පාරායනානුගීතිගාථා වර්ණනාව
පාරායණා මනුගායිස්සං යනු මෙහි සම්බන්ධයයි. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පාරායණ’ නම් වූ දහම් කොටස දේසනා කළවිට, දහසය දහසක් ජටිලයෝ අරහත් පලයට පැමිණියහ. ඉතිරි දහහතර කෝටියක් දෙව් මිනිසුන්ට දහම් අවබෝධ විය. පැරණි වියතුන් විසින් මෙසේ කියන ලදී -
‘සුන්දර වූ පාසාණක (චෙතියෙහි) දී පැවැත්වූ දහම් දේසනයෙහිදී බුදුරජාණන් වහන්සේ දහහතර කෝටියක් සත්වගට (දම් අමා පෙවූ සේක.’
දහම් දෙසුම නිමවූ විට, ඒ ඒ පෙදෙස්වලින් පැමිණි මිනිස්සු භාග්‍යවතුන් වහන්සේගේ ආනුභාවයෙන් තම තමන්ගේ ගම් නියම්ගම් ආදී පෙදෙස්වලට පැමිණ වූහ. භාග්‍යවතුන් වහන්සේද (බාවරීගේ) පිරිවරව සිටි සොළොස් දහසක් සඟ පිරිස සහ නොයෙක් දහස් ගණන් බික්සඟණ පිරිවරා සැවැත් පුරටම පැමිණියහ. එහිදී පිංගිය හිමි භාග්‍යවතුන් වහන්සේට වැඳ, ‘හිමියනි, බාවරී ඇදුරුතුමාට බුදුවරයෙකු ලොව පහළ වූ බව සැල කිරිමට යමි, ඔහුට මා පොරොන්දු වී’ යැයි කීවේය. භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ලද පිංගිය හිමි, සෘද්ධි බලයෙන් ගොදාවරී ගංතෙරට පැමිණ, පා ගමනින් අසපුව දෙසට ගියේය. මඟබලමින් හුන් බාවරී බමුණා, තවුස් පිරිකරද, ජටා ආදියද නොමැතිව පැවිදි වෙසින් එන (පිංගිය හිමි) දුරදීම දැක, ‘බුදුවරයකු ලොව පහළව ඇතැ’යි තීරණය කළේය. පැමිණිවිට, ‘පිංගිය, කිමෙක්ද? බුදුවරයෙකු ලොව පහළවීදැ’යි ඇසීය. ‘එසේය බමුණ, බුදුවරයෙක් ලොව පහල වූහ. පාසාණක සෑයෙහිදී අපට දහම් දෙසූහ. මම ඔබට ඒ දහම දේසනා කරන්නෙමි’යි කීය. එවිට, බාවරී මහත් ගරු සැලකිලිමත්ව, පිරිස සහ පුදසත්කාර කොට අසුනක් පැනවීය. එහි හිඳ පිංගිය හිමි ‘පාරායණ මනුගායිස්සන්ති’ ආදී ගාථා කීය.
අනුගායිස්සං භාග්‍යවතුන් වහන්සේ ගීත (මිහිරි හඬින් ගී වැනි ගාථා) නැවත ගයමි. යථා අද්දක්‍ඛි තමන් විසින්ම ඇති තතු එලෙසින්ම අවබෝධ කිරීමෙන් වෙනත් කෙනෙකු නොලබන සුවිසෙස් නුවණින් දුටහ. නික්කාමො කාමය නැති කළ, නික්‍ඛාමො යනුද වචනයක් වේ. උත්සාහවත් යන අරුතයි. අයහපත් දෙයින් වෙන්වූයේ එයින් නික්මුණු යන අදහසයි. නිබ්බනො කෙලෙස් නැමති වනය වැනසූ හෝ තණ්හාව නැති කරන ලද හෝ, කිස්ස හෙතු මුසා භණෙ කෙලෙස්වලින් පිරුණේ නම්, බොරු කියන්නේය. මෙහිදී ඒ කෙලෙස් නැතිකරන ලද බව දක්වයි. එයින් බාවරී බමුණාට ඇසීමට උනන්දුවක් ඇතිකරයි.
වණ්ණූපසංහිතං උසස් බවින් යුතු, සච්චව්හයො ‘බුද්ධ’ යැයි කියන නමටම නිසැකවම ඇත්තටම සුදුසු වූ, බ්‍රහ්මෙ ඒ බමුණාට අමතයි. කුබ්බනකං කුඩා වනය. බහුප්ඵලං කානනමාවසෙය්‍ය නොයෙක් පලවැල ඇති වනයකට පැමිණ වසන්නේය. අප්පදස්සෙ බාවරී වැනි මද නුවණ ඇත්තෙකු (හැර), මහොද්ධී අනොතත්ත ආදී බොහෝ ජලය පිරුණු
යෙ මෙ පුබ්බෙ යෙ + ඉමෙ යමෙක් මෙයින් පෙර, තමනුදාසිනො අඳුර දුරු කරන්නා වූ, භූරිපඤ්ඤාණෙ නුවණ නැමති ධජයෙන් යුතුව, භූරි මෙධසො මහත් වූ නුවණැති, සන්‍දිට්ඨිකමකාලිකං තමන් විසින්ම දැකිය යුතු කාල සීමාවකට යටත්කොට පැමිණිය යුතු නොවන, අනීතිකං කෙලෙස් උවදුරු නැති,
ඉක්බිති බාවරී පිංගිය හිමි භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් වෙන් නොවන බව ‘නාහං තම්හා’ ආදී ගාථා කීය. පස්සාමි නං මනසා චක්‍ඛුනා ව ඒ බුදුරදුන් මම ඇසින් මෙන් සිතින් දකිමි. නමස්සමානොව වසෙමි රත්තිං නමදිමින්ම රැය ඉක්මවමි. තෙන තෙනෙව නතො යම් පෙදෙසක බුදුරජාණන් වහන්සේ වැඩ වසත්ද, ඒ ඒ දෙයට මම ද නැඹුරු වෙමින්, ඈත් නොවෙමින් සිටිමි’යි දක්වයි.
දුබ්බලථාමකස්ස සවිමත් බවින් අඩුවී, ඒ දුබල බව නිසා කය නිසි අයුරු පවත්වා ගැනීමට නොහැකිය. බුදුරජාණන් වහන්සේ සිටින තැනට (එහෙයින්) නොයයි. න පලෙති යනුවෙන්ද පාඨයකි. මේ අදහසය. තත්‍ථ බුදුරජාණන් වහන්සේ සමීපයෙහි, සංකප්පයත්තාය කල්පනා ගමනින්, තෙන යුත්තො සිත ඒ බුදුරදුන් කෙරෙහි යෙදුනේ වේ.
පංකෙසයානො කාමය නැමති මඩෙහි නිදමින්, දීපා දීපමුප්පලවී වෙනත් සමයක නායකයෙකු ළඟ සිට, තවත් සමයක නායකයෙකු වෙත එළඹියෙමි. අද්දසාසිං සම්බුද්ධං මම මෙබඳු වැරදි දැක්මක් දරාගෙන, ඒ ඒ තැන ඇවිදිමින්, අථ පාසාණක චෙතියෙහි දී බුදුරජාණන් වහන්සේ දුටිමි.
මේ ගාථාව අවසානයෙහි පිංගිය හිමිගේ ද, බාවරීගේ ද ඉඳුරන් දහම් අවබෝධයට සුදුසු බව දැන, භාග්‍යවතුන් වහන්සේ සැවැත්පුරම වැඩසිටිමින්ම රන්පැහැ ආලෝකයක් මුදාහළහ. පිංගිය හිමි බාවරීට බුදුගුණ විස්තර කරමින් සිටිද්දීම, ඒ ආලෝකය දැක, ‘මේ කුමක්දැ’යි විමසා බලනවිට, භාග්‍යවතුන් වහන්සේ තමා ඉදිරියේ වැඩසිටියා සේ දැක, ‘බුදුරජාණන් වහන්සේ වැඩිසේකැ’යි බාවරී බමුණාට දැන්වීය. බාවරී අසුනින් නැගිට, ඇඳිලි බැඳ වැඳ සිටියේය. භාග්‍යවතුන් වහන්සේ ආලෝක දහරාවක් පතුරුවා බමුණාට තමන් දක්වන්නාක් මෙන්, දෙදෙනාගේම අදහස් දැන, පිංගිය හිමි අමතා, ‘යථා අහූ වක්කලී’..... ගාථාව වදාළහ.
එහි අරුත නම්, යම්සේ, සැදැහෙන් බරව සිටි වක්කලී තෙරුන් මෙන් ද (බාවරීගේ සිසුන්) දහසය දෙනා අතුරෙන් භද්‍රාවුධ මෙන්ද, ආලවි-ගොතම මෙන්ද සැදැහෙන් මිදී - අරහත් බවට පත්වූ සේ, ඔබද ඒ සැදැහැ බවින් මිදෙවු, එසේ සැදැහැ බවින්, ‘හේතු නිසා ඇතිවන හැමදෙයම අනිස යැයි ‘සබ්බ සංඛාරා අනිච්චා’ ආදී ලෙසින් විදසුන් වඩා මච්චුධෙය්‍යස්ස පාරං නිවනට, ගමිස්සසි මෙසේ අරහත් බව කුළුගන්වමින් දේසනය නිමකළහ. දේසනය අවසානයෙහි පිංගිය හිමි රහත්පලයද, බාවරී අනාගාමී පලයෙහිද පිහිටියේය. බාවරී බමුණාගේ පන්සියයක් සිසුවෝ සෝවාන් පලෙහි පිහිටියහ.