යමෙක් අනන්‍ය සාධාරණ මහා කරුණා, සබ්බඤ්ඤුත ඤාණ ආදී ගුණ විශේෂ යෝග්‍ය කරණ කොටගෙන දෙවියන් සහිත ලෝකයා විසින් පිදිය යුතු, නැමදිය යුතු භාග්‍යවත් වූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූයේද ලෝකයේ ඒ උතුම් පුද්ගලයාට දැන් අප විසින් බෙදිය යුතු හාර නය පට්ඨාන විමසීම්වලට විෂය වූ මේ සාසනය ආදි කල්‍යාණත්වය ආදී ගුණසම්පත්තිය නිසා ශ්‍රේෂ්ඨ වූයේ ද අග්‍ර වූයේ ද උතුම් වූයේ ද වේ. සියුම් නුවණට ගෝචරවන බැවින් පණ්ඩිතවේදනීය ද වේ. යන මෙය කියන ලදි. භාග්‍යවතුන් වහන්සේගේ එක් ගාථා මාත්‍රයක් පමණක් වූ වචනය ද සත්‍ය, පටිච්ච සමුප්පාද, ස්කන්ධ, ආයතන, ධාතු, ඉන්‍ද්‍රිය, සතිපට්ඨාන ආදී ස්වභාව ධර්ම වෙන් කිරීමට සමත් බැවින් සොළසහාර පංචනය, දහසය හා විසිඅට වැදෑරුම් පට්ඨාන විමසීමට සුදුසු බැවින් ද ඉතා ගැඹුරු වූ, අර්ථ වශයෙන් ගැඹුරු වූ පරතෙරක් නැති ඉතා සියුම් වූ විෂයක්මය. එහෙයින්ම මේ ධර්මය ප්‍රඥාවන්තයින් සඳහාය. මෝඩයන් සඳහා නොවේ යැයි කියන ලදි. එසේ නැතහොත් භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනය දන්නා ක්‍රමයෙන් ලක්‍ෂණයන් අවබෝධ කිරීම් ප්‍රතිපත්තියෙන් සුඤ්ඤත මුඛාදියෙහි බැසගත යුතු බැවින් මෝඩයන්ට සිහිනෙන්වත් විෂය නො වන්නේය යන අර්ථයෙන් විදූහි ඤෙය්‍යං යැයි කියන ලදි. එසේම ‘එතු විඤ්ඤූ පුරිසො’ යනාදිය කියන ලද්දේය.
ඇතැමෙක් තං තස්ස සාසනවරං යනුවෙන් කියත්. ඔවුන්ගේ අදහස අනුව යං ශබ්දය සාසන ශබ්දය සමග සමාන අධිකරණ ඇත්තකැයි දතයුතුය. යම් උතුම් සාසනයක් ලෝකපාලයන් සහිත ලෝකයා පූජා කෙරේ ද නමස්කාර කෙරේ ද ඒ උතුම් සාසනය ප්‍රාඥයන් විසින් දතයුතුය යන මෙය කියන ලදි. මෙම න්‍යායයෙහි ලෝකපාල ශබ්දයෙන් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ද කියන ලදි. භාග්‍යවතුන් වහන්සේ වනාහි ලෝකාග්‍ර බැවින් කර්තෘය. නිෂ්පර්යායෙන් ලෝකපාල වේ. එහෙයින් ඔහුටය යනු ලෝකපාල වූ ශාස්තෲන් වහන්සේටය යන අර්ථයයි. සලොකපාලො යන මෙහි ලෝකපාල ශබ්දය ගුණී භූත වූවක් වූවත් ශාස්තෲ විෂය වූ සාසන ශබ්දය අපේක්‍ෂා කරන බැවින් අධිපතිත්‍වයෙන් සම්බන්ධ විෂය වූ ප්‍රධාන වූවක් මෙන් නිර්දේශයට සුදුසුය.
ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් තමා ම ධර්මය පූජා කෙරේ ද? මෙය විරෝධයක් නොවේ. ධර්මගරුක වූ ඒ භාග්‍යවත් බුදුවරු සියලු කල්හි ධර්මය පුදමින්ම වාසය කරත්. ‘මම ධර්මයටම සත්කාර කොට ගරුකොට බුහුමන්කොට පූජාකොට එයම ඇසුරුකොට වාසය කරන්නේ නම් මැනව’යි යන මෙය කියන ලද්දේය.
තව ද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මපූජාව සත් සති පූජා ආදියෙන් දීපනය කළයුතුය. ධම්මස්සාමී යනු ධර්මයෙන් දෙවියන් සහිත ලෝවැසියාට ස්වාමි වේ යන අර්ථයයි. ධර්මයට අධිපති යන අර්ථය නොවේ. මෙසේ නමස්කාර කරයි යන වචනය සුදුසු නොවේ. භාග්‍යවතුන් වහන්සේ කිසිවෙකුට නමස්කාර නො කරන්නේ ය. මෙය ද දෝෂයක් නැත. න හි නමස්සති යන පදයට නමස්කාර නොකරයි යන මේ අර්ථයම යෙදේ. එවිට ගරු කිරීෟමෙන් එයට නතු වූයේය. එයට නැමුනේ ය. එයට බර වූයේය යන මේ අර්ථය ද ලැබේ. භාග්‍යවතුන් වහන්සේ ද සියලු කල්හි ධර්මයට නතු වීම්, නැමීම්, බරවීම් ඇතිව වාසය කරන්නේය යනුයි. මේ අර්ථය ද ‘යෙන සුදං ස්වාහං නිච්චකප්පං විහරාමි’ යන මේ ආදී සූත්‍ර පදයන්ගෙන් දීපනය කළයුතුය. විදූහි නෙය්‍යං යනුවෙන් ද පාඨයක් වේ. එය පණ්ඩිතයන් විසින් ස්වකීය - පර සන්තානයන්හි පැමිණවිය යුතුය යන අර්ථයයි. එහිදී ස්ව සන්තානයෙහි පැමිණවීම හා අවබෝධ කරගැනීම ද පර සන්තානයෙහි අවබෝධ කරගැනීම ද දතයුතුය.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ සම්බන්ධ සදේව ලෝකයාගේ පූජනීය වන්දනීය භාවය ද අග්‍ර පුද්ගලභාවය ද කියමින් ගුණ විශිෂ්ටත්වය දීපනය කෙරෙයි. ඒ ගුණ විශිෂ්ටත්වය මහාබෝධියෙන් දතයුතුය. ආශ්‍රවක්‍ෂය ඤාණයට පදස්ථාන වූ සර්වඥතා ඥානය ද, සර්වඥතා ඥානයට පදස්ථාන වූ ආශ්‍රවක්‍ෂය ඥානය ද මහාබෝධි යැයි කියනු ලැබේ. නොවෙනස් ධර්ම දේශනා ඇති බැවින් එය තථාගතයන් වහන්සේ කෙරෙහි මනාව පිහිටියේ යැයි දැනෙයි. වාසනා සහිත නිරවශේෂ ක්ලේශ ප්‍රහාණයෙන් ද අනාවරණ ඥානයෙන් ද තොරව එබඳු ධර්ම දේශනාවක් නො පැවැත්වේ. මෙසේ උන්වහන්සේ චතුර් වෛශාරද්‍ය යෝගය ද දශබල ෂඩ් අසාධාරණ ඥාන අටළොස් ආවේණික බුද්ධ ධර්මාදී සියලු සර්වඥ ගණ පූරණය ද ප්‍රකාශ කරන ලද්දේ වෙයි. මෙවැනි ගුණ විභූතිය ද මහා කරුණාව පෙරටු වූ, අභිනීහාර සම්පත්තිය පෙරටු කොට සම්පාදනය කරන ලද සමතිස් පාරමිතා සංඛ්‍යාත පුණ්‍ය ඤාණ සම්භාරය නැතිව නොලැබේනුයි. හේතු සම්පදාව ද අර්ථ වශයෙන් විභාවනය කරන ලද්දේය. මෙසේ අවස්ථා තුනේදීම සියලු සත්ත්වයාට ඒකාන්තයෙන් හිතදේ ඇති කිරීමට හේතු වූ මුල මැද අග යහපත් වූ නිරවශේෂ වූ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධගුණයන් මේ ගාථාවෙන් ප්‍රකාශ කරන ලදැයි දතයුතුය.
දෙවැනි නයෙහි දී වනාහි ශික්‍ෂාත්‍රය තුළ සංග්‍රහ වූ ඵල සහිත වූ ආර්ය මාර්ග ශාසනය ද ඊට අරමුණු වූ අමත ධාතුව ද එයට පැමිණීමේ උපාය ද පූර්වභාග ප්‍රතිපත්ති ශාසනය ද එය පරිදීපනය කිරීම ද පරියත්ති ශාසනය ද සුදුසු පරිදි සත්‍යාභිසමය කිරීම් වශයෙන් අවබෝධ කරමින් ස්වාක්ඛාතාදී ගුණ විශේෂයෙන් යුක්ත වූ ධර්මය මෙනෙහි කරමින් සකස් කොට ඇසීම් දැරීම් විමසීම් ආදියෙන් පුහුණුව ඇති කරමින් සදේව ලෝකයා පූජා කෙරෙයි යනුයි. ලෝකනාථයන් වහන්සේ ද සම්මා සම්බෝධියට පැමිණීමෙන් පසු විනේය ජනයන්ට සකසා දහම් දෙසමින් ‘අරියං වො භික්ඛවෙ සම්මා සමාධිං දෙසිස්සාමි’ මග්ගානට්ඨංගිකො සෙට්ඨො’ ‘යාවතා භික්ඛවෙ ධම්මා සංඛතා වා අසංඛතා වා විරාගො තෙසං අග්ගමක්ඛායති’ ‘ඛයං විරාගං අමතං පණීතං’ ‘එකායනො අයං භික්ඛවෙ දෙසෙස්සාමි ආදි කල්‍යාණං’ ආදී වචනයන්ගෙන් ස්තුති කරීමෙන් ද පදන්නේ නම් වේ. එහෙයින් මෙහි කියනු ලබන උතුම් ශාසනයේ පූජනීය භාවය නිරවශේෂ වශයෙන් ධර්ම ගුණයන් බබුළුවන්නේය. නොයෙක් සූත්‍ර පදයන්ගෙන් වදාරන ලද ආර්යභාව නිය්‍යාන, ඛයවිරාග, මදනිම්මදන, අසංඛත, ස්වාක්ඛාත ආදි කල්‍යාණත්‍ව ආදී යම් ධර්ම ගුණයක් වේ නම් ඒ අනේක වූ ධර්ම ගුණයන් නිරවශේෂ වශයෙන් මේ ගාථාවෙන් ප්‍රකාශ කරන ලදැයි දතයුතුය.