16. සාරිපුත්‍ර සූත්‍ර වර්ණනාව
න මෙ දිට්ඨො යනු සාරිපුත්ත සූත්‍රයයි. ථෙරපඤ්ඤහ සූත්‍රය යයි ද හඳුන්වනු ලැබේ. මෙම සූත්‍රයට හේතු වූ කරුණ කුමක්ද? මේ ඊට හේතුවයි. රජගහනුවර සිටුවරයාට සඳුන්ගැටය ලද විට ඒ සඳුන් ගැටයෙන් සෑදූ පාත්‍රය උසින් ඔසවා තැබීමත්, ගරුකටයුතු පිණ්ඩොල භාරද්වාජ තෙරුන් ඉඳුබලෙන් එය ගැනීමත්, ඒ හේතුකොට සව්වනට ඉඳු පෙළහර පෑම තහනම් කිරීමත්, තීර්ථකයන් භාග්‍යවතුන් වහන්සේ සමග පෙළහර පෑමට කැමැති වීම, පෙළහර පෑම, භාග්‍යවතුන් වහන්සේගේ සැවැත්පුර ගමන, තීර්ථකයන් පසුපස යාම, සැවැත්පුරදී පසේනදී රජු බුදුරදුන් හමුවීම, ගදඹරුක පහළවීම, තීර්ථක පරාජය සඳහා පෙළහර පෑමට උත්සාහවත් වූ සිවුපිරිසට එය වැළැක්වීම, යමාමහ පෙළහර පෑම, පෙළහර පෑමෙන් පසු භාග්‍යවතුන් වහන්සේගේ තව්තිසා ගමන, එහි තෙමසක් දහම් දෙසීම, ගරුකටයුතු අනුරුද්ධ තෙරුන් වහන්සේ විසින් ඉල්ලා සිටි පරිදි දෙව්ලොවින් සංකස්ස නුවරට බැසීම දක්වා මේ සිදුවීම් අතරතුර ජාතක කථාද විස්තරකොට, දස දහසක් සක්වළ දේවතාවුන් විසින් කරනු ලබන පූජා ලබමින් මැද තිබූ මැණික් හිණිමගෙන් බැස හිණිමග පාමුල සිටියහ.
‘දැහැනෙහි නිරතුරුවම යෙදෙන, සියළු කාමයන් හැරදැමූ නුවණැති, සිහියෙන් යුතු සම්මා සම්බුදුවරුන්ට දෙවියෝ ද කැමති වෙති.’
මෙම ධම්මපද ගාථාවෙන් පැවසෙන පරිදි මේ සිදුවීමටද අදාල වේ. හිණිමග පාමුල සිටි භාග්‍යවතුන් වහන්සේට, හැමදෙනාගෙන් පළමුකොටම ගරුකටයුතු සැරියුත් තෙරුන් වහන්සේ වැන්දාහ. ඊට පසු උප්පලවණ්ණා තෙරණියද, පසුව මහජනයාද වැන්දාහ. ‘මේ පිරිස අතර, මුගලන් තෙරුන් ඉඳු බලයෙන්ද, අනුරුද්ධ තෙරුන් දිවැසින්ද, පුණ තෙරුන් දහම් කතාවටද උසස්ව, මුල්තැන සිටිනා බව පතළය. සැරියුත් තෙරුන් කිනම් ගුණයකින් උසස්ව මුල්තැන ගන්නේදැ’යි නොදනී. සැරියුත් තෙරුන්ගේ මහා පැණවත් බව පහදා දෙන්නේ නම් මැනවැ’යි එහිදී භාග්‍යවතුන් වහන්සේ සිතූහ. ඉක්බිති තෙරුන් වහන්සේගෙන් පැනයක් විචාළහ. තෙරුන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ විසින් විමසන ලද, පොදු සමාජයට ගැලපෙන පැන, මගපලයෙහි හික්මීමට අදාල පැන, රහත් උතුමන්ට අදාල පැන සියල්ලම විසඳූහ. එදා ජනයා සැරියුත් තෙරුන් නුවණින් මුල්තැන ගන්නේ යැයි මැනවින් දැන ගත්තේය. එවිට භාග්‍යවතුන් වහන්සේ, සැරියුත් තෙරුන් තියුණු නුවණින් මුල්තැන් ගත්තේ දැන් පමණක් නොවේ’ යැයි (ජාතක කථාවක් දේසනා කළහ.)’
‘පෙර දහසකටත් වඩා ඉසිවරු අල, පලතුරු ආහාරයට ගනිමින්, වනයෙහි කඳුපාමුල්හි වසති. ඔවුන්ගේ ගුරුවරයාට අසනීපයක් හටගත්තේය. උවටැන් මැනවින් සිදු කෙරෙයි. දෙටු අතවැසියා ‘සුදුසු බෙහෙතක් ගෙන එන්නෙමි, ඇඳුරුතුමන්ට නොපමාව උවටැන් කරව’යි කියා මිනිසුන් වසන පෙදෙසකට ගියේය. ඔහු ආපසු ඒමට පෙර, ඇදුරුතුමා මළේය. ‘ඔහු දැන් මිය යන්නේ’ යැයි සිතූ අතවැසියෝ සමාපත්ති ගැන විමසූහ. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ගැන සළකා ‘කිසිත් නැතැ’යි ඇදුරුතුමා කීය. අතවැසියෝ එවිට, ‘ඇදුරුතුමා සිත දියුණුකොට කිසිදු උසස්බවක් ලබා නැතැයි සිතූහ. දෙටු අතවැසියා බෙහෙත් ගෙන අවුත්, ඔහු මළ බව දැන, ‘ඇදුරුතුමාගෙන් කිසිවක් විමසීදැ’යි ඇසීය. ‘විචාළෙමු, කිසිවක් නැතැ’යි කී බැවින් කිසිදු උසස් බවක් ලබා නැතැයි අතවැසියෝ කීහ. ‘කිසිවක් නැතැයි, ආකිඤ්චඤ්ඤායතන දැහැන ගැන දැනුම් දුන් බවත්, ඇදුරුතුමන්ට ගරුසත්කාර කළ යුතු’ යැයි දෙටු අතවැසියා පැවසීය.
‘දහසකටත් වඩා රැස්ව සිටි ඔව්හු වසර සියයක් නුවණ නැතිව හැඬුවාහ. කියන ලද දෙයෙහි අරුත් දන්නා නුවණැති එකම තැනැත්තා වුව ද උසස්ය.
භාග්‍යවතුන් වහන්සේ ජාතක කථාව දේසනා කළවිට, ගරුකටයුතු සැරියුත් තෙරුන්වහන්සේ තමන් හා පන්සියයක් පමණ වූ සඟපිරිස උදෙසා සුදුසු සෙනසුන්, ගැලපෙන සීලවත් ආදිය ඇසීමට, ‘මා මෙබඳු දෙයක් මීට පෙර නොදකින ලදැ’යි ආදී ලෙසින් මේ පැසසුම් ද එක්කොට, ගාථා අටක් පැවසූහ. භාග්‍යවතුන් වහන්සේ, සැරියුත් තෙරුන් විමසන ලද කරුණු පැහැදිලි කිරීමට ඉතිරි ගාථා වදාළහ.
ඉතො පුබ්බෙ (දෙව්ලොව සිට) සංකස්ස නුවරට බැසීමට පෙර, වග්ගුවදො මිහිරි වචන කියන, තුසිතා ගණිමාගතො තුසිත දෙව්ලොව සිට චුතව මවුකුස පිළිසිඳගත් බැවින්, පිරිස ඇති හෙයින් ගණීයැයි දැක්වේ. සතුටුව යන අරුතින් හෝ තුසිත නමින් හඳුන්වනු ලබන දෙව්ලොවින් පැමිණ, පිරිස් ඇති, (සසර දුක් නොවන බැවින්) තුටුවන රහතන් වහන්සේලා සමූහය අතරට පැමිණි,