චරියා කථා
විවේක කථාවට අනතුරුව, උතුම් විවේකය වූ, නිස්සරණ විවේක සංඛ්‍යාත නිර්වාණය සාක්‍ෂාත් කිරීමෙහි උපායමාර්ග දැක්වීම සඳහා, එසේ සාක්‍ෂාත් කළ, නිරෝධයෙහි, ලෝහිත සුව සඳහා ක්‍රියාකිරීම දැක්වීම සඳහාද ඉන්‍ද්‍රිය කථායෙහි නිර්දිෂ්ට චර්යාකථා නැවැත කියන ලදි. එහි අර්ථ වර්ණනා ඉන්‍ද්‍රිය කථායෙහි කියන ලද්දේමය.
චර්යා කථා වර්ණනාව නිමි.
ප්‍රාතිහාර්‍ය්‍ය කථා
ලෝකාර්ථ චර්යා කෙළවරකොට ඇති, චර්යා කථාවට අනතුරුව, ලෝකාර්ථ අනුශාසනා කෙළවරකොට ඇති, ප්‍රාතිහාර්ය විස්තර දක්වන්නහු විසින් දේශිත සූත්‍රාන්ත පූර්වංගම ප්‍රාතිහාර්ය කථායෙහි පෙර නුවූ අර්ථ අනුවර්ණනාවයි. එහි සූත්‍රාන්තයෙහි පාටිහාරියානි යනු එකිනෙකට විරුද්ධ ඉන්‍ද්‍රියයන්ගෙන් වෙන් වෙන්ව බැහැර කිරීම් වශයෙන් ඉද්ධිපාරිහාරියං යනු සිද්ධවීම් වශයෙන් සෘද්ධියි. විරුද්ධ දෑ එළැවීම් වශයෙන් ප්‍රාතිහාර්ය යයි. සෘද්ධියම ප්‍රාතිහාර්ය වූයේ සෘද්ධි ප්‍රාතිහාර්ය යයි. අනෙක්වාහි වනාහි පෙන්වීම් වශයෙන් ආදෙසනංයි. අනුසාසන වශයෙන් අනුසාසනීයි. සෙස්ස කියන ලද ක්‍රමයමැයි.
ඉධ යනු මෙලොව. එකච්චො යනු එක් පුරුෂයෙක්, සෘද්ධි ප්‍රාතිහාර්ය නිර්දේශය යට කියන ලද අර්ථමය. නිමිත්තෙන ආදිසති යනු පැමිණි නිමිත්තෙන් හෝ ගිය නිමිත්තෙන් හෝ සිටි නිමිත්තෙන් හෝ කියයි. එවම්පි තෙ මනො යනු මෙසේද නුඹගේ මනස සොම්නසින් යුක්තවූයේ හෝ දොම්නසින් යුක්ත වූයේ හෝ කාම විතර්කාදියෙන් යුක්ත වූයේ හෝ වේ. අපි ශබ්දය සම්පිණ්ඩණාර්ථයෙහිය. ඉත්‍ථම්පි තෙ මනො යනු සොම්නස් ආදී වශයෙන් එක් එක් ආකාර වූද සිතෙහි නානාප්‍රකාර භාවය දැක්වීමයි. ඉතිපි තෙ චිත්තං යනු නුඹගේ සිත මේ මේ ආකාරද වේ. මේ මේ අර්ථ සිතමින් පවතී යයි අර්ථයි. බහුඤ්චෙපි ආදිසති යනු සිතින් අන්‍ය වූ හෝ මේ මේ දෑ වූයේය වේ වන්නේ යයි බොහෝ දෑද කියයි. තථෙව තං හොති නො අඤ්ඤථා යනු ඒ සියල්ලම යම් යම් ආකාරයකින් කියන ලද්දේද, ඒ අයුරින්ම වේ. අන් අයුරෙකින් නොවේ.
න හෙව ඛො නිමිත්තෙන ආදිසති යනු නිමිත්ත දනුයේද හුදෙක් නිමිත්තෙන්ම නොකියයි. අපිච යනු වෙනත් ක්‍රමයක දැක්වීමයි. මනුස්සානං යනු සිත දැනගන්නා වූ මනුෂ්‍යයින්ගේ. අමනුස්සානං යනු ශ්‍රවණය කරවන ලද්දා වූ හෝ ශ්‍රවණය නොකරවන ලද්දා වූ හෝ යක්‍ෂ පිශාචාදීන්ගේ, දෙවතානං යනු චාතුර්මහා රාජිකාදීන්ගේ, සද්දං සුත්‍වා යනු අන්‍යයාගේ සිත දැන කියනවුන්ගේ ශබ්දය ශ්‍රවණය කොට, පන නැවත ආරම්භයෙහි, නිපාතයකි. විතක්කයතො යනු යම් ඒ දෙයක් විතර්ක කරන්නහුගේ, විචාරයතො යනු විතර්ක සම්ප්‍රයුක්ත වූම විචාරයෙන් විමසා බලන්නහුගේ, විතක්ක විප්ඵාරං සද්දං සුත්‍වා යනු විතර්ක වෙග වශයෙන් උපන් විකාර දොඩවන්නවුන්ගේ නින්දට වට, මත්වූවන්ගේ නාදය අසා, යමක් කල්පනා කරන කල්හි එම ශබ්දය උපන්නේ වේද, එම ශබ්දයාගේ වශයෙන් ‘ඔබගේ මනස මෙසේ’ යයි ආදිය පෙන්වයි.
අවිතක්කං අවිචාරං සමාධිං යනු විතර්ක විචර කැළැඹීම් විරහිත ශාන්ත චිත්තයාගේද දැනීමෙහි සමර්ථතාව දක්වන්නහු විසින් යූසේයි. සෙසු සිත් දැනගැනීම්හි වනාහි කිවයුත්තක්ම නැත. චෙතසා චෙතො පරිච්ච පජානාති යනු චෙතොපරියඤාණලාභියා, භොතො යනු භවත්හුගේ, මනො සංඛාරා පණිහිතා යනු චිත්ත සංස්කාර තබන ලද්දාහු, අමුකං නාම විතක්කං විතක්කයිස්සති යනු කුශලාදී සිතිවිල්ලක් සිතන්නේය. පවත්වන්නේ යයි දනියි. දන්නේද පැමිණීමෙන් දනියි. පූර්වභාගයෙන් දනියි. සමවත තුළ සිත බලා දනියි. පැමිණීමෙන් දනියිනම්, කසිණ පරිකර්ම කාලයෙහිම යම් ආකාරයකින් කසිණ භාවනාව අරඹන ලදද? ප්‍රථමධ්‍යානය හෝ ද්විතීය ධ්‍යානය හෝ අට සමවත් හෝ උපදවන්නේ යයි දනියි. පූර්වභාගයෙන් දනියි නම්, ප්‍රථම විදර්ශනාවගේ ආරම්භයෙහිදීම දනියි. යම් ආකාරයකින් එම විදර්ශනාව අරඹන ලදුයේ, සෝවාන් මාර්ගය හෝ උපදවන්නේය. -පෙ- අර්හත් මාර්ගය හෝ උපදවන්නේ යයි දනියි. සමවත තුළ සිත බලා දනියි නම්, යම් ආකාරයකින් මොහුගේ මනෝ සංස්කාර තබන ලද්දාහුද, මෙනම් චිත්තයට අනතුරුව මෙනම් විතර්කය විතර්කනය කරන්නේය. මෙයින් නැගිටි ඔහුට පිරිහීමට නැඹුරු වූ හෝ සමාධිය වන්නේය. අඩුවැඩි නොවී පවත්නා ස්වභාවයට පත් සමාධිය වන්නේය. විශේෂාධිගමයන් ලබාදෙන සමාධිය හෝ වන්නේය. තියුණු අවබෝධයට අයත් හෝ සමාධිය වන්නේය. අභිඥාවන් හෝ උපදවන්නේ යයි දනියි. බහුඤ්චෙපි ආදිසති යනු චෙතොපරිය ඤාණයට චිත්ත චෛතසිකයන්ම අරමුණු කරන හෙයින්, සරාගාදි සොළොස් ප්‍රභේදයෙන්ම බොහෝකොටද කියයි. අනෙකක් වශයෙන් නොවේයයි දතයුතුය. තථෙවෙතං හොති යනු මෙය ඒකාන්තයෙන්ම එසේම වේ. චෙතොපරිය ඤාණ වශයෙන් දන්නා ලද්දේ වේ. අන්‍යාකාරයෙන් සිදුවීමක් නම් නැත.