40. චත්තාලීසතිනිපාතය
ඉසිදාසී ථේරීගාථා වර්ණනාව
සතළිස්වන නිපාතයෙහි නගරම්හි කුසුමනාමෙ ආදී ගාථා ඉසිදාසී තෙරණියගේය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර ඇත්තී ඒ ඒ භවයන්හිදී කුසල් රැස්කරමින් අවසාන වශයෙන් සත්වන හවයෙහි අයහපත් මිතුරන් ඇසුරු කිරීම නිසා පරදැරිකම්කර මරණින් පසු නරකයෙහි ඉපිද එයින් චුතව ආත්ම තුනක තිරිසන් යෝනියෙහි ඉපිද එයින් චුතව දාසියකගේ කුසයෙහි නපුංසකව උපන්නාය. එයින් චුතව එක්තරා දිළිඳු කරත්තකාරයෙකුගේ දියණියව උපන්නාය. වැඩිවියට පැමුණුනා වූ ඕතොමෝ ගිරිදාස නම් අනෙක් කරත්තකාරයෙකුගේ පුතෙකු විසින් විවාහ කරගන්නා ලදීය. ඔහුට යහපත් පැවතුම් ඇති සිල්රක්නා අනෙක් බිරියක් ද වූවාය. ඕතොමෝ ඊර්‍ෂ්‍යා බහුල හෙයින් ඇය කෙරෙහි සැමියා බිඳුවා වෙනස්කම් කරවූවාය. ඕතොමෝ ජීවිතාන්තය දක්වා වාසයකර මියගොස් මේ බුදුපතෙහි උදේනී නුවර සීලාචාරාදි ගුණයෙන් ප්‍රකට වූ ධනවත් සිටුවරයෙකුගේ දියණියට උපන්නාය. ඕ ඉසිදාසී නමින් හඳුන්වනු ලැබුවාය.
ඇය වැඩිවිය පැමිණි කල්හි කුලය රූපය වයස සම්පත් ආදියෙන් සමාන වූ එක්තරා සිටු පුතෙකුට විවාහ කර දුන්හ. ඕ සැමියා දෙවියෙකු කොට සලකමින් මාසයක් පමණ එහි විසුවාය. ඉක්බිති ඇයගේ කර්‍ම විපාකයක් වශයෙන් සැමියා ඇය කෙරෙහි අහිතවත් වී ඇය ගෙදරින් පිටත් කළේය. ඒ සියලු පවත් පාලියෙන් දැනගන්නේය. ඒ ඒ සැමියන්ගේ නොරිස්සීමට ගොදුරු වූ ඕතොමෝ කලකිරී පියාගේ අනුමැතිය ලබා ජිනදත්තා තෙරණිය සමීපයෙහි පැවිදිවී විදසුන් වඩන්නී නොබෝ කලෙකින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. ඉන්පසු පලසුවයෙන් හා නිවන් සුවයෙන් කල් යවන්නී දිනක් පැළලුප් නුවර පිඬු පිණිස ගොස් අහර කිස කර නිමවා මහා ගංගාවෙහි වැලිතලාවෙහි හිඳ තම සහායිකාව වූ බෝධි තෙරණිය පෙර පිළිවෙත විමසූ කල්හි ගාථාබන්‍ධන වශයෙන් උජ්ජෙනියා පුරවරෙ ආදි ගාථාවලින් කතාපුවත සැලකළාය. ඒ දෙදෙනාගේ ප්‍රශ්න හා පිළිතුරු මෙසේ දැක්විණ:
පැළලුප් නුවර කුසුම නම් පෙදෙස ශාක්‍ය කුලයෙහි උපන් ගුණසම්පන්න භික්‍ෂුණීහු දෙදෙනෙක් විසූහ.
එයින් එක තැනැත්තියක් ඉසිදාසී නමි, අනෙක් තැනැත්තී බෝධි නමින් සිල්වත් තැනැත්තියක් වූවාය. මොවුහු ධ්‍යානයෙහි ඇලුණු බහුශ්‍රැත වූ කෙලෙස්මළ සෝදලූ දෙනමක් වූහ.
ඔවුහු පිඬු පිණිස හැසිර දන් වළඳා පාත්‍ර සෝදා තබා සුවපහසුව හුන්නාහු මේ වචන ප්‍රකාශ කළහ.
මේ ගාථා තුන සංගීතිකාරයන් විසින් ඇතුළත් කරන ලද ඒවාය.
ආර්‍ය ඉසිදාසිය, ඔබ පහදවනසුලු තැනැත්තියකි. ඔබේ වයස ද පිරිහී ගොස් නැත. කවරනම් දෝෂයක් දැක නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණෙහිද?
මෙසේ ශ්‍රමණ ධර්‍මයෙහි යෙදී සිටින්නා වූ ධර්‍ම දේශනාවෙහි දක්‍ෂ වූ ඉසිදාසී මෙසේ කීවාය. මා පැවිදිවූයේ කවර හෙයින්ද යනු ඔබට කියා දෙමි, බෝධි තෙරණිය අසනු මැනවි.
මෙයින් පසුව දැක්වෙන්නේ පිළිතුරු වශයෙන් ඇය ප්‍රකාශ කළ කථා පුවතය:
මගේ පියා උදේනි නුවර සීලගුණයෙන් සමන්විත වූ සිටුවරයෙක් විය. මම ඔහුගේ මනවඩන ප්‍රිය වූ එකම දියණිය වීමි.
ඉක්බිති සාකේත පුරයෙහි සිට කුලවත් ධනවත් සිටුවරයෙක් පැමිණියේය. මගේ පියා මා ඔහුට යෙහෙලිය කර දුන්නේය.
උදෑසන හා සවස මම මගේ නැදිමයිලන් වෙත ඇඳිලි බැඳගෙන පැමිණ, මට දී තිබෙන අවවාද පරිදි මම ඔවුන්ගේ දෙපා නැමදීමි.
මගේ සැමියාගේ සොහොයුරියන් සොහොයුරන් හා පිරිවරජනයා ගෙදරට පැමිණෙනු දැක මම නැගිට ඔවුන්ට අසුන් පනවා දෙමි.
ආහාරපානවලින් ද ඛාද්‍යභොද්‍ය ආදී එවේලට ගෙදර තිබුණු දෙයින් මම ඔවුන්ට සුදුසු පරිදි සංග්‍රහ කරමි.
සුදුසු වේලාවෙහි නැගිට ගෙදරට ගොස් එලිපත සිට අත්පා දොවමින් බඳැදිලිව සැමියා වෙත යමි.