මෙසේ ඔවුන්ට ලෝකයා විසින් වඳිනු ලබනවිට, වජ්ඣා බ්‍රාහ්මණ ආසුං (දඬුවම් ලබන තරම්) වැරදි සිදුනොවීම පමණක්ම නොවේ. අජෙය්‍යා වෙහෙසට පත්කළ නොහැකි බැවින්ද පැරදවිය නොහැකි වූහ. ඊට හේතු කවරේද? ධම්මරක්‍ඛිතා දහමෙන් රක්නා ලද බැවිනි. ඔවුහු උතුම් පන්සිල්හි සඳහන් කරුණු රැකගත්හ. ‘දැහැමිව හැසිරෙන තැනැත්තා දහමෙන්ම රැකෙයි’ -– ‘ධම්මො භවේ රක්‍ඛති ධම්මචාරි’ යනුවෙන් සඳහන් පරිදි දහමින් රකිනු ලැබ, දඬුවම් පැමිණවිය නොහැකි වූහ’යි අදහසයි. න තෙ කොචි නිවාරෙසි, කුලානං ද්වාරෙසු සබ්බසො, සීල සංවරයෙන් හා පියමනාප බවට පත්වූ ඒ බමුණන් කෙරෙහි මිනිස්සු සියළුම නිවෙස් ඇතුලතදීත්, පිටතදීත් මව්පියන් මෙන් බොහෝ විස්වාසවන්ත වූහ. එහෙයින් මෙතැනට ඔබලා නොපිවිසිය යුතුයැයි කිසිවෙකු වැළකුවේ නැත.
මෙසේ දහමින් රකිනු ලැබූ ඒ බමුණෝ අට්ඨචත්තාරීසං වස්සානි අවුරුදු හතළිස් අටක් කුලගෙවල නොවැළකී හැසිර, කුමාර (තරුණ) කාලයේ පටන් කොමාරං බ්‍රහ්මචරියං චරිංසු තෙ උතුම් බඹසර හැසිරුණහ. යමෙක් බමුණු සැඬොල් වූවාහුද, බ්‍රහ්ම හා සම හැසිරිමක් තිබූ බමුණන් ගැන කිනම් වාදයක්ද? මෙසේ උතුම් හැසිරීමෙහි නියැලුණාහ. විජ්ජා පරියෙට්ඨිං අචරුං බ්‍රාහ්මණා පුරෙ ඒ උතුම් හැසිරීමෙහි ඈත්වූවෝ නොවූහ. විජ්ජා පරියෙට්ඨි මන්ත්‍ර ඉගෙනීම, ‘ඔහු අවුරුදු හතළිස් අටක්, තරුණ කල පටන්ම, මන්ත්‍ර ඉගෙන ගනිමින් බඹසර හැසිරෙතැ’යි ද කියන ලදී. චරණපරියෙට්ඨි සිල් රැකීම, විජ්ජාචරණ පරියෙට්ඨුං යනුද පාඨයකි. උසස් නුවණ හා උසස් හැසිරීම නොවළහා කරතියි තේරුමයි.
ඉහත කියන ලද පරිදි ඒ කාලයක් බඹසර වැස, එයින් පසු ගිහි ජීවිතයට පත් වූවද න බ්‍රාහ්මණ අඤ්ඤමගමුං කැත්කුල හෝ වෙළඳකුල හෝ වෙනත් කුලයක දෙවඟනක හා සමාන වූ කාන්තාවක සිටියත්, තමා පිළිබඳ සීමා තබාගත් බව අදහස් වේ. එසේ දැන් කාලයේ මෙන් මසුරන් සියයක් හෝ දහසක් හෝ ගෙවා මිලට නොගත්හ. නපි භරියං කිණිංසු තෙ මේ කාලයේ නම්, ඇතමෙක් (බිරිඳක්) මිලට ගනිති. (මුලදී) ඔවුහු දැහැමෙන් බිරියන් සොයති. ඒ කෙසේද? ‘අවුරුදු හතළිස් අටක් මම බඹසර පුරුදු කළෙමි. වියපත් දැරියක වේනම්, මට දෙව’යි කියමින් බමුණු ගෙවල දොරටුවෙහි අවිවාහක තරුණියක පවරා දෙන ලෙස ඉල්ලමින් (කඤ්ඤා භික්‍ඛං) ඇවිදිති. එහිදී යම් තැනැත්තෙකුට වියපත් දැරියක ඇත්නම්, ඔහු ඇය සරසවා ගෙයින් පිටතට ගෙන, දොරටුවෙහි සිටි බමුණාගේ අතෙහි පැන් වත්කොට, ‘බ්‍රාහ්මණය, මේ තැනැත්තිය, ආහාර ආදිය දෙමින් ඇතිදැඩි කිරීම පිණිස ඔබට බිරිය ලෙස දෙමි’යි කියා පවරා දෙයි.
මෙසේ ඔවුහු කුමක් නිසා කලක් බඹසරව සිටියද බිරියක් සොයන්නාහුද? ජීවත් වනතුරුම බඹසර නොහැසිරෙන්නේ ඇයි? වැරදි අදහසක් නිසාය. ‘යම් තැනැත්තෙකු පුතෙක් උපදවා නොදෙත්ද, ඔහු කුල පරම්පරාව සිඳින්නෙකි. ඒ නිසා නිරයට යති’යි ඒ වැරදි අදහසයි. ගණ්ඩුප්පාද, කිකී, කොන්තනී, බ්‍රාහ්මණ යැයි බිය නොවිය යුතු කරුණු සතරකට බිය වෙති. ගණ්ඩුප්පාදා - ගැඩවිල්ලු මහපොළව වැනසේ යන බියෙන් බොහෝ මැටි - පස් නො කති. කිරල් දෙන කිකී අහස කඩා වැටේය යන බියෙන් බිත්තර මතුයෙහි උඩුකුරුව නිදයි. කොන්තනී කිරිල්ල (දියකාවි?) පොළව සෙලවේ යැයි බියෙන් බිම ඉක්මනින් පා තබා යයි. බමුණෝ කුල පරම්පරාව නැති වේ යැයි බියෙන් අඹුවක සොයති.