13. උදයමාණවක පෘච්ඡා වර්ණනා
ඣායී යනු උදය සූත්‍රයයි. එහි අඤ්ඤවිමොක්‍ඛං නුවණ බලයෙන් වැටහෙන පරිදි මිදීම-නිදහස ගැන විමසයි. උදය බමුණා සිවුවන දැහැන් ලැබූවෙකු බැවින් ඔහු ලද එම දැහැනට අනුව, නොයෙක් ආකාරයෙන් මිදීම දැනගැනීම පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ ගාථා දෙකක් වදාළහ. පහාණං කාමච්ඡන්‍දානං මෙසේ පළමු දැහැන උපදවා ගනු ලබන තැනැත්තා කාමච්ඡන්‍දය දුරු කරයි. ඒ අනුව අඤ්ඤා විමොක්‍ඛං පබ්‍රෑමි මෙසේ සියළුම පදවලට යෙදිය යුතුය.
උපෙක්‍ඛාසති සංසුද්ධං සිවුවන දැහැනෙහි මැදිහත් බව හා සිහියෙන් මනා පිරිසිදු වූ, ධම්මතක්ක පුරෙජවං මෙයින් ඒ සිවුවන දැහැන් මිදීමෙහි සිට දැහැන්වල ඇතුලත් ඒ ඒ අංග පිළිබඳව විදසුන් වඩා ලබන ලද අරහත් බව (හෙවත් සියළු කෙලෙසුන්ගෙන් මිදීම) සඳහා කියයි. අරහත් වූ විමුක්තියට (අයත්) අරිඅටැඟි මගෙහි යහපත්, නිවැරදි කල්පනා ලෙසින් දහම් විමසා බැලීමට ඉදිරියට ගෙන යයි. එහෙයින් ධම්මතක්ක පුරෙජවං ධර්ම තර්ක සංඛ්‍යාත සම්‍යක් සංකල්පය පෙරටුකොට යැයි කීහ. අවිජ්ජාය පභෙදනං ඒ අඤ්ඤවිමොක්‍ඛ හෙවත් අරහත් බව - අවිජ්ජාව බිඳ දමන ලදුව නිවන නිසා හටගත් බැවින් ඒ කරුණු අනුව එසේ කියා ඇත.
‘අවිජ්ජා’ බිඳ දැමීමෙන් යන වචනයෙන් කියන ලද නිවන අසා ‘ඒ කිනම් දෙයක දුරු කිරීමෙන් වේදැ’යි ‘කිංසු සංයොජනො’ යන ගාථාව වදාළහ. කිංසු සංයොජනො සසර බැඳ තබන බැඳීම් කවරේද? විචාරණං විවරණ කරුණු කිස්සස්ස විප්පහාණෙන කෙබඳු දෙයක් නැති කිරීමෙන්, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘නන්‍දි සංයොජන’ ගාථාවෙන් එය පැහැදිලි කළහ. එහි විතක්කස්ස කාමසිතිවිලි ආදිය ඔහුට ඇතිවෙයි.
මීළඟට ඔහු නිවනට මග ‘කථං සකස්ස’ යන ගාථාවෙන් විමසීය. විඤ්ඤාණං සකස්වන විඤ්ඤාණය, භාග්‍යවතුන් වහන්සේ අජ්ඣත්තං යන ගාථාවෙන් ඔහුට මග පැහැදිලි කළහ. එවං සතස්ස මෙසේ සිහි ඇතිව හැසිරෙන්නාට. ඉතිරි කරුණු පැහැදිලිය.
භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රයද අරහත් බව කුළුගන්වමින් දේසනා කළහ. දේසනය අවසානයෙහි පෙර කී පරිදි බොහෝදෙනාට දහම් අවබෝධ විය.
උදය සුත්‍ර විස්තරය නිමි.
14. පොසාලමාණවක පෘච්ඡා වර්ණනා
යො අතීතං යනු පොසාල සූත්‍රයයි. යො අතීතං ආදියති යම් භාග්‍යවතුන් වහන්සේ කෙනෙකු තමන්ගේ ද අනුන්ගේ ද ‘ඉපදී එක් වාරයක් ආදී ලෙසින් පෙර තතු දක්වත් ද? විභූත රූප සඤ්ඤිස්ස රූපය පිළිබඳ හැඟීම් ඉක්මවන ලද, සබ්බකායප්පහානියො යටපත් කිරිමෙන් හා මුළුමනින් මැඩපැවැත්වීමෙන් සියළු රූපකාය හැරදමන ලද, රූප භවයක පිළිසිඳගැනීම් නැතැයි අදහස් කෙරේ. නත්‍ථි කිඤ්චීති පස්සතො විඤ්ඤාණය නැතිවීම නුවණින් අවබෝධ කිරීමෙන් ‘කිසිත් නැතැ’යි දකිමින්, ආකිඤ්චඤ්ඤායතනය ලැබූවෙකැයි කියන ලදී. ඤාණං සක්කා නු පුච්ඡාමි ඒ තැනැත්තාගේ නුවණ විමසමි. කෙබඳු දෙයක් බලාපොරොත්තු විය යුතුදැයි ‘සක්‍රය’ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ අමතා අසයි. කථං නෙය්‍යො කෙසේ ඒ තැනැත්තා එම නුවණට පැමිණවිය යුතුද? කෙසේ ඊට වඩා උසස්, දියුණු වූ නුවණ උපදවා ගතයුතුද?
එවිට භාග්‍යවතුන් වහන්සේ එබඳු පුද්ගලයෙකු (මෙතෙක්) නුවණ නොලද බව පවසා ඒ නුවණ පැහැදිලි කිරීමට ගාථා දෙකක් වදාළහ. එහි විඤ්ඤාණට්ඨිතියො සබ්බා අහිජානං තථාගතො එක්රැස් කරගන්න ලද දේ අනුව (කුසල් අකුසල් අනුව) සිවුආකාර වූ පිළිසිඳ ගැනීම් කෙරෙහි සත්වග යොමුවන විඤ්ඤාණයෙහි පැවැත්ම තථාගතයන් වහන්සේ මැනවින් දත්හ. තිට්ඨන්තමෙනං ජානාති පෙර කළ කී දෑ අනුව ‘මේ තැනැත්තා මෙබඳු ගතියක් (උපතක්) ලබන්නේ යැයි පුද්ගලයකු පිළිබඳව දනිති. විමුත්තං ආකිඤ්චඤ්ඤායතනයෙන් ද මිදුණු, තම්පරායණං එය පිහිටකොට,
ආකිඤ්චඤ්ඤසම්භවං ඤත්‍වා ආකිඤ්චඤ්ඤායතනයෙහි උපත ලබන, (එහෙත් සසර දිගුවන) මේ අවහිරය කුමක්දැයි ඊට එක්රැස් වූ හේතු දැන, නන්‍දී සංයොජනං ඉති එහි අරූපරාගී ආසාව, එයද සසර බැඳ තබන බැම්මක් වූ ‘සංයොජන’ යැයි දැන, තතො තත්‍ර විපස්සසී ඉක්බිති ඒ ආකිඤ්චඤ්ඤායතන සමවතින්ද නැගිට, ඒ සමවතද අනිස ලෙස සළකා විදසුන් වඩයි. එතං ඤාණං කථං තස්ස මෙසේ විදසුන් අනුව නුවණින් විමසනවිට කෙමෙන් කෙමෙන් ඒ තැනැත්තා ලබන අරහත් නුවණ වෙනස්-විකාර නොවේ. වූසීමතො මඟ බඹසරෙහි වැස, ඉතිරි කරුණු පැහැදිලිය.