උපධි විවෙකො යනු කෙලෙස්, ස්කන්ධ, අභිසංස්කාර යන උපධීන්ගෙන් ශූන්‍ය වූ බවයි. පළමුව උපධීන් දක්වනු සඳහා උපධිවුච්චන්ති කිලෙසා ච යනාදිය කීහ. යමෙකුට රාගාදීහු උපදිත් ද ඔහුට තැවීම් ඇති කරත් ද බාධක ඇතිකරත්දැයි යන අරුතින් ක්ලේශයෝ ද උපාදාන වශයෙන් ගෝචර වූ රූපාදී වූ පංචස්කන්ධයෝ ද උපාදාන වශයෙන් හටගත් පුඤ්ඤ, අපුඤ්ඤ හා අනෙඤ්ජාභි සංස්කාරයෝ ද උපධි නම් වෙති. අමතං යනු මොහුට මරණ නම් වූ අමෘතභාවය නැත්තේනුයි ‘අමත’ නම් වේ. එසේම කෙලෙස් නම් විෂට ප්‍රතිවිරුද්ධ වූ බැවින් ද මරණයක් නැත්තේනුයි අමත නම් වේ. ‘සංසාර යෝනීන්හි ගති, උත්පත්ති, විඤ්ඤාණ ස්ථිති, සත්තාවාසයන්හි බඳවති යි, ‘නැඹුරු කරවති’ යි යන අරුතින් තණ්හාව ‘වාණ’ යැයි කියනු ලැබේ. එහි ඒ තණ්හාව නැතැයි ‘නිබ්බාණ’ (නි+වාණ) නම් වේ. වවකට්ඨකායානං යන ගණ සංගණිකාවෙන් (සමූහ වාසයෙන් වෙන් වූ) සිරුරු ඇත්තවුන්ගේ නෙක්ඛම්මාභිරතානං යනු නෙක්ඛම්මයෙහි කාමාදියෙන් නික්ම ප්‍රථම ධ්‍යානාදියෙහි සිත් ඇලවූවන්ගේ, නෛෂ්ක්‍රම්‍යය වෙත නැඹුරු වූවන්ගේ, පරමවොදානප්පත්තානං උතුම් පිවිතුරු බවනම් ඵලයට පැමිණ සිටියවුන්ගේයි. උපක්ලේශයන්ගෙන් තොර වූ බැවින් පිරිසිදු සිත් ඇත්තවුන්ගේයි. කෙලෙසුන්ගෙන් මිදුණු බැවින් අතිශය පිරිසිදු භාවයට පත්වූවන්ගේයි. විෂ්කම්භන ප්‍රහාණ වශයෙන් පිරිසිදු සිත් ඇත්තන්ගේයි. සමුච්ඡේද ප්‍රහාණ වශයෙන් අතිශය පාරිශුද්ධභාවයට පත්වූවන්ගේයි යනුවෙන් ද ඇතැමෙක් අර්ථ කියති. නිරූපධීනං යනු දුරු වූ උපධි ඇත්තවුන්ගේයි. විසංඛාරගතානං යනු සංස්කාර ආරම්මණය අත්හැර, සංස්කාර හෙවත් රැස්කිරීම දුරුකළවුන්ගේයි. නිවනට අරමුණු වශයෙන් පැමිණියවුන්ගේයි. විසංඛාරගතං චිත්තං යන මෙහි ද නිවනම ‘විසංඛාර’ යැයි කියන ලදී.
විදූරෙ යනු ඉතා දුරෙහිය. සුවිදූරෙ යනු අතිශයින් දුරෙහිය. නසන්තිකෙ යනු නො සමීපයෙහිය. න සාමන්තා යනු එකත්පසෙක නොවූ, අනාසනෙන යනු අතිශයින් සමීපයෙහි නොවේ. වවකට්ඨෙ යනු නුදුරෙහි, බැහැර නොව සිටියේයි, යන අර්ථයයි. තාදිසො ඒ හා සමාන වූයේයි. තස්සඨිතො යනු ඒ ආකාරයෙන් සිටියේයි. තප්පකාරො යනු ඒ ප්‍රකාරයෙන් සිටියේයි. තප්පටිභාගො ඒ කොටසෙහි වූයේ, නැතහොත් ආත්මභාව නැමති ගුහාවෙහි ලැගි හෙයින් තාදිසො ‘තාදිස’ නම් වේ. කෙලෙසුන්ගෙන් වැසුණු බැවින්, තස්සණ්ඨිතො තස්සණ්ඨිත නම් වේ. මෝහයෙහි ගිලුණු බැවින් තප්පකාරො තප්පකාර නම් වේ. ත්‍රිවිධ විවේකයන්ගෙන් දුරු වූ බැවින් තප්පටිභාගො තප්පටිභාග නම් වේ, යනුවෙන් ඇතැමෙක් අර්ථ කියති.
දුප්පහායා යනු සුවසේ ප්‍රහාණය කළ හැකි නොවේ. දුච්චයා යනු සුවසේ අත්හැරීමට නොහැක, දුප්පරිච්චජා යනු සර්වප්‍රකාරයෙන් ම අත්හැරීමට නොහැක. දුන්නිම්මදයා මදයෙන් තොර කිරීමට, නිර්මද කිරීමට නොහැකිය. දුබ්බිනිවෙඨයා යනු ලිහාලීම, මුදාලීමට නොහැකිය. දුත්තරා යනු එතෙර වී, ඉක්මවාලීමට නොහැකිය. දුප්පතරා යනු විශේෂයෙන් එතෙර වීමට නොහැකිය. දුස්සමතික්කමා දුකසේ අතික්‍රමණය කළ හැකි වේ. දුබ්බනිවත්තා නැවැත්වීම දුෂ්කරය. නැතහොත් ප්‍රකෘති වශයෙන් අත්හැරීම දුෂ්කරය. විකෘති වශයෙන් නිර්මද බවට පත්කිරීම දුෂ්කරය. නාග පාශයක් මෙන් ලිහාලීමට නොහැකිය. ග්‍රීෂ්ම කාලයෙහි නිරුදක කාන්තාරයක් මෙන් දුත්තරා දුප්පතරා තරණය කළ නොහැකි ය. ව්‍යාඝ්‍රාදීන්ගෙන් ගැවසුණු වනයක් මෙන් තරණය කළ නොහැකිය. දුස්සමතික්කමා මුහුදු රළ මෙන් දුබ්බිති වත්තා නැවැත්විය නොහැකි ය’ යනුවෙන් ද ඇතැමෙක් අර්ථ කියති.
මෙසේ පළමු ගාථාවෙන් ‘එබඳු වූ පුද්ගලයන් ත්‍රිවිධ විවේකයෙන් දුරුවෙතියි නිගමනය කොට, නැවත මෙබඳු පුද්ගලයන්ගේ ස්වභාවය ප්‍රකට කරමින් ‘ඉච්ඡානිදානා’ යන දෙවන ගාථාව වදාළහ. එහි ඉච්ඡා නිදානා යනු තණ්හාව හේතුකොට ඇති, භාවසාතබද්ධා යනු සුඛවේදනාදී භව සුවයෙහි බැඳුණාහු, තෙ දුප්පමුඤ්චා යනු යම් භව සුඛයට වස්තු වූ ධර්මයෝ වෙත් ද එහි බැඳුණු තණ්හාව නිදාන කරගත් ඒ සත්ත්වයෝ දුකසේ මිදිය යුත්තෝ වෙති. නහි අඤ්ඤමොක්ඛා යනු අනිකකු මිදවීමට නොහැකි වෙති. නැතහොත් මෙය කරණවිබත් වචනයි. ‘ඒ සත්ත්වයෝ දුකසේ මිදිය යුත්තෝ වෙති. කවර හෙයින් ද? අනිකකු විසින් මිදවිය හැක්කෝ නොවන හෙයිනි. එම සත්ත්වයෝ (සසර දුකින්) මිදෙතොත්, ස්වශක්තියෙන් ම මිදිය යුත්තාහුය’ යනු මෙහි අර්ථයි. පච්ඡා පුරෙවාපි අපෙක්ඛමානා යනු අනාගතයෙහි වසන්නා වූ අතීතයෙහි වූ කාමයන් අපේක්‍ෂා කරමින්, ඉමෙව කාමෙ පුරිමෙව ජප්පං යනු මේ වර්තමානයෙහි ඇති කාමයන් හෝ පළමු කී අතීතානාගත කාමයන් හෝ බලවත් තණ්හාවෙන් ප්‍රාර්ථනා කරමින්, මෙකී දෙපදය තෙ දුප්පමුඤ්චා නහි අඤ්ඤමොක්ඛා යන මේ පදය සමග ම සම්බන්ධ කර අර්ථ දතයුතුයි. (එසේ පද සම්බන්ධය නොකොට) ‘අපේක්‍ෂා කරන්නාහු කුමක් කරත්ද?යි හෝ කුමක් කළාහුද’යි නොදක්වන්නාහු ය. (නොපැහැදිලිය යන අර්ථයි.)