10. උලූක ජාතකය (270)
සබ්බෙහි කිර ඤාතීහි යන මේ ජාතක ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරයෙහි වැඩවාසය කරන සේක් කවුඩු, බකමූණු දබරය අරබයා වදාල සේක. එකල කවුඩෝ දවල් කාලයේ බකමූණන් කති. හිරු අවරට (බැස) ගියතැන් පටන් ඒ ඒ තැන්වල නිදන කපුටන්ගේ හිස් කඩා මරා දමති. ඉක්බිති ජේතවනාරාමයේ කෙලවර එක් පන්සලක වසන්නා වූ එක්තරා භික්‍ෂූන් වහන්සේ නමකට අතුගාන අවස්ථාවෙහි ගසින් වැටුනා වූ නැළි හත අටක් පමණ බොහෝ කවුඩු හිස් ඉවත් කරන්නට සිදුවෙයි. හෙතෙම ඒ කරුණ භික්‍ෂූන් වහන්සේලාට සැල කළේය. භික්‍ෂූන් වහන්සේලා දම්සභාවෙහිදී ඇවැත්නි, අසවල් භික්‍ෂූන් වහන්සේ වසන ස්ථානයේ දිනපතාම මෙපමණක් නම් කවුඩු හිස් ඉවත් කරන්නට සිදුවෙතියි යනුවෙන් කථාව මතු කළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි. මෙහි කවර කථාවකින් යුතුව සිටියාහුදැයි විචාළ සේක. භික්‍ෂූහු මෙම කථාවෙන් යයි කියා ස්වාමීනි! කවදා පටන් කවුඩන්ගේ හා බකමූණන්ගේ ඔවුනොවුන් අතර වෛරය උපන්නේදැයි විචාළාහුය. බුදුරජාණන් වහන්සේ ප්‍රථම කල්පයට අයත් කාලයේ පටන් යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස ප්‍රථම කල්පයේ මිනිස්සු රැස් වී මනා රූ සපුවෙන් යුත් සෞභාග්‍යයෙන් අගතැන්පත් ආඥා සම්පත්තියෙන් යුත් සියලු ආකාරයෙන් පිරිපුන් එක් පුරුෂයෙකු කැඳවා රජබවට පත් කළහ. සිව්පාවෝද රැස් වී එක් සිංහයෙකු රජබවට පත් කළහ. මහ මුහුදෙහි මාලු ආනන්ද නම් මත්ස්‍යයෙකු රජබවට පත් කළාහුය. ඉක්බිති කුරුළු සමූහයා හිමාල වන පෙදෙසේ එක් ගල්තලාවක් මතුවෙහි රැස්වී මිනිසුන් අතරෙහි රජෙක් සිටියි. එසේම සිව්පාවුන් අතරද මත්ස්‍යයන් අතරද රජවරු සිටිති. අප අතර රජෙක් නම් නැත. පිහිටක් නැතිව (නායකයෙකු නැතිව) වාසය කිරීම නම් නොවටියි. අපටද රජකෙනෙකු ලැබීම වටියි. රජ තනතුරේ තැබිය යුතු එකෙකු ගැන විමසා දැනගනිව් යි කීහ. ඔවුහු එවැනි කුරුල්ලෙකු සොයමින් එක් බකමූණෙකුට කැමතිව “මේ තෙමේ අපට රුචි වෙයි” යනුවෙන් කීහ. ඉක්බිති එක් කුරුල්ලෙක් සියල්ලන්ගේ අදහස් ගැනීම පිණිස තුන්වරක් ප්‍රකාශ කළේය. එසේ නම් ප්‍රකාශ කරද්දී දෙවරක් දැනුම්දීම ඉවසා තුන්වන වර කියවද්දී එක් කවුඩෙක් නැගී සිට මොහු රජකමට එළඹෙන මේ මොහොතේ මෙබඳු මුහුණක් ඇති කල කිපුණුවිට කෙබඳු වන්නේද, කිපුණු මොහු සිත් බලන ලද අපි රත්වූ කබලක දැවූ තල ඇට මෙන් ඒ ඒ තැනම බිඳෙන්නෙමු. මොහු රජ බවට පත්කරනවාට මගේ රුචියක් නැතැයි කියා එම කරුණ ප්‍රකාශ කිරීමට,
සබ්බෙහි කිර ඤාතීහි කොසියො ඉස්සරො කතො,
සචෙ ඤාතීහනුඤ්ඤාතො භණෙය්‍යාහං එකවාචිකං
යන පළමු ගාථව කීය.
සියලු නෑයන් විසින් බකමූණා රජ කරන ලද්දේය. ඉදින් නෑයන් විසින් අවසර දෙන ලද්දෙමි නම් මම වචනයක් කියමි.
එහි අර්ථය : යම් මේ ප්‍රකාශයක් පවතීද, සබ්බෙහි කිර මෙහි රැස්වූ සියලු ඤාතීහි ඤාතීන් විසින් මේ, කොසියො බස්සා රජ, කතො කරන ලදි. ඉදින්, මම වනාහි නෑයන් විසින් අවසර ලද්දෙම් නම් මෙහි කිය යුතු එක වාචිකං කිසිවක් භණෙය්‍යං කියන්නෙමි.
ඉක්බිති ඔහුට අවසර දෙමින්,
භණ සම්ම අනුඤ්ඤාතො අත්‍ථං ධම්මඤ්ච කෙවලං,
සන්තිහි දහරා පක්ඛී පඤ්ඤාවන්තො ජුතින්‍ධරා
යන දෙවන ගාථාව කීහ.
මිත්‍රය, අප විසින් තොපට අවසර දෙන ලද්දෙහිය. හේතුව හා ප්‍රවේණි ධර්මය කියව, නුවණත්, ඤාණාලෝකයත් ඇති තරුණ පක්ෂීහු ඇත්තේමය.
එහි, භණ සම්ම අණුඤ්ඤතො යනු යහළු කවුඩාණෙනි! අප සියල්ලන් විසින් නුඹ අනුදන්නා ලදි. (අපි සියල්ලෝම නුඹට අවසර දුනිමු) යමක් නුඹට කිවයුතු නම් එය කියව, අත්‍ථං ධම්මඤ්ච කෙවලං යනු කියද්දී ද කරුණද පරම්පරාවෙන් ආ වචනයද නොඉක්මවා කියව, පඤ්ඤාවන්තො ජුතින්‍ධරා යනු නුවණින් යුක්ත වූද ප්‍රඥාලෝකය දරණ තරුණ පක්‍ෂීහු ඇත්තේමය.
මෙසේ අවසර ලත් ඌ,
නමෙ රුච්චති භද්දං වො උලුකස්සාභිසෙචනං,
අකුද්ධස්ස මුඛං පස්ස කථං කුදෙධා කරිස්සති
යන තෙවන ගාථාව කීය.
තොප හැමට යහපතක් වේවා! බකමූණාගේ රජවීම රුචි නොවෙයි. නොකිපුණා වූ මොහුගේ මුහුණ බලව, කිපුණු මොහු කුමක් කරන්නේදැයි නො දනිමි.
එහි අර්ථය, භද්දං තොපට යහපතක්ම වේවා! තුන්වරක් කරන ප්‍රකාශයන්, උලුකස්ස අභිසෙචනං බකමූණාගේ රජවීම කරයි. එය මට නරුච්චති රුචි නොවේ. දැන් සතුටු සිත් ඇති අකුද්ධස්ස මුඛං නොකිපුණා වූ මොහුගේ මුහුණ බලව්. කුද්ධො කිපුණා වූ මොහු වනාහී, කථං කරිස්සති කුමක් කරන්නේදැයි නොදනිමි. සබ්බථාපෙතං හැම අයුරින්ම මෙය මට රුචි නොවෙයි.
හෙතෙම මෙසේ කියා මට රුචි නොවෙයි. මට රුචි නොවෙයි කෑ ගසමින්ම අහසට පැන්නේය. බකමූණාද නැගිට ලුහුබැන්දේය. එතැන් පටන් ඔවුහු ඔවුනොවුන් වෛර බැන්දාහුය. කුරුල්ලෝ ස්වර්ණ හංසයා රජබවට පත්කොට ගියාහුය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කොට ජාතකය නිමවා වදාළ සේක. එකල රජකමට පත් හංස පෝතකයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
දෙවැනි පදුම වර්ගය නිමියේය.
3. ආරණ්‍ය වර්‍ගය
1. උදපානදූසක ජාතකය (271)
ආරඤ්ඤකස්ස ඉසිනො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ඉසිපතනාරාමයේ වැඩවාසය කරන සේක් ළිඳ අපිරිසිදු කරන එක් හිවලෙකු අරබයා වදාළ සේක. එක්තරා හිවලෙක් වනාහි භික්‍ෂූ සංඝයා පැන් වළදන ළිඳ මල, මුත්‍රා කිරීමෙන් අපවිත්‍ර කොට ගියේය. ඉක්බිති ඌට එක් දිනක් ළිඳ ළගට පැමිණි සාමණේර හිමිවරු ගල්කැටවලින් පහර දී ඌ පීඩාවට පත්කළහ. ඒ නරියා එතැන් පටන් ඒ ස්ථානය ආපසු හැරීවත් නොබැලුවේය. භික්‍ෂූහු ඒ කරුණ දැන දම්සභාවෙහිදී කථාව ඉපදවූහ. ඇවැත්නි! ළිඳ ළඟ අපවිත්‍ර කළ හිවලා සාමණේරයන් වහන්සේලා විසින් පීඩාවට පත්කළ දවසේ පටන් නැවත ආපසු හැරි බැලුවේවත් නැතැයි කථාව මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! කවර කථාවකින් යුතුව මෙහි සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි, දැන් පමණක් නොව පෙරත් මේ හිවලා ළිඳ අපිරිසිදු කරන්නෙකු වූයේයයි වදාරා අතීත කථාව ගෙනහැර පෑ සේක.