වස්තුගාථා වර්ණනාව
කොසලානං පූරා යනු පාරායණ වග්ගයෙහි නිදාන කතාව දැක්වෙන ගාථාය. එයටද හේතු වූ කරුණු මෙසේය. අතීතයෙහි බරණැස එක් රුක් වඩුවෙක් විය. ගුරුවරයෙකු ලෙස දෙවැන්නකු නොසිටි ඔහුට සිසුහු දහසය දෙනෙක් වූහ. ඒ එක් එක් සිසුවාට අතවැසියෝ දහස බැගින් සිටියහ. මෙසේ දහසය දහස් දහහතක් වූ ගුරු-අතවැසි සියල්ලෝම බරණැස (පෙදෙස) ඇසුරුකොට ජීවත් වෙමින් කඳු අසලට ගොස් ගස් කපා, එහිදීම මන්දිරවල නොයෙක් නොයෙක් කොටස් නිමවා, පහුරක් බැඳ ගඟෙන් බරණැසට ගෙනවුත්, රජුට අවැසි වේ නම්, එක් මහලක් හෝ සත්මහලක් හෝ පහයකට ඒවා යොදති. නොඑසේනම්, වෙනත් කෙනෙකුට විකුණා අඹුදරුවන් ඇතිදැඩි කරති. එක් දවසක් ඔවුන්ගේ ගුරුතුමා, ‘වඩුකමෙන් ජීවත්වීමට නොහැකියි. මහළු වූ විට මේ කටයුතු අපහසුයැයි’ අතවැසියන් අමතා, ‘දරුවනි, දිවුල් ආදී අරටුව අඩු ගස් ගෙනෙව’යි කීය. ඔව්හු යහපතැ’යි කියා දිවුල් ගස් ගෙනාහ. ඔහු ඒවායින් ලී කුරුල්ලකු සාදා එතුළට පිවිස එය ඉහළට නැංවීමට කටයුතු කළේය. ලී කුරුල්ලා ගුරුළුරජකු මෙන් අහසට නැගී, කැලෑව පුරා සිසාරා ඇතුළු පුරවාසීන් ඉදිරියෙහි පොළවට බැස්සේය. ඉක්බිති ගුරුතුමා, ‘දරුවනි, ලීයෙන් මෙබඳු යානා සාදා මුළු දඹදිව රජකම ලද හැකිය. ඔබලාද මෙසේ කරව, රජය ගෙන ජීවත් වන්නෙමු. වඩුකමෙන් ජීවත්වීම දුකකි’යි සිසුවන්ට කීය. සිසුවෝ එසේ කටයුතු කොට ගුරුවරයාට දැන්වූහ. එවිට ඔහු ‘දරුවනි, කිනම් රජයක් අල්ලා ගනිමුදැ’යි ඇසීය. ‘ඇදුරුතුමනි, බරණැස රජයයි.’ ‘දරුවනි, එය නුසුදුසුය. එයට කැමති නොවවු, අපි රජය ලබාගත්තද, රජු වඩුවෙකි. යුව රජුද වඩුවෙකි’යි වඩුකතාවෙන් නොමිදෙන්නෙමු. දඹදිව විසාලය. වෙනත් තැනකට යමු’යි කීය.
ඔව්හු අඹුදරුවන් සමග ලී වාහනවලට නැගී, ආයුධ ගෙන, හිමාලය දෙසට ගොස්, හිමාලයෙහි නගරයකට පිවිස රජුගේ නිවහනටම බැස්සාහ. එහි රජය ගෙන, ගුරුතුමා රජ බවට ඔටුනු පැළඳවූහ. ඔහු ‘කට්ඨවාහන’ රජු යැයි හැඳින්වීය. ඒ නගරයද ඔහු විසින් අල්ලා ගන්නා ලද බැවින්, ‘කට්ඨවාහන නුවරයැ’යි නම ලැබිණ. මුළු රටටමද කට්ඨවාහන රජු දැහැමි විය. යුවරජ තනතුරටද ඇමති තනතුරුවලටද සිසුන් දහසය දෙනා පත්කරන ලදී. රජ සිවු සඟරාවතින් යුතුව රජය විචාළ අතර, රටද සව් ඉසුරින් පිරි, සාමකාමී වූයේය. අනෙක් නගරවලද, ජනපදවලද, රජවරුද රජ පිරිසද ‘අපට යහපත් රජකු ලැබුණි. ඒ රජුගේ පිරිසද යහපත් යැයි බෙහෙවින්ම තමන්ගේය යන හැඟීමෙන් සිටියහ.
එක් දවසක් වෙළෙන්දෝ බඩු රැගෙන දඹදිව මැද රට සිට කට්ඨවාහන නගරයට පැමිණියහ. ඔව්හු පඬුරු ගෙන රජු බැහැදුටහ. රජු, ‘කොහි සිට පැමිණෙයහුදැ’යි සියළු තොරතුරු ඇසීය. ‘දේවයිනි, බරණැස සිට’යැයි කීහ. රජු එහි සියළු තොරතුරු අසා, ‘තොපගේ රජ සමග මා ද මිතුරු කරව’යි පැවසීය. ඔව්හු ‘යහපතැ’යි පිළිගත්හ. කට්ඨවාහන රජ ඔවුනට මග වියදම් ආදිය ලබා දී, ආපසු පිටත්ව යනවිට, ආදරයෙන් ඔවුන් හමු වී, (බරණැසට) පිටත්කර හැරියේය. බරණැසට ගොස් වෙළෙන්දෝ ඒ බව රජුට සැළකළහ. බරණැස් රජු, ‘කට්ඨවාහන රටෙන් පැමිණි වෙළඳුන් අද පටන් අයබදුවලින් නිදහස් කරමි’ යැයි අණබෙර යවා, ‘කට්ඨවාහන රජු මගේ මිතුරකුව ඇතැ’යි (සැළකීය.) දෙදෙනා මෙසේ නුදුටු මිතුරෝ වූහ. ‘අද පටන් බරණැසින් පැමිණෙන වෙළෙඳුන් අයබදුවලින් නිදහස් කරමි, ඔවුනට වියදම් ද දිය යුතු යැයි කට්ඨවාහන රජු ද මුළු නගරයෙහි අණබෙර යැවීය. මේ අතර, බරණැස රජු. ‘කට්ඨවාහන ජනපදයෙහි දැකීමට හෝ ඇසීමට හෝ සුදුසු කිසියම් පුදුම දෙයක් ඇතිවුනි නම්, අපටද දකින්නට හෝ අසන්නට හෝ සැලැස්වුව මැනවැ’යි කට්ඨවාහන රජුට ලිපියක් යැවීය. කට්ඨවාහන රජු ද එබඳුම ලිපියක් බරණැස රජුට ද යැවීය. මෙසේ ඔවුන් කතිකා කොට තිබියදී, වරෙක, කට්ඨවාහන රජුට, ලහිරු මඬලෙහි රැස්මාලා පැහැ යුතු ඉතා මාහැඟි, ඉතා සිනිඳු කම්බිලි ලැබුණි. රජු එය දැක ‘මගේ යහළුවාට යවමි’යි ඇත්දත් කැටයම්කරුවන් ලවා කරඬු අටක් ලියවා, ඒ කරඬුවල එම කම්බිලි බහා, ලාකඩ (සිප්හි සමත්) සිප් ඇඳුරන් ලවා, පිටත ලාකඩ ගෝල සකසවා, ලාකඩ ගෝල අටද කරඬුවෙහි බහා, රෙදිවලින් වෙලා රාජකීය නිල සලකුණ තබා ‘බරණැස රජුට ගෙන යව’යි ඇමතිවරුන් යැවීය. ‘මේ තෑගි පඬුර නගරය මැද දී ඇමතිවරුන් පිරිවරා බැලිය යුතු’ බව සඳහන් ලිපියක් ද දුන්නේය.