සුමනා ථේරීගාථා වර්ණනාව
ධාතුයො දුක්‍ඛතො දිස්වා - මෙය සුමනා තෙරණියගේ ගාථාවය. ඇයගේ කථා වස්තුව තිස්ස තෙරණියගේ කථාවස්තුවට සමානය. මැය වෙතද ශාස්තෲන් වහන්සේ ආලෝකයක් විහිදුවා ඉදිරිපිට සිටින්නාක් මෙන් තමා දක්වා:
ධාතුයො දුක්‍ඛතො දිස්වා මා ජාතිං පුනරාගමි,
භවෙ ඡන්‍දං විරාජෙත්‍වා උපසන්තා චරිස්සසී’ති.
ධාතූන් දුක් හැටියට දැක, නැවත ඉපදීමකට නොපැමිණෙන්න භවයෙහි කැමැත්ත දුරුකොට සන්සුන්ව හැසිරෙන්න
යන ගාථාව වදාළහ. ගාථාව අවසානයෙහි ඕතොමෝ රහත්බවට පැමිණියාය.
එහි ධාතුයො දුක්‍ඛතො දිස්වාති - සන්තතියට ඇතුළත්වූ චක්‍ඛු ආදී ධාතුහුය. සෙසු ධාතුහු ද ඇතිවීම් නැතිවීම් සංඛ්‍යාත පීඩා නිසා දුක් හැටියට නැණැසින් දැක. මා ජාතිං පුනරාගමීති - අනාගතයෙහි දී නැවත උපතකට නොපැමිණෙන්න. භවෙ ඡන්‍දං විරාජෙත්‍වා - කාමභවාදී සියලු භවයන්හි තෘෂ්ණාව නම් වූ දැඩි ආශාව විරාග නමැති මාර්ගයෙන් ඉවත්කර, උපසන්තා චරිස්සසී - හැම ආකාරයකින්ම නැසූ කෙලෙස් ඇති හෙයින් නිවී හැසිරෙන්න.
මෙහිද ‘ධාතුයො දුක්‍ඛතො දිස්වා’ යන මෙයින් දුක අනුව මෙනෙහි කිරීමෙන් විපස්සනාව පෙන්වූයේ වෙයි. ‘භවෙ ඡන්‍දං විරාජෙත්‍වා’ යන මෙයින් මාර්ගය ද, ‘උපසන්තා චරිස්සසි’ යන්නෙන් උපාදිසේස නිර්‍වාණ ධාතුවද, ‘මා ජාතිං පුනරාගමි’ ප්‍රකාශයෙන් අනුපාදිසේස නිර්‍වාණ ධාතුවද දක්වන ලදැයි දතයුතුය.
සුමනා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.
උත්තරා ථේරීගාථා වර්ණනාව
කායෙන සංවුතා ආසිං යන මෙය උත්තරා තෙරණියගේ ගාථාවය. ඇයගේද කථාවස්තුව තිස්සා තෙරණියගේ වස්තුවට සමානය. ඕතොමෝද සාක්‍ය කුලයෙහි උපන්නී බෝසතුන්ගේ ඇතොවුරෙහි වැස මහාප්‍රජාපතීගෝතමිය සමග නික්ම ආලෝක ගාථාවෙන් රහත්බවට පැමිණ:
කායෙන සංවුතා ආසිං වාචාය උදචෙතසා,
සමූලං තණ්හං අබ්බුය්හ සීතිභූකම්හි නිබ්බුතා.
කයින් සංවර වීමි, එසේම වචනයෙන් හා මනසින් ද සංවරවීමි. තෘෂ්ණාව සහමුලින් උපුටා දමා නිවුණෙන් සිහිල් වීමි.
උදාන වශයෙන් එම ගාථාවම කීවාය.
එහි කායෙන සංවුතා ආසිං ති - කාය සංවරයෙන් සංවරණය වුයේ වෙමි. වාචාය - වාචසික සංවරයෙන් සංවරණය වූයේ, මේ පද දෙකෙන්ම සීල සංවරණය අදහස් කර ඇත. උදා - ඉක්බිති. චෙතසා - අධිචිත්තය. මෙයින් විපස්සනා භාවනාව කියවේ. සමූලං තණ්හං අබ්බුය්හ - අනුසය සහිත වූ හෝ අවිද්‍යාවෙන් තෘෂ්ණාව උපදවා, අවිද්‍යාව හේතුකොටගෙන භවත්‍රයයෙහි තෘෂ්ණාව හටගනී.
තවත් ක්‍රමයක් ‘කායෙන සංවුතා’ යනුවෙන් හැඳින්වේ. සම්‍යක් කර්‍මාන්තයෙන් හැම ආකාරයෙන්ම වැරදි කර්‍මාන්ත දුරුකිරීමෙන් මාර්ග සංවරණයෙන්ම සිරුරෙන් සංවරණය වූයේ වෙයි. ‘වාචාය’ යනු යහපත් වචනයෙන් වැරදි වචනය දුරුකර මාර්ග සංවරණයෙන්ම වචනයෙන් සංවරණය වූයේ වෙයි, යනු අර්ථයි. ‘චෙතසා’ සමාධියෙන්, චෙතො යන ශිර්‍ෂ පාඨයෙන් මෙහි සම්‍යක් සමාධිය කියන ලදමැයි. සම්‍යක් සමාධිය ගැනීමෙන් මාර්‍ග ලක්‍ෂණයක් වශයෙන් එකම ලක්‍ෂණය වූ සම්‍යක් දෘෂ්ටිය ආදී වූ මාර්‍ග ධර්‍මයෝම ගත්තාහු වෙත්. මාර්‍ග සංවරය ගැනීමෙන් අභිධ්‍යාදී වූ අසංවරය සම්පුර්‍ණයෙන් ප්‍රහීණ කළ බව දැක්වූයේ වෙයි. එහෙයින්ම සමූලං තණ්හං අබ්බුය්හ යනුවෙන් කියන ලදී. සීතිභූතම්හි නිබ්බුතා හැම ආකාරයකින්ම කෙලෙස් ගින්න නිවා දැමූ හෙයින් සිහිල් බවට පැමිණීමෙන් අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුවෙන් නිවුණේ වෙමි යනුය.
උත්තරා ථෙරියගේ ගාථා වර්‍ණනාව නිමි.
සුමනාබුඩ්ඪපබ්බජිතා ථේරීගාථා වර්ණනාව
සුඛං ත්‍වං වුඩ්ඪිකෙ සෙහි - මෙය මහලු පැවිද්දකගේ ගාථාවකි. මෝතොමෝද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර්‍ය ඇත්තී ඒ ඒ භවයෙහි කුසල් රැස්කර මේ බුද්ධෝත්පාදයෙහි සැවැත්නුවර මහකොසොල් රජුගේ සොහොයුරියක් වී උපන්නාය. ඕ එක්දිනක් බුදුන් පසේනදිකෝසල රජුට ‘මහරජ, මේ සතරදෙන ළදරු යයි නිගරුනොකට යුතුය’ යනුවෙන් දෙසූ ධර්‍මය අසා පැහැදී සරණ සීලයෙහි පිහිටා පැවිදිවනු කැමැත්තී වුවද මිත්තණිය රැකබලා ගන්නෙමැයි ටිකකලක් ගතකොට පසු කලක මිත්තණිය කළුරිය කළායින් පසු රජු සමග මා ඇගි බුමුතුරුණුපාපිසි ආදිය ගෙන්වාගෙන විහාරයට ගොස් සංඝයාට පූජාකොට බුදුන්ගෙන් බණ අසා අනාගාමි ඵලයෙහි පිහිටියා, පැවිද්ද ඉල්වූවාය. බුදුන්වහන්සේ ඇයගේ නුවණ මුහුකුරා ගොස් තිබෙන බව දැක,
සුඛං ත්‍වං වුඩ්ඪිකෙ සෙහි කත්‍වා චොළෙන පාරුතා,
උපසන්තොහි තෙ රාගො සීතිභූතාසි නිබ්බුතා.