දැන් යම් හෙයකින් ප්රාර්ථනාව හා ප්රතිබද්ධ වූ පුණ්ය නිධානය සියලු කැමති දේ දීම ප්රාර්ථනාවෙන් තොරව සිදු නො වේද? යම් සේ වදාළේද?
“ගෘහපතියෙනි, ධම්මචාරි සමචාරි පුද්ගල තෙමේ “මම කයෙහි බිදීමෙන් මරණින් මතු ක්ෂත්රිය මහාසාල කුලයන්හි හෝ - පෙ - සහභාවයට පැමිණෙම් නම් මැනවැයි කැමති වේ නම් හෙතෙම කයෙහි බිඳීමෙන් මරණින් පසු ක්ෂත්රිය මහාසාල කුලයන්හි සහභාවයට පැමිණේ යන කරුණ සිදු වන්නේය. ඒ කවර හෙයින්ද යත්? හෙතෙම ධම්මචාරී සමචාරි වන හෙයිනි”
එසේම “අනාශ්රව වූ චේතෝ විමුක්ති, ප්රඥා විමුක්ති මෙලොවදීම තමා විසින් දැන ප්රත්යක්ෂ කොට එළඹ වාසය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත්? හෙතෙම ධම්මචාරී සමචාරී වන හෙයිනි”
එසේම වදාළහ -
“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව ශ්රද්ධාවෙන් යුක්ත වේ ද ශීලයෙන්, ශ්රැතයෙන්, ත්යාගයෙන්, ප්රඥාවෙන් යුක්ත වේ ද ඔහුට මෙසේ සිත් වෙයි. “මම ඒකාන්තයෙන් කයෙහි බිඳීමෙන් මරණින් මතු ක්ෂත්රිය මහාසාල කුලයන්හි හෝ - පෙ- සහභාවයට පැමිණෙම් නම් යෙහෙකි” යනුවෙනි. හෙතෙම එම සිත ස්ථිර ලෙස පිහිටුවයි. එම සිත අධිෂ්ඨාන කරයි. එම සිත වඩයි. ඔහුගේ එම සංස්කාරයෝ ද විහරණයෝ ද මෙසේ වඩා මෙසේ බහුලව කොට එහි ඉපදීමට හේතු වෙති” යන මේ ආදියයි.
එහෙයින් එසේ එසේ කැමැත්තට අනුකූල වූ චිත්ත, පදහන, අධිෂ්ඨාන, භාවනා පිරිකර කොට ඇති ඒ ප්රාර්ථනාව ඔහුට කැමති දේ දීමෙහි හේතුව දක්වන්නාහු -
“යං යදෙවාභි පත්ථෙන්ති සබ්බමෙතෙන ලබ්භති” යයි වදාළහ.
එකාදසමගාථාවණ්ණනා
දැන් මේ පුණ්ය නිධානයෙන් යම් ඒ සියල්ලක් ලැබේ ද එය සීමා වශයෙන් දක්වන්නාහු “සුවණ්ණතා සුස්සරතා” යන මේ ආදී ගාථාවන් වදාළහ.
එහි පළමු ගාථාවෙහි පළමු කොට “සුවණ්ණතා” නම් සුන්දර ඡවි වර්ණ ඇති බවයි. රන්වන් සමක් ඇති බවයි. එය ද මේ පුණ්ය නිධානයෙන් ලබයි. යම්සේ වදාළේ ද
“මහණෙනි, තථාගත තෙමේ යම් පූර්ව ජාතියෙහි - පෙ - පෙර මිනිස් වූයේ නොකිපෙන සුළු වූයේ උපාය බහුල කොට ඇත්තේ විය. බොහෝ සේම කියන ලද්දේ නමුදු ක්රෝධ වශයෙන් නොගැටුණේය. නොකිපුණේය. ව්යාපාදයට නොපැමිණියේ ය. ක්රෝධය සිත නොපිහිටුවීය. කෝපයත්, ද්වේෂයත් නොසතුටත් පහළ නොකළේය. සියුම් වූ මොළොක් වූ ඇතිරිලි ද පොරෝනා ද සියුම් කොමු පිළි ද සියුම් කපු පිළි ද - පෙ - සියුම් පට පිළි හා පලස් ද දෙන්නෙක් විය. හෙතෙම ඒ කර්මය කළ බැවින් රැස් කළ බැවින් - පෙ - මේ මිනිස් බවට ආයේම මේ මහා පුරුෂ ලක්ෂණ ලබයි. හේ රන්වන් වෙයි. රන්බඳු පැහැ ඇති සිවිය ඇත්තේ වෙයි” යනුවෙනි.
“සුස්සරතා” නම් බ්රහ්ම ස්වර ඇති බවයි. කුරවි කොවුලෙකුගේ බඳු මිහිරි හඬ ඇති බවයි. එය ද මෙයින් ලැබේ. යම් සේ වදාළේ ද?
“මහණෙනි තථාගත තෙමේ යම් පූර්ව ජාතියක - පෙ - ඵරුෂ වචනය අත්හැර ඵරුෂ වචනයෙන් වැළකුණේ වේ ද නිදොස් වූ කණට සැප වූ - පෙ - යම් වචනයක් වේ ද එබඳු වූ වචන කීවේ වේ ද හෙතෙම එම කර්මය කළ බැවින් රැස් කළ බැවින් - පෙ - මේ මිනිස් බවට ආයේම මේ මහා පුරුෂ ලක්ෂණ දෙක ලබයි. දික් පුළුල් දිව ඇත්තේ වෙයි. බ්රහ්ම ස්වර ඇත්තේ ද කුරවි කොවුලෙකුගේ බඳු මිහිරි හඬ ඇත්තේ ද වෙයි” යනුවෙනි.
“සුසණ්ඨාන” යනු යහපත් සටහන් ඇති බවයි. සුදුසු ස්ථානයන්හි අඟපසඟ සුදුසු පරිදි මැනවින් පිහිටියේ යයි කියන ලද්දේ වෙයි. එය ද මෙයින් ලැබේ. යම්සේ වදාළේ ද
“මහණෙනි, තථාගත තෙමේ පෙර ජාතියෙහි - පෙ මිනිස් වූයේම “මේ සත්ත්වයෝ කෙසේ නම් සැදැහැයෙන් වැඩෙන්නාහුද? ශීලයෙන්, ශ්රැතයෙන්, ත්යාගයෙන්, ප්රඥාවෙන් ධන ධාන්යයෙන් කෙත්වතුවලින් දෙපා සිවුපා සතුන්ගෙන් අඹු දරුවන්ගෙන්, දැසි කම්කරු පුරුෂයගෙන්, නැදෑයන්ගෙන්, මිතුරන්ගෙන්, බන්ධුන්ගෙන් වැඩෙන්නාහුදැයි බොහෝ දෙනාට වැඩ කැමති වුයේ හිත කැමති වුයේ පහසුව කැමති වූයේ නිරුපද්රැත බව කැමති වූයේ විය. හෙතෙම ඒ කර්මය (කළ බැවින්) - පෙ - මේ මහා පුරුෂ ලක්ෂණ තුන ලබයි. සිංහයාගේ පෙරඩ කය මෙන් පරිපූර්ණ වූ සිරුර ඇත්තේ වෙයි. මසින් පිරුණ පිටිකර ඇත්තේ වෙයි. සම වූ වට වූ කඳ ඇත්තේ වෙයි.” යන මේ ආදියයි.
මේ ක්රමයට මෙයින් පසුවද මේ පුණ්ය නිධානයේ ප්රතිලාභ පිළිබඳ සාධක වූ දේශනා පාඨයෝ ඒ ඒ තැන්වලින් ගෙන කිව යුත්තාහ. විස්තර අධික වේය යන භයින් වනාහී කෙටි කරන ලදී. දැන් ඉතිරි පදයන්ගේ වර්ණනාව කරන්නෙමි.
“සුරූපතා” යන මෙහි සියලු ශරීරය රූපය යයි දත යුතුය. “පරිවරන ලද ආකාශය රූපය යයි ව්යවහාරයට යේ” ආදියෙහි මෙනි. එම රූපයෙහි සුන්දර බව, සුරුපී බව, ඉතා දිර්ඝ නොවන බව, ඉතා කොට නොවන බව, ඉතා කෘෂ නොවන බව, ඉතා මහත් නොවන බව, ඉතා කළු නොවන බව, ඉතා සුදු නොවන බව යයි කියන ලද්දේ වෙයි. “ආධිපච්චං” යනු අධිපතිභාවයි. ක්ෂත්රිය මහාසාර ආදී වශයෙන් අධිපතිභාවය යයි කියන ලද්දේ වෙයි. “පරිවාරො” යනු අගාරිකයන්ගේ (ගෘහවාසීන්ගේ) නෑජන පිරිවර ජන සම්පත්තියත් අනගාරිකයන්ගේ පිරිස් සම්පත්තියත්ය. ආධිපච්චඤ්ච පරිවාරොච “ආධිපච්ච පරිවාරා” වේ. මෙහිද සුවණ්ණතා ආදියෙන් ශරීර සම්පත්තියත් “ආධිපච්ච” යන්නෙන් භෝග සම්පත්තියත් “පරිවාරා” යන්නෙන් සජන පරිජන සම්පත්තියත් කියන ලද්දේ යයි දත යුතුය. “සබ්බමෙතෙන ලබ්භති” යනු “යං යදෙවාපත්ථෙන්ති සබ්බමෙතෙන ලබ්භති” යයි යමක් කියන ලද්දේ ද එය ද මෙහි සීමා වශයෙන් කියන ලද සුවණ්ණතා ආදී හයට අයත් සියල්ල ද යන මේවා මේ පුණ්ය නිධානයෙන් ලැබේ යයි දත යුතු බව දක්වයි.