3. තපනීය සූත්ර වර්ණනාව
තෙවන සූත්රයෙහි තපනීයා යනු මෙලොවත් පරලොවත් තවත් පෙළත්, වෙහෙසත් යන අරුතින් තපනීය (තැවීමට හේතුවන) ධර්මයෝ වෙත්. මෙලොව ද පරලොව ද තැවීම දුකය. එය පහල වීමෙන් ද අනුබල දීමෙන් ද හිත වූයේනුයි තපනීය නම් වේ. නොහොත් එය කරණකොට තැවෙත් යන අරුතින් තපනීය නම් වේ. පසුතැවිල්ල විපිළිසරවීම යන අර්ථයි. එයට හේතුවීම් වශයෙන් හිතවත් යන අරුතින් තපනීයා නම් වේ. අකත කල්යාණො යනු මොහු විසින් නො කළ කල්යාණ (යහපත), භද්රක (යහපත), පින ඇත්තේය යන අරුතින් අකත කල්යාණ නම් වේ. ඉතිරිපද දෙක එයටම සමාන වචනය. පින පැවැත්ම යහපත් බව පිණිස ද මතු සැප ඇති බව පිණිස ද යහපත් අර්ථයෙන් කල්යාණ යයි ද සාසව ධර්මයන් සෙලවීම් අරුතින් කුසල යයි ද දුකට බියවූවන් සසරට බිය වූවන් රකින අරුතින් භීරුත්තාණා යයි ද කියනු ලැබේ. කතපාපො යනු මොහු විසින් කරන ලද, රැස්කරන ලද පාපය ඇත්තේය යන අරුතින් කතපාපො නම් වේ. ඉතිරි පද දෙක එයටම සමාන වචනය. අකුශල කර්මය ලාමක අර්ථයෙන් පාප යයි ද තමාගේ (ඒ පාපයේ) පවතින ක්ෂණයෙහි ද විපාක ක්ෂණයෙහි ද ඝෝර (දරුණු) ස්වභාවයෙන් යුක්ත බැවින් ද ලුද්දං යයි ද කෙලෙස් කරණකොට ඇතිවන දුශ්ශීල ස්වභාවයෙන් කිබ්බිසං යයි ද කියනු ලැබේ. මෙසේ භාග්යවතුන් වහන්සේ ‘ද්වෙ ධම්මා තපනීයා’ පසුතැවිල්ලට හේතුවන ධර්ම (කරුණු) දෙකක් යනුවෙන් ධර්මාධිෂ්ඨාන (ධර්මය මුල්කිරීම්) වශයෙන් උදෙසා (මාතෘකාව තබා) ‘අකතං කුසලං ධම්මං කතඤ්ච අකුසලං ධම්මං’ නොකළ කුශල ධර්මය ද කළ අකුසල ධර්මය ද යනුවෙන් පුද්ගල අධිෂ්ඨාන (පුද්ගලයා මුල්කිරීම්) වශයෙන් නිර්දේශ (විස්තර) කළහ. දැන් ඒ ධර්මයන්ගේ පසුතැවිල්ලට හේතුවන බව දක්වමින් සො අකතං මෙ කල්යාණන්ති තප්පති කතං මෙ පාපන්ති තප්පති යනුවෙන් වදාළහ. සිත තැවීමෙන් තමයි, පසුතැවෙයි, ශෝක කරයි යන අර්ථයි.
ගාථාවල - දුෂ්ට චරිතය හෝ කෙලෙස්වලින් කුණු වූ බැවින් හෝ දුෂ්ට චරිතය - දුච්චරිතං, කයින් කරන දුසිරිත හෝ කායික වශයෙන් පැවති දුසිරිත හෝ කාය දුශ්චරිතය යි. මෙසේ වචී, මනෝ දුශ්චරිතද දතයුතුය. මේ කාය දුශ්චරිතාදිය කර්මපථ බවට පැමිණි ඒවා ලෙස අදහස් කරනු ලැබේ. කර්මපථ බවට නොපැමිණි අකුසලයක් වූ දේ සඳහා යඤ්චඤ්ඤං දොස්සඤ්ඤිතං යනුවෙන් වදාළහ. එහි අර්ථය කර්මපථ බවට නොපැමිණි නිෂ්පරියාය (වෙනත් ක්රමයක් නැති) වශයෙන් කාය කර්මාදී සංඛ්යාවට නො යන රාගාදී කෙලෙස් සමග ඇලුණු දොස් සහිත අකුසලයක් ඇත්නම් එයද සිදුකොට යන අර්ථයි. නිරයං යනු ආශ්වාද නැති අරුතින් නිරය යනුවෙන් ලබන ලද නම් ඇති සියලුම දුගති. එබඳු වූ ඒ පුද්ගලයා අය සංඛ්යාත සැප ප්රතික්ෂේපයෙන් සැමතන්හි සුගති දුර්ගතිවල නිරය දුකට එළඹෙයි යනුවෙන් මෙසේ මෙහි අර්ථය දතයුතුය.
කාය දුශ්චරිතය පිළිබඳ මේ පසුතැවීම් භාවයෙහි නන්ද යක්ෂයා නන්ද මාණවකයා නද ගව ඝාතකයා දෙසොහොයුරන් යන මොවුන්ගේ කතා පුවත් කිවයුතුය. ඒ දෙසොහොයුරෝ එළදෙනක මරා මස් දෙකොටසක් කළහ. ඉන්පසු මල්ලී මට දරුවන් බොහෝ ඇත. මට මේ බඩවැල් දෙක දෙන්නැයි අයියාට කීය. එවිට අයියා සියලු මස් දෙකට බෙදන ලදී. නැවත කුමක් ඉල්ලන්නෙහිදැයි කියා මල්ලීට පහරදී මරණයට පත්කළේය. ආපසු හැරී බලන අයියා ඔහු මළබව දැක මවිසින් බරපතල දෙයක් කරන ලදී. ඒ මම නිකරුණේ ම ඔහු මැරුවෙමියි සිතක් ඉපදවීය. ඉක්බිති ඔහුට බලවත් පසුතැවිල්ලක් ඇතිවිය. ඔහු සිටගෙන සිටින තැනදී ද හිඳගෙන සිටින තැනදී ද ඒ කර්මය ම සිහිකරයි. සිතට සැනසුමක් නොලබයි. අනුභව කරන ලද පානය කරන ලද කන ලද දේවල ඔජාව සිරුරෙහි නොපැතිරෙයි. ඇට සම් පමණක් ම විය.
ඉක්බිති එක් තෙරුන්වහන්සේ නමක් ‘උපාසක, ඔබ ඉතාම කෙට්ටුය. ඇටසම් පමණක් ඇත. ඔබේ රෝගය කෙබඳු ද? නැතිනම් කිසියම් පසුතැවිලි වන කර්මයක් කරන ලදදැ’යි ඔහුගෙන් විමසීය. හෙතෙම එසේය, ස්වාමීනියි කියා සියල්ල දැන්වීය. ඉක්බිති උන්වහන්සේ ‘උපාසක ඔබ විසින් බැරෑරුම් කර්මයක් කරන ලදී. අපරාධයක් නොවන තැනක අපරාධයක් කරන ලදැ’යි ඔහුට කීහ. හෙතෙම ඒ කර්මයෙන් ම කලුරියකොට නිරයෙහි උපන්නේය. වචී දුශ්චරිතයට සුප්රබුද්ධ ශාක්ය, කෝකාලික, චිංචිමානවිකාදීන්ගේ කතා පුවත් කිවයුතුය. මනෝ දුශ්චරිතයට උක්කල ජයභඤ්ඤාදීන්ගේ කතා පුවත් කිවයුතුය.
තෙවන සූත්ර වර්ණනාවයි.
4. අතපනීය සූත්ර වර්ණනාව
සතරවන සූත්රයෙහි - තෙවන සූත්රයට කියන ලද ආකාරයට විරුද්ධ ආකාරයෙන් අර්ථ දතයුතුය.
සතරවන සූත්ර වර්ණනාවයි.
5. පාපක සීල සූත්ර වර්ණනාව
පස්වන සූත්රයෙහි පාපකෙන සීලෙන යනු ලාමක වූ සීලය, සීලය බිඳීම සිදුකරන අසංවරයයි කියති. එහි ඉදින් දුශ්ශීල භාවයෙන් ඒ අසීලයම අසංවරය වේ. කෙසේ සීලයයි කියනු ලැබේ ද? එහිලා මේ අදහස වන්නේය. ලෝකයෙහි නොදක්නා ලද්ද දක්නා ලදැයි කියනු ලැබේද සිල් නැති තැනැත්තා සිල්වතෙකැයි කියනු ලැබේ ද එසේම මෙහි අසීලයත් අසංවරයත් සීලයයි ව්යවහාර කරනු ලැබේ. නැතහොත් ‘කතමෙ ච ගහපති අකුසලා සීලා අකුසලං කායකම්මං අකුසලං වචීකම්මං පාපකො ආජීවො’ ‘ගෘහපතිය, අකුසල සීල යනු කවරක් ද? අකුසල වූ කාය කර්මය, අකුසල වූ වචීකර්මය ලාමක වූ දිවිපැවැත්මයි’ යන වචනයෙන් අකුසල ධර්මයන් කෙරෙහි ද සීල ව්යවහාරය ඇත්තේමය. එහෙයින් පුරුද්දක් වශයෙන් ස්වභාවයෙන් සිදු වූ දෙයක් මෙන් ප්රකෘතිය වූ සියලු හැසිරීම් සීලය යි කියනු ලැබේ.
එහි යමක් අදක්ෂභාවයෙන් උපන් අරථයෙන් අකුසල වේද ලාමක වේද ඒ සඳහා ‘පාපකෙන සීලෙන’ යයි කීහ. පාපකාය දිට්ඨියා යනු සියලු මිථ්යාදෘෂ්ටි ලාමකම ය. විශේෂ වශයෙන් අහේතුක දෘෂ්ටිය, අකිරිය දෘෂ්ටිය, නාස්තික දෘෂ්ටිය යන මේ දෘෂ්ටි තුන වඩාත් ලාමකය. එහි ලාමක වූ සීලයෙන් යුක්ත වූ පුද්ගලයා ප්රයෝග විපතට පත්වූයේ වෙයි. ලාමක වූ දෘෂ්ටියෙන් යුක්ත වූ පුද්ගලයා ආසය විපතට පත්වූයේ වෙයි. මෙසේ ප්රයෝග හා ආසය විපතට පත් වූ පුද්ගලයා නිරයට එළඹෙන්නෙක් වේමය. එහෙයින් ‘ඉමෙහි ඛො භික්ඛවෙ ද්වීහි ධම්මෙහි සමන්නාගතො පුග්ගලො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ’ ‘මහණෙනි, මේ ධර්ම දෙකින් යුක්ත වූ පුද්ගලයා ගෙන එන ලද දෙයක් බිම තබන්නාක් මෙන් නිරයෙහි උපදී’ මෙහි ‘ද්වීහි ධම්මෙහි සමන්නාගතො’ යන මේ ලක්ෂණ වචනය දතයුතුය යනු නිර්දේශයයි (මාතෘකාවයි) එය ‘ඉදින් මොව්හු ආබාධිතයෝ වෙත්නම් මොවුන්ට මේ බෙහෙත දිය යුතුය’යි ලෝකයෙහි යම් නිර්දේශයක් (නියම කිරිමක්) ඇද්ද එමෙනි. මෙබඳු අනිත් තැන්වලද මේ ක්රමයමයි. දුප්පඤ්ඤො යනු ප්රඥාව නැති තැනැත්තා.