13. තෙරස නිපාතය
‘සෝණ’ ස්ථවිරගාථා වර්ණනාව
දහතුන්වන නිපාතයේ “යාහු රට්ඨෙ” යනු ආයුෂ්මත් කොලිවීස සෝණ තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ සිදුවී ද? උන්වහන්සේ ද පෙරබුදුවරුන් හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව පින්දහම් රැස්කර ගත්හ. “අනෝමදස්සි” භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයේ දී හෙතෙම ඉතා ධනවත් සිටුවරයෙක් ව ඉපිද, උපාසකවරුන් සමග විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේගෙන් දහම් ඇසීය. ඉන් පැහැදුණු සිත් ඇති හෙතෙම ශාස්තෲන් වහන්සේ සක්මන් කරන මළුව හුණු බදාමයෙන් පිරියම් කරවා, නානා වර්ණවත් මලින් අලංකාර කරවා, ඒ මත නානාවිධ වස්ත්‍රයන්ගෙන් වියනක් බැඳවීය. එසේම ශාස්තෲන් වහන්සේගේ භික්‍ෂු මහා සංඝරත්නයට ද දිගුශාලාවක් කරවා පූජාකළේය. ඒ පින්කම්වල විපාක විඳිමින් දෙව් මිනිස් දෙගතියේ සැරිසැරූ හෙතෙම; පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී හංසවතී නුවර සිටුගෙදරක උපත ලැබ, “සිරිවඩ්ඪ” නාමයෙන් ප්‍රකට විය. තරුණවියට පත් ඔහු විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේ සමීපයේ සිට දහම් අසමින් සිටි අවස්ථාවක, ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක්, ආරද්ධවිරිය භික්‍ෂූන්ගෙන් අග්‍රභාවයට පත්කරනු දුටුවේය. සිරිවඩ්ඪ සිටුවරයා ද ඒ තනතුරම පතමින් සත්දිනක් බුදුපාමොක් මහසඟනට මහදන් පවත්වා ප්‍රණිධානය පැවසීය. ඔහුගේ ප්‍රාර්ථනාව ඉටුවෙනු බව දුටු ශාස්තෲන් වහන්සේ ද නියත විවරණ දුන්සේක.
දිවි ඇතිතාක් පින් දහම් කළ හෙතෙම දෙව්මිනිස් දෙගතියේ සැරිසරමින් අවුත්; කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවි පසුව, අපගේ බුදුහු පහළවීමට පෙර දී බරණැස සිටු ගෙයක උපන්නේය. නුවණැති බවට පත් ඔහු ගඟක් අසබඩ පන්සලක් සාදවා එහා පසේ බුදුවරයකු වඩා හිඳුවා සිවුපසයෙන් ඇප උපස්ථාන කළේය. විසූ වස් ඇති, පිරිපුන් පිරිකර ඇති පසේ බුදුරජාණන් වහන්සේ ගන්‍ධමාදන පර්වතයටම වැඩිසේක. ඒ සිටුපුතු ද දිවිතාක් තව තවත් පින්දහම් සිදුකර ඉන් චුතව කාමසුගතීන් හි සැප විඳිමින් සසර සැරිසරා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී චම්පා නුවර උසභ සිටුහුගේ ගෙයි ඉපදුනේය. ඒ දරුවා පිළිසිඳගත් මොහොතේ සිට ම සිටුවරයාගේ භව භෝග සම්පත් වැඩුනේය. ඔහු උපන් දිනයේදී මුලු නුවර වැසියන්ට මහත් සත්කාර සම්මාන ලැබිණි. උපදින අවස්ථාවේ ද පෙර අත්බවෙකදී පසේ බුදුවරයෙකුට ලක්‍ෂයක් අගනා රතු කම්බිලියක් පිදූ පිනින් ඉතා පිරිසිදු රන්වන් වර්ණයෙන් බබළන අතිශය සියුම් ශරීරයක් ඔහුට ලැබිණි. එනිසා කුමරුට “සෝණ” නම තබන ලදි. මහත් පිරිවරින් වැඩුණු සෝණගේ අත් පා තල බඳුවද මල් පැහැයෙන් බැබලුණි. සියක් වර පෙළු කපුපුළුන් බඳු සුව පහස් ඇති ශරීර විය. පාවල යටිපතුලේ මිණිකොඬොල් වර්ණ ඇති ලෝම හටගත්තේය. නිසිවියට එළඹි සෝණට තුන් සෘතුවට යෝග්‍ය ප්‍රාසාද තුනක් කරවා නාට්‍යාංගනාවන් සහිතව පැවරීය. ඔහු ඒ කාම සම්පත් දිව්‍යකුමාරයකු මෙන් විඳිමින් කල් ගෙවීය.
මේ කාලයේදී අපගේ ශාස්තෲන් වහන්සේ සර්වඥපදවිය ලබා, පැවැත්වූ දම්සක් දෙසුම් ඇතිසේක්; රජගහ නුවර වෙසෙති. බිම්සර මහරජුගේ කැඳවීම අනුව අසූදහසක් ගම්පතීහු සමඟ රජගහ නුවරට පැමිණි සෝණ කුමරු ද, බුදුරදුන් වෙත ගොස් ධර්මශ්‍රවණය කළේය. සසුන පිළිබඳව පැහැදුණු සිතැති සෝණ ශ්‍රද්ධාවෙන් පැවිදිව, ලැබූ උපසපන් බව ඇතිව, ශාස්තෲන් වහන්සේගෙන්ම කමටහන් ගෙන, ජනයාගෙන් වෙන්ව සීතවනයේ වාසය කළේය. උන්වහන්සේ, “මගේ ශරීරය ඉතා සියුමැලිය සැපෙන් සැප ලැබීමට නම් නොහැකිමය. කය වෙහෙස වා කමටහන් වැඩිය යුතුය”යි සිතා සක්මනට ම සිත යොදවා වීර්යයෙන් යුතුව කෙලෙස් දුරුකිරීමෙහි යෙදුණෙුසේක. පා තල පැලී වේදනා ඇතිවුවත් දැඩිවීර්යයෙන් යුතුවම සක්මන් කළ නමුත්, “මම ආර්ය මාර්ගයක් හෝ ආර්ය ඵලයක් උපදවා ගැනීමට අසමත් වෙමි. මේ පැවිද්දෙන් කවර ප්‍රයෝජනයක් ද? ගිහිව කාම සම්පත් විඳ පින්දහම් කරගන්නෙමි”යි සිතූ උන්වහන්සේගේ එම සිත දුටු බුදුපියාණන් වහන්සේ එතැනට වැඩම කළසේක. වීණෝපමාවෙන් දහම් දෙසූ තථාගතයන් වහන්සේ වීර්ය සමතාවයට සෝණහිමියන්ගේ සිත යොමුකරවා, කමටහන ද පිරිසිදු කර දී ගිජුකුළු පවුවට වැඩිසේක. සෝණ තෙරණුවෝ ද බුදු මුවින් ලද අවවාද ඇතිව, වීර්ය සමතාවෙහි පිහිටා විදසුන් වඩා රහත් වූහ. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ වදාළහ.
“මම තාදීගුණ ඇති ලෝක ජ්‍යෙෂ්ඨ වූ අනෝම දස්සි බුදුරජාණන් වහන්සේට හුනුබදාමයෙන් ආලේප කළ සක්මන් මළුවක් පිදුවෙමි.
නානාවර්ණ මල් සමූහයෙන් සක්මන් මළුව වැසූ මම, එය වැසෙන සේ අහසෙහි වියනක් බඳවා උතුම් බුදුපියාණන් ලවා පරිභෝග කරවූයෙමි.
මනා ව්‍රත ඇති බුදුරදුන් දෙසට ඇඳිලි බැඳගත් මම භාග්‍යවතුන් වහන්සේට දීර්ඝ ශාලාව පිළිගැන්වීමි.
ලොව අනුත්තර වූ භාග්‍යවත් වූ පසැස් ඇති උන්වහන්සේ මගේ සිත්දැන මේ සියලු පූජා පිළිගත්සේක.
සදෙව් ලොවම දක්‍ෂිණාවට සුදුසු වූ සර්වඥයන් වහන්සේ බික්සඟන මැද වැඩහිඳ මෙසේ වදාළසේක.”
“යමෙක් සතුටු සිතින් දීර්ඝ ශාලාවක් කරවා පූජාකළේ ද ඔහු කවරෙකුවේ ද? යි මම පවසමි. එසේ පවසන මාගේ වචන අසවු.
මේ පින් බලයෙන් මොහුට මරණාසන්න අවස්ථාවේ දහසක් අසුන් යෙදූ අශ්වරථයක් පැමිණියේය.
ඒ යානයෙන් දෙව්ලොව යන මෙතෙම දෙවියන් සමග තුටුවන්නේය.
රන් සුණු ආලේප කළ, උතුම් කුළුගෙවල් සහිත මාහැඟි, ශ්‍රේෂ්ඨ සඳලු ඇති විමානයක වාසය කරන්නේය.
කල්ප තිහක් දෙව් සැප විඳින මොහු කල්ප විසිපහක්ම දිව්‍ය රාජ්‍ය කරන්නේ ය.