එහි තේරුම නම්, සො සෝවාන් තැනැත්තා, කිඤ්චාපි සිහි මුළාවකින් පමාවීමකට පැමිණ, ලෝකයා වරද යයි සම්මත කරුණු දැන දැන නොඉක්මවිය හැකි බැවින්, භාග්යවතුන් වහන්සේ ඒ පවත්නා වහර සැළකිල්ලට ගෙන එසේ වදාරන ලදී. ‘මා විසින්, මගේ සාවක පිරිසට යම් පමණ සිකපද පණවන ලදද, ඒ සාවක පිරිස ජීවිතය අත්හළද, ඒවා නොඉක්මවති.’ ‘යං මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං, තං මම සාවකා ජීවිතහෙතුපි නාතික්කමන්තී’, එසේ දක්වා ඇති සේම, කුටි සැකසීම, එක්ව නිදීම ආදී පණවන ලද වැරදි ඉක්මවා යන, කායෙන පාපකම්මං කරොති පද පිළිවෙලින් දහම හැදෑරිමෙන්, මතුවට වචන පහ හයකින් (සුදුසු නොවන ආකාරයෙන්) දහම් දෙසීම, වැඩකට නැති කතා හෝ නපුරු වචනයෙන් හෝ වාචාය උද චෙතසා වා කිසිවිටක ආසා උපදවන රන්රිදී ආදිය පිළිගැනීමෙන් හෝ, සිවුරු ආදිය පරිහරණයෙහිදී විමසීමකින් තොරව (සීතල, උණුසුම වළකා ගැනීම ආදී පච්චවෙක්ඛනයෙන් තොරව) හෝ පාපයක් කෙරේද, අභබ්බො සො තස්ස පටිච්ඡාදාය ඒ සෝවාන් ඵලයට පත් තැනැත්තා මේ දෙය අකැපය, නොකළ යුතුයැයි දැන, මොහොතකුදු නොසඟවයි. එකෙණෙහිම තම මගපෙන්වන නායකයාට හෝ (තථාගතයන් හෝ) වියත් දැනුමැති කෙනෙකුට හෝ, තමා හා එක්ව වසන කෙනෙකුට හෝ හෙළිකොට, දහමට අනුකූලව කටයුතු කරයි. නැවත නොකරන්නෙමි’යි සංවර වෙයි. නැතිනම් එසේ සංවර විය යුතුයි. කවර හෙයින්ද? අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා මෙබඳු පව්කම් කොට, එය වළක්වනු පිණිස, නිවන පෙනෙන මානයේ සිටි දැක්මෙන් යුතු ඒ තැනැත්තාට නොහැකි වේයැයි කියන ලදැයි තේරුමයි.
ඒ කෙසේද?
‘මහණෙනි, උඩුකුරුව නිදන ළදරු කුමරකු අතින් හෝ පාදයෙහි ගිනි අඟුරක් (තවරා) ගත්විට ඉක්මණින්ම ඉවතට ඇදගන්නේ යම්සේද, ඒ දැකීමෙන් යුතු තැනැත්තාද එබඳු ඇවැතකට පැමිණේද, එයින් ඈත්වීමට වැටහේද, ඉක්මණින්ම තම නායකයා හෝ තථාගතයන් වහන්සේ හෝ වියත් දැනුමැති කෙනෙකු හෝ තමා හා එක්ව වසන කෙනෙකු වෙත හෝ එය කියයි. විවරණය කරයි. පැහැදිළි කරයි. එසේ කියා, විවරණය කොට, පැහැදිළිකොට නැවත එවැනි දෙයක් සිදුනොවීමට හික්මෙයි. එය මෙබඳු තැනැත්තන් කෙරෙහි වූ නියාම දහමකි.
මෙසේ භාග්යවතුන් වහන්සේ, පමාදව ගත කරන්නකු වුවද, නිවන දැක්මෙන් යුතු ඒ සෝවාන් බවට පත් තැනැත්තාගේ වරද නොසඟවන ලද ගුණය දක්වා, දැන් ඒ ගුණ නිසා ඉදම්පි සංඝෙ යැයි ඇත්ත වචනය සහතික කොට කියති. එහි අරුත කලින් කියා ඇති පරිදි දතයුතුය. මේ ගාථාවෙහි අණ ද කෙළ සියදහසක් සක්වළ භූතාදී නොමිනිසුන් විසින් පිළිගන්නා ලදී.
මෙසේ සාවක සංඝබවට පිළිපන් තැනැත්තාගේ ඒ ඒ ගුණ සමූහය අනුව, තීරණය කොට ඇත්ත කියා, මීළඟට භාග්යවතුන් වහන්සේ විසින් තෙරුවන් ගුණ පහදා දෙමින්, මෙහිදී සැකෙවින්ද, වෙනත් තන්හි සවිස්තරවද උගත යුතු දැනගත යුතු ලෙස දෙසන ලද දහම අනුව (තම අවබෝධය හෙවත් බුදු අදිටන බලයෙන්) ඇත්ත තහවුරු කොට වනප්පගුම්බෙ යථා ඵුස්සිතග්ගෙ ආදී ගාථාව ඇරඹූහ. එකිනෙකට ළං ළංව පිහිටි, වැඩුණු ගස් සමූහය වනයයි. මුල්වලින් හා අරටුව එළය හා පොතු සහිත අතුපතරින් යුතු වූයේ ගුම්බයි. (මෙසේ) පඳුරු පඳුරු සේ එකට බැඳී වැඩී ඇති හෙයින් වනෙ පගුම්බො = වනප්පගුම්බෙ යැයි කියා ඇත. ‘විතක්කය විචාරය. ද ඇත, ‘විතක්ක හැර විචාරය පමණකට ඇත.’ අත්ථි සවිතක්ක සවිචාරෙ - අත්ථි අවිතක්ක විචාරමත්තො, ‘සැපෙහිද දුකෙහිද ජීවත් වේ, ‘සුඛෙ දුක්ඛෙ ජීවෙ’ ආදී තැන්හි මෙන් මෙසේ කිව හැකි අයුරිනි. යථා උපමාව දැක්වීමේ වචනයයි. අතු අග පිපුණු මලින් යුතු - ඵුස්සිතානි අග්ගානි අස්සා = ඵුස්සිතග්ගෙ, අතුඉති සෑම තැනකම මල් පිපුණු යන අදහසයි. කලින් සඳහන් වූ පරිදි ඵුස්සිතග්ගෙ යැයි කියා ඇත. ගිම්හාන මාසෙ පඨමස්මිං ගිම්හෙ උණුසුම් කාලයට ගැනෙන මාස හතරක යම් මාසයක්, ඒ කිනම් මාසයද? ගිම්භානයෙහි මුල්ම මාසය - බක් මාසය අදහස් වේ. එය පළමු ගිම්හානය වසන්ත සමයෙහි පටන්ගැන්ම සේ, ‘බාල වසන්තය’ සේ ගැනේ. මින්පසු පදවල තේරුම පහසුය.
මේ කෙටි අරුතයි. යම්සේ පළමු ගිම්හානය නම් වූ බාල වසන්තයෙහි, නොයෙක් නොයෙක් ගස්වලින් යුතු කැලෑවෙහි නොමේරු ගස් අතුඅග පිපුණු මලින් එකම පඳුරක් මෙන් සිරියාවක් වේද, එසේම, රූප ආදී කොටස්වලින් යුතු, පිහිටුවා ගන්නා ලද සිහිය වන් සීල සමාධි කඳින් හා නොයෙක් ආකාර වූ අරුත් කොටස් නැමති මලින් බොහෝ සොඳුරු සිරියා ඇති බැවින් තථූපමං, ඒ නිවන් සලසන මග පහදා දෙමින්, නිබ්බාණගාමිං, ඉගෙන දරාගත යුතු ධම්මවරං වාසි ලබාගැනීමට නොව, සත්කාර ලබාගැනීමට නොව, හුදෙක්ම හැමදෙනා කෙරෙහි මහා කරුණාව පෙරදැරි කොටගත් හදවතින් පරමං හිතාය අදෙසයී, මෙහි ගාථාවේ වචන ගැළපීමේ පහසුව සළකා පරමංහිතාය යනුවෙන් අනුනාසිකව යොදා ඇත. තේරුම මෙයයි. පරම හිතාය - හැමදෙනා කෙරෙහි හිතානුකම්පාවෙන්ම නිවන්මග දක්වනු පිණිස දේසනා කළහ.
මෙසේ භාග්යවතුන් වහන්සේ, අතුඅග මල් පිපුණු වනලැහැබක් බඳුවූ, ඉගෙන-පිළිපැදිය යුතු දහම පිළිබඳව කරුණු කියා, දැන් ඒ නිසාම බුදු අදිටන තීරණය වන ඇත්ත වචනය ඉදම්පි බුද්ධෙ යනුවෙන් සහතික කොට දක්වති. එහි අරුත කියන ලද පරිදි දතයුතුය. හුදෙක්ම ඉදම්පි යනුවෙන් ඉහත සඳහන් කරන ලද ඉගෙන දරාගත යුතුයයි සළකනු ලබන දහම හා, බුද්ධෙ රතනං පණීතං යැයි මේ අනුව යොදාගත යුතුය. මේ ගාථාවෙහි අණ ද කළ සියදහසක් සක්වළ භූතාදී නොමිනිසුන් විසින් පිළිගන්නා ලදී.
මෙසේ භාග්යවතුන් වහන්සේ, ඉගෙන පිළිපදිනා දහමෙන් තීරණය වන අයුරින් බුදුඅදිටන පරිදි තීරණය වන ඇත්ත වචන පවසා, දැන්, වරො වරඤ්ඤු යන ගාථාවෙන් ලොවුතුරා දහම පිළිබඳව කරුණු පහදාදීම ඇරඹූහ. වරො ‘අහා! අපිද මෙබඳු උතුම් ගුණ ඇත්තන් වෙමු’යි උතුම් දහම පිළිගැනීමට කැමති තරම් උසස් අදහස් ඇති, එබඳු ගුණ (තමා කෙරෙහි) පිහිටුවා ගැනීමෙන් හෝ උතුමෙකුව, ඉතා උසස් යන අදහසයි. වරඤ්ඤු නිවන ගැන දන්නා වූ, හැම දෙයකටම වඩා නිවන උතුම් යන අරුතින් වරං නම් වේ. ඒ බව බෝමැඩදී තමන් විසින්ම පිරිසිඳ දන්නා ලදී. වරදො පස්වග මහණුන්, භද්දවග්ගිය කුමාරවරුන් හා ජටිල ආදීන්ටද, අනෙක් දෙව් මිනිසුන්ට ද කරුණු පෙන්වාදීමෙන් ලබාදුන් අවබෝධයෙන්ද, පෙර කරන ලද යහපත් කටයුතුවලට අනුරූප වූ වාසනා ගුණයෙන්ද, ඒ නිවන මග කියාදෙන, වරාහරො එම නිවන ලබාදෙන පිළිවෙත් මග හෙළිකරන ලද බැවින් වරාහරො යැයි කියනු ලැබේ. එසේම ඒ භාග්යවතුන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි පටන්, සමතිස් පෙරුම් පුරමින් පෙර බුදුවරුන් වහන්සේලා විසින් අනුගමනය කරන ලද පැරණි උතුම් මග ගෙනහැර දැක්වූහ. එහෙයින් වරාහරො යැයි කියනු ලැබේ. එමෙන්ම සියල්ල දන්නා වූ නුවණ ලැබීමෙන් වරො නම් වේ. නිවන අවබෝධයෙන් වරඤ්ඤූ සත්වගට සසරින් මිදීමේ සුවය ලබාදීමෙන් වරදො, උතුම් පිළිවෙත පෙන්වාදීමෙන් වරාහරො, මෙබඳු ලොව්තුරු ගුණවලින් වැඩි කිසිවකු නොවන බැවින් අනුත්තරො
වෙනත් අයුරින් කියන්නේ නම්, වරො සිත කිලිටි වන සියළු කරුණුවලින් මිදී, සිත එකඟ කරගැනීමේ අදහස සපුරා ගැනීමෙන් යන අරුතයි. වරඤ්ඤූ තියුණු නුවණ සපුරා ගැනීමෙන් වරාහරො කියන ලද දෙයෙහි ඇත්ත හැමවිට තහවුරු කරන අදහස සපුරා ගැනීමෙන් උසස් වූ පිළිවෙත් මග හෙවත් අරිඅටැඟි මග ඇත්ත වන බව ගෙනහැර දක්වති. එසේම උසස් පින් මහිම ඇති බැවින් වරො නම් වේ. එසේ බොහෝ පින් මහිම ඇති බැවින්ද වරො නම් වේ. උසස් නැණ මහිමයෙන්ද එසේ වෙයි. බුදුබව ලබනු කැමති වූවනට එයට සුදුසු කටයුතු පෙන්වාදීම වරදො නමි. පසේ බුදුබව කැමති වූවන්ට එම වැඩපිළිවෙල ගෙනහැර පෑමෙන් වරාහරො නම් වේ. ඒ ඒ කරුනින් අසමාන බැවින්ද, තමාට ගුරුවරයෙකු නොමැති වුවත් අනෙක් හැමටම ගුරුවරයෙකු වීමෙන් (තථාගතයන්) අනුත්තර ය. ධම්මවරං අදෙසයී සාවකයෙකු වීමට කැමති වූවන්ට ඒ සඳහා මැනවින් කියන ලදැයි අරුත දෙන ස්වාක්ඛාත ආදී ගුණවලින් යුතු උතුම් දහම දේසනා කරන ලදින්, ඉතිරි කරුණු ඉහත දැක්වූ අයුරිනි.