5. පාපක සීල සූත්‍ර වර්ණනාව
පස්වන සූත්‍රයෙහි පාපකෙන සීලෙන යනු ලාමක වූ සීලය, සීලය බිඳීම සිදුකරන අසංවරයයි කියති. එහි ඉදින් දුශ්ශීල භාවයෙන් ඒ අසීලයම අසංවරය වේ. කෙසේ සීලයයි කියනු ලැබේ ද? එහිලා මේ අදහස වන්නේය. ලෝකයෙහි නොදක්නා ලද්ද දක්නා ලදැයි කියනු ලැබේද සිල් නැති තැනැත්තා සිල්වතෙකැයි කියනු ලැබේ ද එසේම මෙහි අසීලයත් අසංවරයත් සීලයයි ව්‍යවහාර කරනු ලැබේ. නැතහොත් ‘කතමෙ ච ගහපති අකුසලා සීලා අකුසලං කායකම්මං අකුසලං වචීකම්මං පාපකො ආජීවො’ ‘ගෘහපතිය, අකුසල සීල යනු කවරක් ද? අකුසල වූ කාය කර්මය, අකුසල වූ වචීකර්මය ලාමක වූ දිවිපැවැත්මයි’ යන වචනයෙන් අකුසල ධර්මයන් කෙරෙහි ද සීල ව්‍යවහාරය ඇත්තේමය. එහෙයින් පුරුද්දක් වශයෙන් ස්වභාවයෙන් සිදු වූ දෙයක් මෙන් ප්‍රකෘතිය වූ සියලු හැසිරීම් සීලය යි කියනු ලැබේ.
එහි යමක් අදක්‍ෂභාවයෙන් උපන් අරථයෙන් අකුසල වේද ලාමක වේද ඒ සඳහා ‘පාපකෙන සීලෙන’ යයි කීහ. පාපකාය දිට්ඨියා යනු සියලු මිථ්‍යාදෘෂ්ටි ලාමකම ය. විශේෂ වශයෙන් අහේතුක දෘෂ්ටිය, අකිරිය දෘෂ්ටිය, නාස්තික දෘෂ්ටිය යන මේ දෘෂ්ටි තුන වඩාත් ලාමකය. එහි ලාමක වූ සීලයෙන් යුක්ත වූ පුද්ගලයා ප්‍රයෝග විපතට පත්වූයේ වෙයි. ලාමක වූ දෘෂ්ටියෙන් යුක්ත වූ පුද්ගලයා ආසය විපතට පත්වූයේ වෙයි. මෙසේ ප්‍රයෝග හා ආසය විපතට පත් වූ පුද්ගලයා නිරයට එළඹෙන්නෙක් වේමය. එහෙයින් ‘ඉමෙහි ඛො භික්‍ඛවෙ ද්වීහි ධම්මෙහි සමන්නාගතො පුග්ගලො යථාභතං නික්‍ඛිත්තො එවං නිරයෙ’ ‘මහණෙනි, මේ ධර්ම දෙකින් යුක්ත වූ පුද්ගලයා ගෙන එන ලද දෙයක් බිම තබන්නාක් මෙන් නිරයෙහි උපදී’ මෙහි ‘ද්වීහි ධම්මෙහි සමන්නාගතො’ යන මේ ලක්‍ෂණ වචනය දතයුතුය යනු නිර්දේශයයි (මාතෘකාවයි) එය ‘ඉදින් මොව්හු ආබාධිතයෝ වෙත්නම් මොවුන්ට මේ බෙහෙත දිය යුතුය’යි ලෝකයෙහි යම් නිර්දේශයක් (නියම කිරිමක්) ඇද්ද එමෙනි. මෙබඳු අනිත් තැන්වලද මේ ක්‍රමයමයි. දුප්පඤ්ඤො යනු ප්‍රඥාව නැති තැනැත්තා.
පස්වන සූත්‍රයයි.
6. භද්දක සීල සූත්‍ර වර්ණනාව
සයවන සූත්‍රයෙහි භද්දකෙන සීලෙන යනු කාය සුචරිතාදී චතුපාරිශුද්ධ ශීලයෙන්. එය අඛණ්ඩ (නො කැඩුණු) සීල ස්වභාවයෙන් ද සීලය තමාට යහපත් බැවින් ද සමථ විදර්ශනාදී යහපත් ගුණ කැඳවන බැවින් ද භද්දක යයි කියනු ලැබේ. භද්දිකාය දිට්ඨියා යනු කම්මස්සකත (කර්මය තමා අයකොට ඇතැයි යන) ඤාණයෙන් ද කර්මපථ සම්මා දිට්ඨියෙන් ද එහි යහපත් (භද්දක) වූ සීලයෙන් ප්‍රයෝග සම්පන්න පුද්ගලයෙක් වෙයි. යහපත් වූ දෘෂ්ටියෙන් ආසය සම්පන්න පුද්ගලයෙක් වෙයි. මෙසේ ප්‍රයෝග හා ආසය යන දෙකින් යුක්ත පුද්ගලයා ස්වර්ගයට යන්නේ වෙයි. එහෙයින් ඉමෙහි ඛො භික්‍ඛවෙ ද්වීහි ධම්මෙහි සමන්නාගතො පුග්ගලො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ ‘මහණෙනි, මේ ධර්ම දෙකින් යුක්ත වූ පුද්ගලයා ගෙන එන ලද්දක් බිම තබන්නාක් මෙන් ස්වර්ගයෙහි උපදී’ යනුවෙන් වදාරන ලදී. සප්පඤ්ඤො යනු ප්‍රඥාවන්ත පුද්ගලයා. ඉතිරිය පහසුවෙන් දතහැක්කේම ය.
සයවන සුත්‍රයයි.
7. ආනාතාපී සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයෙහි අනාතාපී යනු කෙලෙසුන් තවන අර්ථයෙන් ආතාප නම් වේ. වීර්යය යි. එය මොහුට ඇත්තේය යන අරුතින් ආතාපී නම් වේ. ආතාපී නොවන්නේ අනාතාපී නම් වේ. සම්‍යක් ප්‍රධානයෙන් තොරවූ කුසීත පුද්ගලයායි කියන ලද්දේ වෙයි. පාපයට තැතිගැනීම ඔත්තාපයයි කියනු ලැබේ. එය ඔහුට ඇත්තේය යන අරුතින් ඔත්තාපී නම් වේ. ඔත්තාපී නො වන්නේ අනොත්තාපීය. ඔත්තාපය (පාපයට තැතිගැනීම) නැති තැනැත්තා නොහොත් වීර්යයට විරුද්ධ වූයේ අනාතාප නමි. කුසීත බවයි. එය මොහුට ඇත්තේය යන අරුතින් අනොත්තාපී නම් වේ. ‘යං න ඔත්තප්පති ඔත්තප්පිතබ්බෙන න ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා’ ‘යමකින් බියවිය යුත්තට බිය නොවේද ලාමක අකුසල ධර්මවලට පැමිණීමට (පත්වීමට) බිය නොවේද?’මෙසේ කියන ලද ඒ පාපයට බිය නොවීම අනොත්තාපයයි. එය මොහුට ඇත්තේය යන අරුතින් අනොත්තාපී යනුවෙන් මෙසේ මෙහි අර්ථය දතයුතුය.
අභබ්බො යනු නුසුදුසු. සම්බොධාය යනු ආර්ය මාර්ගය පිණිස. නිබ්බාණාය යනු කෙලෙසුන් අතිශයින් සන්සිඳීම පිණිස අමෘතමහා නිර්වාණය පිණිස. අනුත්තරස්ස යොගක්‍ඛෙමස්ස යනු අර්හත් ඵලය පිණිස, එයට වැඩියෙන් උසස් දෙයක් නැති බැවින් අනුත්තර වූ, සතර යෝගයගෙන් නූපන් බැවින් ක්‍ෂේමය නිර්භයය යන අරුතින් යොගක්‍ඛෙමයයි කියනු ලැබේ. අධිගමාය යනු පැමිණීම පිණිස. ආතාපී යනු වීර්යය ඇති පුද්ගලයා, හෙතෙම ‘අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස කුශල ධර්මයන්ගේ වැඩීම පිණිස අරඹන ලද වීර්ය ඇත්තේ බලවත් වූයේ දැඩි වූ උත්සාහය ඇත්තේ කුශල ධර්මයන්හි ඉවත් නොකළ වීර්ය ඇත්තේ වාසය කරයි’ යනුවෙන් මෙසේ කියන ලද වීර්ය ආරම්භයෙන් යුක්ත වූයේ කෙලෙසුන් අතිශයින්ම තවන ස්වභාවය ඇත්තේ යන අරුතින් ආතාපී නම් වේ. ඔත්තාපී යනු යං ඔත්තප්පති, ඔත්තප්පි තබ්බෙන ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා ‘යමකින් බියවිය යුත්තට බියවේද, ලාමක වූ අකුශල ධර්මයන්ගේ පැමිණීමට (පත්වීමට) බියවේද’ යනුවෙන් මෙසේ කියන ලද ඔත්තප්පයෙන් (පාපයට බියවීමෙන්) යුක්ත වූ බැවින් ඔත්තප්පන සීලය (පාපයට බියවන ස්වභාවය) ඔත්තාපී නම් වේ. මෙය ඔත්තාපී යයි කියන ලදී. එයින් තොර නොවූ බැවින් පාපයට ඇති ලජ්ජාවෙන් ද යුක්ත වූයේ ම වෙයි යන අරුතින් හිරිඔතප් දෙකින් යුක්ත වූයේ අනුමාත්‍ර වූ ද වරදෙහි බියදක්නා සුලු වූයේ සීලය සම්පූර්ණ කරන්නෙක් වෙයි. මෙසේ මොහුගේ සීල සම්පදාව දක්වන ලද්දේ වෙයි. ‘ආතාපී’ යනු මේ ක්‍රමයෙන් මොහුගේ කෙලෙස් තවන ලද බව දැක්වීමෙන් සමථ විදර්ශනා භාවනාවෙහි යෙදුණු බව දක්වන ලදී. කියන ලද ආකාර ඇති වීර්යයද ශ්‍රද්ධා-සති-සමාධි-ප්‍රඥාවගෙන් තොර නොවෙයි යනුවෙන් විමුක්තිය මුහුකුරුවන (මෝරවන) ශ්‍රද්ධාව පස්වනුකොට ඇති ඉන්ද්‍රිය අර්ථ වශයෙන් කියන ලද්දේම වෙයි. ඒ ඉන්‍ද්‍රිය ධර්ම සිද්ධ වූ කල්හි අනිත්‍ය සංඥාවත් අනිත්‍යයෙහි දුක්ඛ සංඥාවත්, දුකෙහි අනත්ත සඤ්ඤාව, පහාන සඤ්ඤාව, විරාග සඤ්ඤාව, නිරෝධ සඤ්ඤාව යන නිබ්බේධභාගිය (ආර්ය මාර්ගයට අදාළ) සඤ්ඤා හය සිද්ධ වූයේම වෙයි යනුවෙන් මෙසේ මේ ධර්ම දෙකින් යුක්ත තැනැත්තාගේ ලෞකික සීල-සමාධි-ප්‍රඥාවන්ගේ සිදුවීමෙන් මාර්ග-ඵල නිවනට පැමිණීම පිණිස සුදුසු බව දක්වමින් ‘ආතාපී ඛො භික්‍ඛවෙ -පෙ අධිගමාය’ යනුවෙන් වදාළහ.