බ්‍රහ්මචරියං මෛථුන වැළකීම, මග, සසුන, එකම අඹුසැමි සෑහීමකට පත්වීම යන කරුණුවලට සමානව යෙදේ. ‘බ්‍රහ්මචාරී ආරාචාරී’ යන තන්හි බඹසර හැසිරෙයි. දුරුකොට හැසිරෙයි යනුවෙන් ලිංගික සබඳතාවෙන් වැළකීම අදහස් වේ. ‘ඉදං ඛො පන පඤ්චසිඛ, බ්‍රහ්මචරියං එකන්ත නිබ්බිදාය’, පඤ්චසිඛය, මේ බඹසර හැසිරීම (සසර දුකෙහි) නියත කලකිරීමට හේතු වේ. මේ ආදී තන්හී (පිළිපැදිය යුතු) මගයි. ‘අභිජානාමි ඛො පනාහං සාරිපුත්ත, චතුරංග සමන්නාගතං බ්‍රහ්මචරියං චරිතා’ සාරිපුත්ත, මම සිවු ආකාර වූ බඹසර හැසිරුන බව දනිමි යන තැන මහණදම් පිළිවෙතට අදාළ වේ. ‘තයිදං බ්‍රහ්මචරියං ඉද්ධඤ්චෙව ඵීතඤ්ච’ මේ බඹසර දියුණුව පිණිස වැඩිදියුණුව යහපත පිණිස පවතී. මේ ආදී තැන සසුන අදහස් වේ.
‘මයඤ්ච භරියා නාකික්කමාම - අම්හෙ ව භරියා නාතික්කමන්ති
අඤ්ඤත්‍ර තාහි බ්‍රහ්මචරියං චරාම තස්මා හි අම්හං දහරා න මීයරෙ’
අඤ්ඤත්‍ර තාහි බ්‍රහ්මචරියං චරාම තස්මා හි අම්හං දහරා න මීයරෙ’
‘අපි ද (අපේ) බිරියන් ඉක්මවා නොයමු. බිරින්දෝ ද අප ඉක්මවා නොයති. ඔවුන් හැර අපි බඹසර හැසිරෙමු. එහෙයින් අපගේ (ළමා තරුණ කල) දරුවෝ නොමියෙති.’
මෙම ගාථාවෙහි බ්‍රහ්මචරියං යෙදුනේ අඹුසැමි සෑහීමට පත්වීම ගැනයි. ‘ඉධ පන සමණධම්ම බ්‍රහ්මචරිය පුබ්බංගමං’ ‘මහණ, මෙම මහණදම් සඳහා බඹසර පෙරටු වෙයි. ‘පිළිවෙත් මග හැසිරීම අදහස් කෙරේ. සුගතෙ බුදුරදුන් සමීපයෙහි භාග්‍යවතුන් වහන්සේ දුකසැප දෙමගෙහිම අන්තගාමී නොවී, මැනවින් ගිය බැවින්, මනහර වූ අරිඅටඟි මගෙහි ගමන් කළ බැවින්ද, යහපත් වූ ‘නිවන’ යැයි හඳුන්වන තැනට ගිය බැවින්ද සුගත යැයි කියනු ලැබේ. සමීප අරුතෙහි සත්තමී විබත්ය. ඒ අනුව බුදුරජාණන් වහන්සේ සමීපයෙහි යන තේරුමයි. චරාමසෙ හැසිරෙමු. ගරු බව දැක්වෙන අයුරින් ‘චරාමසී’ යැයි කියනු ලබයි. එය මෙහි ‘චරාමසෙ’ යයි කියනු ලබයි. අටුවා ඇදුරෝ ‘සෙ’ නිපාතයකැයි කියති. මෙහි එය ඉල්ලීමක් සඳහා චරෙම සෙ යනුවෙන් යෙදුණැයිද කල්පනා කරති. කැමති පරිදි යොදාගත හැකිය.
මෙසේ ධනිය බඹසර හැසිරීම සළකමින් භාග්‍යවතුන් වහන්සේගෙන් පැවිදි කරන ලෙස ඉල්ලා පැවිදි වීමේ පලය බලාපොරොත්තුවෙන් ජාතිමරණස්ස පාරගා දුක්‍ඛස්සන්තකරා භවාමසෙ යැයි කීය. ඉපදීම-මරණයෙහි එතරවීම නම් නිවනය. එය අරහත් මගින් ළඟා කරගනිමු. දුක්‍ඛස්ස සසර දුක, අන්තකරා අවසන් භවාමසෙ වෙමු. නැතහොත් ඒකාන්තයෙන්ම අපි එසේ වන්නෙමු. චරාමසෙ ගැන කී ලෙසින්ම එය දතයුතුය. මෙසේ කියා, නැවත ඔවුහු දෙදෙනම භාග්‍යවතුන් වහන්සේට වැඳ ‘අප පැවිදි කරන සේක්වා’යි ඉල්ලූහ.
ඉක්බිති පවිටු මාරයා ඒ දෙදෙනා නමස්කාර කරමින් පැවිද්ද ඉල්ලනු දැක, ‘මොවුන් මගේ බලය ඉක්මවනු කැමති වෙති. ඒ නිසා ඔවුන්ට අනතුරක්, බාධාවක් කරමි’යි අවුත් ගිහිගෙයි ගුණ දක්වමින් නන්‍දති පුත්තෙහි පුත්තිමා යන මේ ගාථාව කීය. නන්‍දති සතුටු වෙයි. පුත්තෙහි පුතුන්ගෙන්ද දූවරුන්ගෙන්ද, සම සහයෝග අරුතෙහි හෝ කරණ කොටගෙන අරුතෙහි කරණවිබත්ය. දූපුතුන් සමග සතුටු වෙයි. දූ පුතුන් නිසා සතුටු වෙයි. පුත්තිමා දූ පුතුන් ඇති තැනැත්තා, ඉති මෙසේ කීය යන අදහසයි. මාරො වසවත්ති දෙව්ලොවෙහි එක්තරා දාමරික දෙව්පුතෙකි. ඔහු ඔහුගේ බලය ඉක්මවා කටයුතු කරන කෙනෙකු වෙත්ද ඔහු මරයි. එය කළ නොහැකිවිට එබඳු කෙනෙකුගේ මරණය වුව කැමති වෙයි. එහෙයින් මාරයා යැයි කියනු ලැබේ. පාපිමා අයහපත් ගති පැවතුම් ඇති පහත් තැනැත්තෙකි. එම වචන සංගායනාවට සහභාගී වූ හිමිවරුන්ගේය. සියළු ගාථා එබඳුය. දූපුතුන් ඇති තැනැත්තා දූපුතුන් ඇතැයි සතුටුවන්නා සේ ගොමියො හොති, තථෙව නන්‍දති ගවයන් හිමි තැනැත්තා ද තමාට ගව සම්පත ඇතැයි එසේම සතුටු වේ.