නිගමනකථා
සසරින් නිදහස සොයන ලෝකවාසීන්ට, බුදුරජාණන් වහන්සේ විසින් දේසනා කරන ලද කුඩා දහම් සූත්ර ඇතුළත්ව ඇතැයි සැළකෙන ඛුද්දක නිකායෙහි සුත්තනිපාත නම් වූ (සූත්ර එකතුවට) වන්දනීය වූ උතුම් තෙරුවන් නැමද අරුත් විවරණයක් කරන්නෙමු.
යැයි මුලදී කියන ලද පරිදි මෙහි උරග වග්ග ආදී කොටස් පහකින් හා උරග සූත්රය ආදී සූත්ර හැත්තෑවක් ඇතුලත් සුත්ත නිපාතයට අරුත් විස්තර කරන ලදී. එහෙයින් මෙසේ කියන ලදී -
මතුවටද සදහම් මැනවින් පැවතීම දකිනු කැමතිව, මෙම සුත්ත නිපාතයට අරුත් විස්තර දැක්වීමෙන් මා විසින් ඇති කරගත් කුසල බලයෙන්, බුද්ධාදී උතුමන් විසින් පහදා දෙන ලද දහමෙහි මේ ජනතාව එහි මහත් වූ විපුල දැනුමෙන් ඉක්මණින්ම වැඩිදියුණුවට පැමිණේවා!
උගතයුතු දහම් කොටස් සේ බණවර හතළිස් හතරකි.
උතුම්, සුපිරිසිදු සැදැහැ බවින්, නැණින් හා උත්සාහ ගුණ යුතු, මනා සිල්වත්, නොවක්, මුදු ගුණයෙන් යුතු, තම සමය මෙන්ම වෙනත් ආගම් දසුන් හැදෑරීමෙන් සමත්කම් පෑ, දැනුමෙන් වියත් වූ, උගතමනා තෙවළා දහමෙහි අටුවා විවරණ සමග බුදුසස්නෙහි නොවෙනස් නුවණ රැසින් ද, මැනවින් වියරණ - වහර දැනීමෙන් ලද උදාරබව පිරි මිහිරි වදනෙහි බුහුටිකමින් හා සියළු වාදයන්හි අගපත්, මහාකවි, උසස් ගැඹුරු සයනැණින් හා මනා වැටහෙන නුවණින් යුතු, මිනිස්වග ඉක්මවා යන උසස්තම කරුණින් හෙබි, මහා විහාරවාසී, බබලන පහන් වන් ථෙරවාදී සඟ පරපුර අලංකාර කරන ලද, පුළුල් නිමල බුද්ධිය නිසාම ගුරුන් විසින් බුද්ධඝොස (හෙවත් බුදුගොස්) නමින් හඳුන්වනු ලබන තෙරුන් වහන්සේ විසින් ‘උසස් බලාපොරොත්තු බබුළුවන) පරමත්ථ ජොතිකා නම් මෙම සුත්තනිපාත අටුවාව කරන ලදී.
පිරිසිදු සිතැති, කම්පා නොවන, ලොවටම උසස් වූ, මාහ ඉසිවර වූ බුදුරජාණන් වහන්සේ යන නම ලොව පවත්නා තෙක්, සසරින් එතරවනු කැමති කුල පුතුනට සීලයෙන් පිරිසිදු වීමේ මග - පිළිවෙල පෙන්වා දෙමින් මෙය ලොව පවතී.
සුත්තනිපාත අටුවා කථා නිමියේය.