9. දෙවෙනි ජනකුහන සූත්‍ර වර්ණනාව
නවවන සූත්‍රයෙහි අභිඤ්ඤත්‍ථං යනු කුශලාදී ස්වභාවයෙන් ද ස්කන්ධාදී බෙදීමෙන් ද සියලු ධර්මයන් අති විශිෂ්ට ඥානයෙන් නොවෙනස් වූ ආකාරයෙන් දැනගැනීම පිණිස. පරිඤ්ඤත්‍ථං යනු (කාම රූප-අරූප යන) භූමි තුනට අයත් ධර්මයන් මේ දුකය යනාදී වශයෙන් වෙන්කොට දැනගැනීම පිණිස ද ඉක්මවීම පිණිස ද. එහි දතයුතු දේ දැනගැනීම චතුස්සත්‍යයට විෂය වෙයි. වෙන්කොට දැනගත යුතු දේ දැනගැනීම දුක්ඛ සත්‍යයට විෂය වෙයි. පහකිරීම ප්‍රත්‍යක්‍ෂ කිරීම භාවනාවෙන් හා අවබෝධයෙන් තොරව නො පවතින හෙයින් පහකිරීම (පහාන) ආදිය ද මෙහි ගන්නා ලදැයි දතයුතුය. ඉතිරිය මුල් සූත්‍රයෙහි කියන ලද්දේය.
නවවන සූත්‍රයයි.
10. සොමනස්ස සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයෙහි සුඛසොමනස්ස බහුලො යන මෙහි සුඛං යනු කායික සැපය යි. සොමනස්සං යනු චෛතසික සැපයයි. එහෙයින් යමෙකුට කායික වූ ද චෛතසික වූ ද සැපය නිතර පවතී ද හෙතෙම සුඛ සොමනස්ස බහුලො කායික - මානසික සැප බහුලකොට ඇත්තේ වේ යයි කියන ලදී. යොනි යනු ‘චතස්සො ඛො ඉමා සාරිපුත්ත යොනියො’ ‘සැරියුත් මේ යෝනි සතරකි’ යනාදී තැන්වල ස්කන්ධ කොටස් යෝනි යනුවෙන් ආයේය. ‘යොනි හෙසා භුම්මජ ඵලස්ස අධිගමාය’ ‘භූම්මජය, ඵලය අවබෝධ කිරීම පිණිස මේ යෝනි (කාරණ) යයි. ආදියෙහි කාරණයයි.
‘න චාහං බ්‍රාහ්මණං බ්‍රෑමි යොනිජං මන්තිසම්භවං’ මවගේ යෝනියෙන් උපන් බැමිණි මවක කුස උපන්නා හට බ්‍රාහ්මණයයි මම නොකියමි.
‘තමෙනං කම්මජා වාතා උබ්බත්තෙත්‍වා උද්ධංපාදං අධොසිරං සම්පරිවත්තෙත්‍වා මාතු යොනිමුඛෙ සම්පටිපාදෙති’ ‘ඒ මොහු කර්මයෙන් උපන් වාතයෙන් උදුරා පා උඩට හිස යටට සිටින ලෙස පෙරළා මවගේ යෝනි මුඛයෙහි යොදයි’ යනාදී තැන්වල මුත්‍ර මාර්ගයයි. මෙහි වනාහි කාරණය අදහස් කරන ලදී. ආරද්ධා යනු පටන්ගන්නා ලද්දේ හෝ උත්සාහ කරන ලද්දේ හෝ පරිපූර්ණ කරන ලද්දේ හෝ සම්පදනය කරන ලද්දේ හෝ.
ආසවානං ඛයාය යන මෙහි වැගිරෙත් යන අරුතින් ආසව නම් වේ. ඇසින් ද වැගිරෙති. -පෙ- මනසින් ද වැගිරෙති. ගලාබසිතියි කියන ලද්දේ වෙයි. ධර්ම වශයෙන් ගෝත්‍රභූ තෙක් ද අවකාශ වශයෙන් භවාග්‍රය තෙක් ද වැගිරෙත් යන අරුතින් ආසව නම් වේ. ඒ ධර්ම ද ඒ අවකාශය ද ඇතුල්කොට ගලාබසිති යන අර්ථයි. (ආසවා යන්නෙහි ඇති) මේ ‘ආ’ කාරය ඇතුලත් කිරීමේ අර්ථ ඇත්තේය. බොහෝ කල් පල්කිරීම් අර්ථයෙන් සුරා ආදිය ආසව වැනිනුයි ආසව නම් වේ. ලෝකයෙහි බොහෝකල් පල්කරන ලද සුරා ආදිය ආසවයයි කියනු ලැබේ. බොහෝ කල් පල්කරන අර්ථයෙන් ඒවාම ආසව වන්නට සුදුසුය. ‘පුරිමා භික්‍ඛවෙ කොටි න පඤ්ඤායති අවිජ්ජාය ඉතො පුබ්බෙ අවිජ්ජා නාහොසි’ ‘මහණෙනි, මෙයින් පෙර අවිද්‍යාව නොවීයයි අවිද්‍යාවේ මුල් කෙළවර නොපෙනේ’ යනාදී මෙය කියන ලදී. දික් වූ සංසාර දුක ගලයි යන අරුතින් ආසව නම් වේ. මෙහි කෙලෙසුන් ආසවයයි කියන ලද තන්හි මුල් නිර්වචන යෙදේ. පසුව කී නිර්වචනය කර්මයෙහි යෙදේ. හුදෙක් කර්ම හා කෙලෙස් පමණක්ම ආසව නොවේ. නොයෙක් ආකාර උවදුරුද ආසව නම් වේ.
අභිධර්මයෙහි ‘කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව යයි ආසව සතරකි’ යනුවෙන් කාමරාගාදී කෙලෙස් ආසවයයි ආයේය. සූත්‍රයෙහි ද ‘නාහං චුන්‍ද දිට්ඨධම්මිකානං යෙව ආසවානං සංවරාය ධම්මං දෙසෙමි’ චුන්ද, මම මෙලොවදී ඇතිවන ආසවයන්ගේ සංවරය පිණිසම දහම් නොදෙසමි’ යන මෙහි විවාදයට මුල් වූ කෙලෙස් ආසව යනුවෙන් ආයේය.
යෙන දෙවූපපත්‍යස්ස ගන්‍ධෙබ්බො වා විභංගමො
යක්‍ඛත්තං යෙන ගච්ඡෙය්‍ය මනුස්සත්තඤ්ච අබ්බජෙ
තෙ මය්හං ආසවා බීණා විද්ධස්තා විනලීකතා
යම් කාමාදී ආශ්‍රවයන් නිසා මට දෙව්ලොව උපත වේනම් අහසෙහි හැසිරෙන ගාන්ධර්වයෙක් වෙම් නම්, යම් ආශ්‍රවයක් නිසා යක්ෂ බවට යානම් මිනිස් බවට යා නම් ඒ මාගේ ආශ්‍රවයෝ ගෙවුණාහ. විනාශ කළහ. පහකළ බැඳීම් ඇත්තාහ.
මෙහි ත්‍රෛභූමික කර්ම ද ඉතිරි අකුසල ධර්ම ද ආසව නම් වේ. ‘දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය සම්පරායිකානං ආසවානං පටිඝාතාය’ යන මෙහි අනුන් නැසීම, විපිළිසර වීම, වධයට පත්වීම, සිරගත වීම ආදියද අපාය දුකට හේතු වූ නොයෙක් ආකාර උවදුරු ද ආසව නම් වේ.
ඒ මේ ආසවයන් විනාශ කිරීමෙහිලා ‘දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය සම්පරායිකානං ආසවානං පටිඝාතාය’ යනුවෙන් දෙපරිදි කොට ආසව ආයේය. සළායතනයෙහි ‘තයොමෙ ආවුසො ආසවා - කාමාසවො, භවාසවො, අවිජ්ජාසවො’ ‘ඇවැත්නි, කාමාසව, භවාසව, අවිජ්ජාසව යයි මේ ආසව තුනකි. එසේ අනිත් සූත්‍රවල ද අභිධර්මයෙහි ද ඒවාම දිට්ඨි ආසවය සමඟ සතරාකාරයකින් ආයේය. නිබ්බේධික පරියායෙහි 1. අත්‍ථි භික්‍ඛවෙ ආසවා නිරය ගමනීයා, 2. අත්‍ථි ආසවා තිරච්ඡානයොනි ගමනීයා, 3. අත්‍ථි ආසවා පෙත්තිවිසය ගමනීයා 4. අත්‍ථි ආසවා මනුස්ස ලොක ගමනීයා, 5. අත්‍ථි ආසවා දෙවලොක ගමනීයා ‘මහණෙනි, නිරය ගමනට හේතුවන ආසව ඇත, තිරිසන් යෝනියට යාමට හේතුවන ආසව ඇත. ප්‍රේත විෂයට යාමට හේතුවන ආසව ඇත. මනුෂ්‍යලෝක ගමනට හේතුවන ආසව ඇත. දිව්‍යලෝක ගමනට හේතුවන ආසව ඇත’ යනුවෙන් පස් ආකාරයකින් ආසව ආයේය. මෙහි කර්මයම ආසව යනුවෙන් අදහස් කරන ලදී. ඡක්ක නිපාතයෙහි ‘අත්‍ථි භික්‍ඛවෙ ආසවා සංවරා පහාතබ්බා’ ‘මහණෙනි, සංවරයෙන් පහකළයුතු ආසව ඇත’ යනාදී ක්‍රමයෙන් හය ආකාරයකින් ආසව ආයේය. සබ්බාසව සංවර පරියායෙහි ඒ හය ආකාරයට දැකීමෙන් දුරුකළයුතු ධර්ම සමඟ හත් ආකාරයකින් ආසව ආයේය. මෙම සූත්‍රයෙහිදී වනාහි අභිධර්ම ක්‍රමයෙන් ආසව සතර අදහස් කරන ලදැයි දතයුතුය.