10. පලාස ජාතකය (370)
‘හංසො පලාසමවච’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ දී, ක්ලේශ නිග්රහයක් අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව ‘පඤ්ඤාස’ ජාතකයෙහි දැක්වේ. මෙහිදී බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා, ‘මහණෙනි, ක්ලේශයන්ම, සැක කළ යුතුමය. මක්නිසාද යත්, ඉතා කුඩා වූ නුග පැලයක් වුවත්, කලකදී විනාශයක් ඇති කරයි. මේ හේතුව නිසා පැරණි පඬිවරු පවා, සැක කළ යුතු දෑ සැක කළාහු ම යැ’යි, වදාරා මේ අතීත කථාව දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි, බෝසත් තෙමේ ස්වර්ණහංස ජාතියෙහි ඉපිද, නිසිවියට එළඹ ‘චිත්රකූට’ පර්වතයෙහි රන් ගුහාවක වෙසෙයි. දිනපතා මේ හංසයා හිමාල පෙදෙසෙහි ඉබේ හටගත් විලෙක, ඉබේ හටගත් හැල් අනුභව කොට ආපසු සිය නවාතැනට පැමිණේ. ඌ ගමනාගමනය කරන මාර්ගයෙහි මහා කෑලගසක් විය. හංසයා කෑම සොයා ගමන් කරන විටත්, ආපසු එන ගමනේදීත්, ඒ කෑල ගස උඩ ගිමන් හැරීම පුරුද්දක් කොට ගත්තේය. මේ කෑල ගසේ රුක් දෙවියෙක් වාසය කරයි. හංසයා ටික කලකදී ම, ඒ දෙවියා සමග මිත්ර විය. පසු කලෙක එක් කිරිල්ලියක් කිසියම් නුග ගසෙකින් නුග ඵල අනුභව කොට අවුත්, ඉහත කී කෑල ගස මත හිඳ රුක් දෙබලක් අතර වර්චස් හෙලුවාය. එයින් නුග පැලයක් ටික කලක දීම හට ගත්තේය. ඒ නුග පැලය අඟල් හතරක ප්රමාණයට වැඩුණු කල්හි, රතුපැහැති දලු හා කොළවලින් ශෝභමාන විය. දිනක් විඩා හැරීම සඳහා එහි පැමිණි හංස රාජයා ඒ නුග පැලය දැක, රුක්දෙවියා අමතා ‘මිත්ර පලාස දේවයිනි, මේ ‘නුග’ නම් වූ ගස් වර්ගය, යම් ගසක් මත පැල වුවහොත්, ටික කලෙකින්ම මුල් ගස වනසා දමන වෘක්ෂ විශේෂයකි. එම නිසා මේ නුග පැලයට වැඩෙන්නට ඉඩ නොදෙනු මැනවි. නැතහොත් ඔබේ විමානය විනාශයට පත් වන්නේය. එම නිසා කල් ඇතුවම එය උදුරා ඉවත දමන්න. සැක කටයුතු දේවල් සැමවිටම සැක කළ යුතුම යැ’යි, පලාස දේවතාවාට උපදෙස් දෙමින් මේ ගාථාව කීවේය.
හංසො පලාසමවච - නිග්රොධො සම්මජායති,
අංකස්මිං තෙ නිසින්නොව - සො තෙ මම්මානි ඡෙච්ඡතී ති
අංකස්මිං තෙ නිසින්නොව - සො තෙ මම්මානි ඡෙච්ඡතී ති
හංසයා පලාස දෙවියාට මෙසේ කීය. ‘යහලුව, නුග ගසක් පැල වී ඇත. ඒ නුග ගස ඔබේ ඇකයෙහි හිඳ, ඔබේ ම මර්මස්ථාන විනාශ කරන්නේය.
මෙහි පළමු පාදය බුද්ධත්වයෙන් අනතුරුව බුදුරදුන් විසින් වදාරන ලද්දකි. ‘පලාසං’ යනු ‘පලාස දෙවියාට ආමන්ත්රණය කළ බව’යි. ‘සම්ම’ යනු ‘මිත්රය’, යන අර්ථයි. ‘අංකස්මිං’ යනු ‘වෙළපෙහි’ යන අර්ථයි. ‘සො තෙ මම්මානි ඡෙච්ඡති’ යනු ‘ඒ නුග ගස ඔබේ ඇකයෙහි (එනම් නුග ගසෙහි වෙළපෙහි) වැඩුණු සතුරකු මෙන්, ජීවිතය සිඳ දමන්නේ ය’, යන අර්ථයි. මෙහි ‘මම්මානි’ යනු ජීවිත සංස්කාරයෝ ය.
හංසයාගේ මේ වචන අසා සිටියත්, එය ගණනකට නොගත් පලාස දේවතාවා මෙසේ කීය.
2. නුග ගස වැඩේවා! මම එයට මවක මෙන් ද, පියකු මෙන් ද පිහිට වන්නෙමි. එය එසේ වන්නේය.
‘මිතුර, ඔබ නො දන්නෙහිද? මේ නුග පැලය වැඩුනා වේ. යම් සේ මවුපියවරු ළමා කාලයේ දරුවන්ට පිහිට වෙත් ද? මම නුග පැලයට එසේ පිහිට වෙමි. යම් සේ වැඩුණු දරුවෝ පසු කලෙක මහලු දෙමාපියන්ට පිහිට වෙත්ද? එසේ මේ නුග ගස පසුව මට පිහිට වන්නේය’ යන අදහසයි.
ඉක්බිති හංසයා පිළිතුරු වශයෙන් මෙසේ කීය.
3. ඔබ ඇකයෙහි ලා යම් භයානක වූ, කිරි රුකක් වඩයි ද? මේ ගසේ වැසීම මට රුචි නො වේ. එබැවින් ඔබට කිය යුතු දේ කියා, මම යමි.
මෙහි ‘යං ත්වං’ යනු ‘යම් හෙයකින් ඔබ බිය ඇතිකරන බැවින් භයානක වූ ‘මේ කිරි ගස සතුරකු මෙන්, ඇකයෙහි ලා වඩයි ද?’ යන අර්ථයි. ‘ආමන්ත ඛො තං’ යනු ‘එබැවින් අපි ඔබ අමතා දැනුම්වත් කොට යමු’ යන අර්ථයි. ‘වුඩ්ඪිමස්ස’ යනු ‘මේ ගසේ වැඩීම, මට රුචි නො වේ’ යන අර්ථයි.
හංස රාජයා දෙවියාට මෙසේ කියා, පියාපත් විදහා ගෙන චිත්රකූට පර්වතය බලා පියෑඹීය. එදා සිට ඔහු නැවත එහි නොපැමිණියේය. පසු කලෙක නුග ගස වඩා වර්ධනය විය. එහි එක් වෘක්ෂ දේවතාවෙක් ද, අධිගෘහිත විය. නුග ගසේ වැඩීමෙන් කෑල ගස බිඳ වැටුණි. අතුත් සමග දෙව් විමන බිම පතිත විය. දේවතාවා එවිට හංස රජුගේ වචන සිහිපත් කොට, ‘මේ අනාගත බිය ගැන හංස රාජයා මට කීවේය. මම වනාහි, ඔහුගේ වචන අනුව ක්රියා නො කෙළෙමැ’යි වැලපෙමින් මෙසේ කීය.
4. දැන් මේ ගස මා බියට පත් කරයි. මහාමේරුව පෙන්වූවාක් මෙන් හංසයා කළ අනතුරු ඇඟවීම, තේරුම් නොගැනීමෙන් මේ මහා බිය මා වෙත පැමිණියේය.
මෙහි ‘ඉදානි ඛො මං භායති’ යනු ‘මේ නුග ගස කුඩා කල මා සතුටුකොට, දැන් මා ත්රස්තකොට බිය ගන්වයි’ යන අර්ථයි. ‘මහානෙරුනිදස්සනං’ යනු ‘මහමෙර සේ මහත්කොට කී හංසරජුගේ වචනය අසා, එය තේරුම් නොගෙන, කුඩා කලදීම උදුරා නොදැමීම නිසා යන අර්ථයි. ‘මහා මෙ භයමාගතං’ යනු ‘දැන් මට මේ මහා භය පැමිණියේ යැයි වැලපුණේය’ යන අර්ථයි.
නුග ගස හොඳට ම වැඩුණු විට කෑල ගස මුළුමනින්ම විනාශ වී, කණු කැබැල්ලක් පමණක් ඉතිරි විය. දේවතාවා විමානය සම්පූර්ණයෙන්ම අතහැර දමා අතුරුදහන් විය.
5. යමෙක් වැඩෙනවිට මුල දී, තමාට ආධාර වූ තැනැත්තා කා දමයිද? නුවණැත්තෝ එබන්දකුගේ වැඩීම, අනුමත නොකරති. එබන්දකුගෙන් වන හානිය ගැන සැක කරන නුවණැත්තා, එම කරදරය මුලිනුපුටා දැමීමට උත්සාහ දරන්නේය.
මෙහි ‘කුසලප්පසත්ථා’ යනු ‘නුවණැත්තන් විසින් පසස්නා ලදි යන අර්ථයි. ‘සසතෙ’ යනු ‘කයි, විනාශ කරයි’ යන අර්ථයි. ‘පතාරයී’ යනු ‘යත්න දරයි, උත්සාහ කරයි’ යන අර්ථයි. මින් කියන ලද්දේ මේ අර්ථය යි. එනම්, ‘මහණෙනි, වැඩෙන යමෙක් තමාට මුලදී පිහිට වූ අය නසයිද? එබන්දකුගේ වැඩීම පණ්ඩිතයන් විසින් නො පසස්නා ලදි. අභ්යන්තර හෝ වේවා, බාහිර හෝ වේවා, ‘මෙයින් මට විපතක් වන්නේ යැ’යි, මෙසේ ඒ උවදුර සම්බන්ධයෙන් සැක කොට පණ්ඩිත වූ නුවණැත්තා, එය මුලිනුපුටා දැමීමට උත්සාහ දරයි’ යන අර්ථයි.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්යය ප්රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. දේශනාව කෙළවර පන්සියයක් භික්ෂහු රහත් බවට පැමිණියහ. අවසානයේ දී එදා ස්වර්ණහංස ව උපන්නේ ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.