ධම්මදින්නා ථේරීගාථා වර්ණනාව
ඡන්දජාතා අවසායී යනු ධම්මදින්නා ස්ථවිරීන්ගේ ප්‍රකාශයයි. මේ වනාහී පියුමතුරා බුදුන්ගේ කාලයෙහි හංසවතී නගරයෙහි පරාධීන ජීවන වෘත්තියක් ඇත්තී නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියා වූ අග්‍රශ්‍රාවකයන්ට පූජාසත්කාර පෙරටුකර දානයක් දී දෙව්ලොව උපන්නාය. එයින් චුතවී දෙව්මිනිස්ලෝවල හැසිරෙන්නී ඵුස්ස බුදුන්ගේ කාලයෙහි වෙනස් මවුවරුන් ඇති සොහොයුරන්ගේ කාර්මිකයාගේ ගෙදර වෙසෙන්නී ‘දන් පිණිස එකක් දෙව’යි සැමියා විසින් කියන ලද්දී දෙකක් දී බොහෝ පින්කොට කාශ්‍යප බුදුන්ගේ කාලයෙහි කිකී නම් වූ කාසි රජුගේ ගෙයි පිළිසිඳ සොහොයුරියන් සත් දෙනෙකුගේ අතරමැදියා වී ඉපිද අවුරුදු විසිදහසක් බඹසර හැසිර එක බුදුතරක් (බුද්ධාන්තරයක්) දෙව්මිනිස් ලෝවල හැසිරෙන්නී මේ බුදුපතෙහි (බුද්ධෝත්පාදයක්) රජගහනුවර කුලගෙයක ඉපිද වියපත් වූ කල්හි විසාඛ සිටුවරයා සමග විවාහ වුවාය.
ඉක්බිති එක් දිනක විසාඛ-සිටුවරයා බුදුන් වෙතින් බණ අසා අනාගාමී වී ගෙදර ගොස් පහයට නගින්නේ හිණිකෙළවර සිටි ධම්මදින්නා දිගුකළ අතෙහි නොඑල්බී පහයට නැග අහරකිස කරන්නේ නිහඬවම වැළඳුවේය. ඔහුගේ මේ වෙනස දුටු ධම්මදින්නා ‘ආර්ය පුත්‍රය, කුමක් හෙයින් අද මාගේ අතෙහි නොඑල්බී ද, වළඳන්නේ ද කිසිවක් නොකියාම නිහඬව අහර ගනියි. මා විසින් කළ වරදෙක් ඇද්දැ’යි විචාළාය. ‘ධම්මදින්නා’, විසාඛ කීවේය. ‘ඔබ කළ වරදක් නැත. අද පටන් මම ගැහැනු සිරුරක් ස්පර්ශ කිරීමට හෝ, ආහාරයෙහි ලොල් බවක් කිරීමට හෝ නුසුදුස්සෙමි. එවැනි බණක් මම ඇසුවෙමි. ඔබ කැමති නම් මේ ගෙදරම වෙසෙන්න, නොඑසේ නම් ඔබ කැමැති තාක් ධනය ගෙන දෙගුරු ගෙයට යන්න’. ‘ආර්යපුත්රය, මම ඔබ කළ වමනය කටේ දාගැනීමට නොකැමැත්තෙමි. පැවිදිවීමට මට අවසර දෙන්න’යි ඕ ඉල්ලා සිටියාය. එය සතුටින් අනුමත කළ විසාඛ සිටුවරයා රන්සිවි ගෙයකින් ඇය භික්ෂුණී ආරාමයකට යැවීය. ඕතොමෝ එහිදී පැවිදිව කමටහන් ගෙන කිහිප දිනක් එහි වැස විවේක සේනාසනයක වසනු කැමැත්තී ආචාර්ය උපාධ්යාවන් වෙත ගොස් ජනගහණයෙන් යුත් ස්ථානයක ඇගේ සිත නොඇලෙන බව පවසා විවේකා වාසයකට යනු කැමති බව දැන්වූවාය. භික්ෂුණීහු ඇය එවැනි අරමකට යැවූහ. ඕ එහි වසන්නී අතීතයෙහි මඩනා ලද සංස්කාරයන් ඇති හෙයින් නොබෝ කලකින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
මෙයින් කල්ප සියක්දහසකට පෙර සියලු ධර්මයන්ගේ පරතෙරට පැමිණියා වූ පදුමුත්තර නම් බුදුහු ලොව පහළවූහ.
එකල මම හංසවතී නුවර එක්තරා කුලයක ඉපිද දක්ෂ වූයෙම් සීලසම්පන්න වූයෙම් අනුන්ට බැලමෙහෙකම් කරමින් ජීවත් වූයෙමි.
පදුමුත්තර බුදුන්ගේ අග්‍රශ්‍රාවක වූ සුජාත තෙරණුවෝ විහාරයෙන් නික්ම පිඬුපිණිස යති.
එකල දිය අදින්නා වූ මම කළය ගෙන පැන් සඳහා යන්නෙම් උන්වහන්සේ දැක පැහැදුනෙම් සියතින් කැවුම් පිදීමි.
එය පිළිගත් උන්වහන්සේ එතැන්හිම හිඳ එය වැළඳුහ. ඉක්බිති ගෙට කැඳවාගෙන ගොස් ආහර පිළිගැන්වීමි.
එයින් පැහැදුණා වූ මගේ හාම්පුතා මා ළෙහිලිය කරගත්තේය. ඉක්බිති මම සැමියා සමග ගොස් බුදුන් වැඳීමි.
එවිට උන්වහන්සේ එක්තරා භික්ෂුණියක් ධර්මකථික තනතුරෙහි තැබුහ. එය දුටු මම අතිශයින් පැහැදී
සංඝයා සහිත බුදුන් නිමතා (ආරාධනා කර) මහාදානයක් දී ඒ තනතුර ප්‍රාර්ථනා කළෙමි.
ඉක්බිති ඒ සුගතයන් වහන්සේ ගැඹුරු මධුර ස්වරයෙන් මෙසේ වදාළහ: ‘මා ඇතුළු සංඝයාට දන් දුන්නා වූ ඔබ උවටැන් කිරීමෙහි නියැළුණාවෙහි.
ගුණයෙන් වැඩුණු මනස ඇති බණ ඇසිමෙහි නියුතු වූ තැනැත්තිය, ඔබ සතුටු වන්න. අභිප්‍රේත ඵලය ලබාගනු මැනව.
මෙයින් කල්ප සියක්දහසකට පසු ඔක්කාක වංසයෙහි උපන් ගෞතම නම් වූ පුද්ගලයෙක් ලෝකයෙහි නායකයා වන්නාහුය.
උන්වහන්සේගේ ධර්මය දායාද කොට ඇති ධර්මයෙන්ම නිමවූවක් වැනි වූ ධම්මදින්නා නම් වූ ඔබ ශාස්තෲ ශ්‍රාවිකාවක් වන්නීය.
එය ඇසීමෙන් තුටුපහටු වූ මම ඒ මහා මුනිවරයන් වහන්සේට ජීවිතාවසානය දක්වා මෙත් සිතින් සිවුපසයෙන් උපස්ථාන කළෙමි.
ඒ යහපත් ක්‍රියාව ද මනෝප්රණිධිය ද හේතුකොටගෙන මිනිස් සිරුර අතහැර තවුතිසා දෙව්ලොවට ගියෙමි.
මේ භද්‍ර කල්පයෙහි බ්‍රහ්ම බන්ධු වූ මහා යශස් ඇති නමින් කස්සප වූ බුදුවරයෙක් පහළවිය.