2 - 1
දෙවන සූත්‍රයේ පළමු ගාථාවේ සත්තො යනු ඇලුණේයි. ගුහායං කයෙහි, ශරීරයෙහි, කය නම් රාගාදී ව්‍යාල මෘගයනට විසීමට අවකාශ (ඇති හෙයින් ‘ගුහා’ යැයි කියනු ලැබේ. බහුනාභිච්ඡන්නො යනු බොහෝ රාගාදී ක්ලේශ විශේෂයන්ගෙන් වැසුණේයි. මෙහි අභ්‍යන්තර බන්‍ධනය කියන ලදී. තිට්ඨං යනු රාගාදී වශයෙන් සිටිනුයේ, මොහනස්මිං පගාළ්හො යනු මෝහන නම් පංචකාම ගුණයෝ යි. මෙහි වනාහි දෙවියෝ ද මිනිස්සුද මුළා වෙති. එහි ගැලී සිටින හෙයිනි. මෙහිදී බාහිර බන්‍ධනය කියන ලදී. දූරෙ විවෙකාහි තථාවිධො සො යනු මෙබඳු වූ පුද්ගලයා ත්‍රිවිධාකාර කාය විවේකාදී විවේකයන්ගෙන් ඉතා දුරුව, නො සමීපව වෙසේ. කුමක් නිසාද? ලෝකයෙහි කාමයෝ වනාහි කිසිවකුටත් පහසුවෙන් අත්හළ නොහැකි වෙති. ලෝකයෙහි කාමයන් පහසුවෙන් අත්හළ නොහැකි හෙයිනැයි කී නියායි.
සත්තො ති ඛො වුත්තං යනු සත්ත්වයා, නරයා, මානවයා මේ ආදී නයින් කියන ලද්දේම ය. ගුහායං යනු පළමුකොට ගුහාවකැයි කිවයුතු හෙයින් මුලදීම ගුහාවකැයි කියන ලදී. ‘කායොති වාති’ යනාදියෙහි පළමු කොට මේ පද යෝජනාවයි. කය හෝ ගුහාව හෝ කුම්භ (කළය) හෝ යනුවෙනි. එහි කායො යනු පිළිකුල් වූ කුණපයන්ට උත්පත්ති ස්ථාන වේනුයි (කුච්ඡිතානං ආයොති) කාය නම් වේ ආදී වශයෙන් ඉහත සතිපට්ඨාන කථාවෙහි (31 වන පිටුවෙහි) දක්වන ලද්දේමය. රාගාදී ව්‍යාල මෘගයනට වාසයට අවකාශ ඇතැයි යන අරුතින් කය ගුහා නම් වේ. ‘රාගාදී ධර්මයන් සැඟවීමේ අරුතින් ද ගුහා නම් වෙති’යි ඇතැමෙක් පවසති. ‘දූරංගමං එකචරං අසරීරං ගුහාසයං’ ආදියෙහි මෙනි. රාගාදියෙන් දවනු ලබතැයි යන අර්ථයෙන් දෙහො දේහ නම් වේ. ‘තෙ හිත්‍වා මානුසං දෙහං’ ආදියෙහි මෙනි. ‘ප්‍රමාද බවට පත්කරති’යි යන අර්ථයෙන් සන්‍දෙහො සන්දේහ නම් වේ. ‘භිජ්ජති පූතිසන්‍දෙහො මරණන්තං හි ජීවිතං’ (පිළිකුල් සහිත මේ දේහය බිඳේ. ජීවිතය මරණයෙන් කෙළවර වේ. ‘සිඤ්ච භික්ඛූ ඉමං නාවං සිත්තා තෙ ලහුමෙස්සතී’ යනාදියෙහි (මහණ! මේ නැව ඉසිනු. ඉසින ලද නැව සැහැල්ලු බවට එන්නේය.) මෙනි. ඉරියව් පැවතුම් ඇති හෙයින් රථො රථ නම් වේ. ‘රථො සීලපරික්ඛාරො ඣානක්ඛො චක්කවීරියො’ (ශීල නමැති පිරිකර හෙවත් අංගෝපාංග ඇති, ධ්‍යාන නැමති අක්‍ෂ ඇති, චක්‍රයන් වැනි වීර්ය ඇති මේ ශරීර නමැති රථය) ආදියෙහි මෙනි. ඉතා උස් හෙයින් ධජො ධජ - නමි. ‘ධජො රථස්ස පඤ්ඤාණො’ (ධ්වජය රථයෙහි ප්‍රකටව පෙනෙන සලකුණයි.) ආදියෙහි මෙනි.
කෘමි කුලයනට වාසස්ථාන වන බැවින් වම්මිකො වම්මික නමි. ‘වම්මිකොති ඛො භික්ඛු ඉමස්සෙතං චාතුම්මහා භූතිකස්ස කායස්ස අධිවචනං’ (මහණ! වම්මික යනු, සතර මහාභූතයන්ගෙන් නිපන් මේ කයට අධිවචනයි.) බාහිර වශයෙන් ‘වම්මික’ යනුවෙන් හැඳින්වෙන තුඹස වනාහි බැහැර කෙරෙති’යි, අත්හරින ලද්දෙකැයි, වමනය කිරීමෙන් ගොඩනංවන ලදහ’යි, වමනය කරන ලද කෙල දියරෙන් බැඳුණාහ’යි යන සිවු කරුණෙන් ‘වම්මික’ යැයි වහරනු ලැබේ. ඒ තුඹස වනාහි සර්ප, මුගටි, මී, සුණු ආදී නානාප්‍රකාර ප්‍රාණින් පිටතට නික්මවති’යි යන අරුතින් ‘වම්මික’ නමි. වේයන් විසින් අත්හරින ලදහ’යි ‘වම්මික’ නමි. වේයන් විසින් මුව තුඩින් තෙමමින් ඔසවා බැඳි පස් සුණුවලින් තුනටිය පමණ උසට හෝ මිනිසකු පමණ උසට හෝ ඔසවා සාදන ලදහ’යි යන අරුතින් ද තුඹස වම්මික නම් වේ. වේයන් විසින් වැමෑරු කෙළ නම් තෙත් බැවින් බැඳී ඇති හෙයින් සත් සතියක් වුව වැසි වස්නා කල්හි පවා නොවිසිරේද, (දිය වී නොයේ ද) ග්‍රීෂ්ම කාලයේ පවා එයින් පස් මිටක් ගෙන එය තදින් මිරිකනු ලබන කල්හි තෙත් බව පිටවේද, මේ ආකාරයට වැමෑරූ තෙතමනයෙන් බැඳුණාහ’යි යන අරුතින් ද ‘වම්මික’ නමි. මෙලෙසින් ශරීරය ද ‘ඇසින් කබ ආදී වශයෙන් නානාප්‍රකාර අශූචි කිලුටු මල ආදිය වගුරුවතියි යන අරුතින් වම්මික නම් වේ. ‘බුදු, පසේබුදු, මහරහත් උතුමන් මේ ආත්මභාවය කෙරෙහි ආශාව මැඩලීමෙන් ආත්මභාවය අත්හැර දමා ගියහ’යි යන අරුතින් ද ‘ආර්යයන් විසින් අත්හරින ලදහ’යි යන අරුතින් ද වම්මික’ නම් වේ. ඒ මේ කය ද තුන්සියයක් ඇටවලින් ඔසවන ලදුව, නහරින් බැඳී මසින් ආලේප කරන ලදුව, තෙත් වූ සමින් වසන ලදුව, ‘සිවියෙන් සරසන ලදුව සත්ත්වයන් රවටති’යි යන සියල්ලම ආර්යයන් විසින් අත්හරින ලද හමැයි, මෙසේ වමාරා ඔසවන ලදහයි යන අරුතින් ද ‘වම්මික’ නම් වේ. ‘තණ්හා ජනෙති පුරිසං චිත්තමස්ස විධාවතී’ (තෘෂ්ණාව පුරුෂයා උපදවයි. ඔහුගේ සිත ඒ මේ අත දුවයි.) මෙසේ තණ්හාවෙන් උපදවන ලද බැවින් ආර්යයන් විසින් වමාරන ලද්දා වූ ම තණ්හා නැමති බැඳීමෙන් මේ ශරීරය බැඳුණහ’යි මෙසේ වත්ත සිනේහ සම්බන්ධ වමාරන ලද තෘෂ්ණා ස්නේහ සම්බන්ධයන් ඇතියහයි යන අරුතින් ද ‘වම්මික’ නම් වේ. යම්සේ තුඹස තුළ නානාප්‍රකාර ප්‍රාණීහු එහිම උපදිත් ද, එහිම මලමුත්‍රා පහකරත් ද ගිලන්ව වැතිරෙත් ද මැරී වැටීමෙන් ද මේ ආකාරයෙන් එම තුඹස (එම ප්‍රාණීන්ට) සූතිකාගාරය ද වැසිකිළිය ද ආරෝග්‍යශාලාව හා සුසානභූමිය ද වන්නේය. එසේම ක්‍ෂත්‍රිය මහාසාර කුලවල උපන්නවුන්ගේ කය ද මහානුභාව ඇත්තවුන්ගේ ගෝපනය නොකළ, ආරක්‍ෂා නොකළ ආභරණයෙන් සරසන ලද කයදැයි විශේෂයක් නොසිතා ම, සිවිය ආශ්‍රිත ප්‍රාණීහු ද සම ආශ්‍රිත ප්‍රාණීහු ද නහර ආශ්‍රිත ප්‍රාණීහු ද ඇට ආශ්‍රිත ප්‍රාණීහු හා ඇටමිදුළු ආශ්‍රිත ප්‍රාණීහු දැයි මෙසේ කුල ගණනින් අසූවක් වූ දහස් ගණන් කෘමිජාතීහු මේ ශරීරය තුළම හටගනිති. මේ තුළම මලමුත්‍රා කරති. ගිලන් බවට පත්ව වැතිරෙති. මැරී වැටෙති. මෙසේ මේ ශරීරය ද ප්‍රාණීන්ගේ සූතිකාගාරය ද වැසිකිළිය ද ආරෝග්‍ය ශාලාව ද සුසානභූමිය ද වෙතියි යන අරුතින් ද ‘වම්මික’ (තුඹසකි) යන සංඛ්‍යාවට ගියේය.