව්තිසාවෙහි ඉපිද අතරතුර සුගතීන්හි පමණක් හැසිරෙන්නී මේ බුද්ධෝත්පාදයෙහි මන්තාවතී නුවර කොඤ්ච නම් රජුගේ දියණිව උපන්නාය. ඇයගේ දෙමවුපියෝ ඇයට සුමෙධා යන නම තැබූහ. ඕතොමෝ ක්‍රමයෙන් වැඩිවියට පැමිණියා දෙමවුපියෝ ඇය වාරණවතී නගරයෙහි අණිකදත්ත නම් රජුට පාවාදීමට සාකච්ඡා කළහ. ඕ කුඩාකල සිට සමවයසැති රජකුමරියන් හා දැස්සන් සමග භික්‍ෂුණීන්ගේ ආරාමවලට ගොස් බණ අසා බොහෝ කලෙක සිට කරනලද අධිකාර ඇති බැවින් හටගත් සංවේගය ඇත්තී සසුනෙහි බෙහෙවින් පැහැදී කම්සුව කෙරෙහි නොඇලුණු සිත් ඇත්තීය. ඕතොමෝ මවුපියන්ගේ සම්මුතිය අසා ගිහිගෙයින් ඇයට පලක් නැතැයි කීවාය. ඇය ගිහිගෙයි ඇලවීමට මවුපියන් කෙතරම් තැත්කළ නමුදු අවබෝධ කරවීමට නොහැකිවිය. ඕ තමාට පැවිද්ද ලබාගත හැක්කේ එසේයයි කියා තමාම කඩුව ගෙන කෙස් කපා දමා, ඒ කෙස් වැටිය කෙරෙහිම පිළිකුල් මනස වඩා, තමා පෙර කළ අධිකාර ඇති බැවිනුත් භික්‍ෂුණීන් ඇසුරෙන් මනසිකාරය වඩන අයුරුත් අසා තිබුණු බැවිනුත් අසුබ නිමිති උපදවා එහිදීම ප්‍රථම ධ්‍යානයට පැමිණියාය. ප්‍රථම ධ්‍යානයට පැමිණීමෙන් පසුවද ඇය ගිහිගෙයි නිරත කරවීමට උත්සාහ කළ මවුපියන්ද පිරිවර ජනයාද ඇතුළු සම්පූර්‍ණ රජපවුල සසුනෙහි පහදවා ගෙදරින් නික්ම භික්‍ෂුණීන්ගේ ආරාමයකට ගොස් පැවිදි වූවාය. පැවිදිව විදසුන් වඩා නුවණ මුහුකුරා ගොස් විමුක්තිගාමී ධර්‍මයන්ගේ බලවත්කමෙන්ද නොබෝ කලෙකින් පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
කෝණාගමන බුදුන්ගේ කාලයෙහි යෙහෙළියන් තිදෙනෙකු සමග බුදුන් පෙරටුකොට ඇති මහා සංඝයාට පන්සලක් කරවා පිදුවෙමි.
දසවරක්, සියවරක්, දහස්වරක් සියක්දහස්වරක් දෙව්ලෝවල උපන්නෙමි. මිනිසත්බව ගැන නොකිවමනාය.
දෙවිවරුන් අතර මහත් සෘද්ධි බලයකින් සමන්විත වීමි. මිනිසත් බැව්හිදි අමුතුවෙන් කිවයුතු නොවේ. සප්ත රත්නයන් අතරෙන් ස්ත්‍රී රත්නයක් වීමි.
මෙලෙව්හිදී රැස්කළ කුසලසම්භාර ඇතිව කුල බලයෙන් සමෘද්ධිමත් වූ ධනඤ්ජානි, ඛෙමා හා මම ද යනුවෙන් තිදෙනෙක් වීමු.
සියලු අවයවගෙන් පිරිපුන් මනා ආරාමයක් කර බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජාකර සතුටුවීමි.
යම් ආත්මභාවයක මම උපනිම්ද ඒ හැම අවස්ථාවන්හිදීම ඒ පින්කමෙහි ආනිශංස වශයෙන් දෙවියන් අතර අගතැන් පත්වීමි. මිනිසුන් අතරද මෙසේමය.
මේ කල්පයෙහිම බ්‍රහුමබන්ධු වූ මහා යශස් ඇති කස්සප නම්වූ දේශකයන්ගෙන් ශ්‍රේෂ්ඨ වූ බුදුහු ලොව උපන්හ.
ඒ බුදුගේ ප්‍රධාන උපස්ථායකයා බරණැස්පුර කිකී නම් කාසි රජතුමා විය.
ඒ රජුට දූවරු සත්දෙනෙක් වූහ. සුවසේ වැඩුණු මේ තරුණියෝ බුදුන්ට උපස්ථාන කිරීමෙහි නිරතවූවාහු බඹසර හැසුරුණහ.
ඔවුන්ගේ සහායිකාවක් වූ මම සකසා දන් දී ගිහිගෙයිම ව්‍රත පූරණය කළෙමි.
මනාකොට කරන ලද ඒ පින්කමේ හේතුවෙන් චෙතනා ප්‍රණධියද තුබූ හෙයින් එයින් චුතව තවුතිසාවට ගියෙමි.
එයින් චුතව යාමයටද එයින් පසු තුසිතයටද එයින් නිර්මාණරතියටද එයින් පසු වසවර්ති පුරයටද ගියෙමි.
යම් තැනෙක උපනිම්ද ඒ පින්කම විසින් මෙහෙයවනු ලැබූ ඒ ඒ රජවරුන්ගේ මෙහෙසිය වීමි.
[missing trans]
දෙව්මිනිස් දෙගතියෙහිම සැප විඳ හැමතැනකදීම සුවපත් වී නොයෙක් ජාතීන්හි සැරිසැරුවෙමි.