1. පඨමභික්ඛු සූත්‍ර වර්ණනාව
දුක නිපාතයෙහි ද්වීහි යනු ගණන වෙන්කිරිමයි. ධම්මෙහි යනු වෙන්කළ ධර්ම දැක්වීමයි. ද්වීහි ධම්මෙහි යනු අකුශල ධර්ම දෙකින්. සමන්නාගතො යනු යුක්ත වූයේ. දිට්ඨෙව ධම්මෙ යන මේ ආත්මභාවයෙහිම. දුක්‍ඛං විහරති යනු සතර ඉරියව්වෙහිදී කෙලෙස් දුකෙන් ද කායික චෛතසික දුකෙන් ද දුකසේ වාසය කරයි. සවිඝාතං යනු සිතේ අසහනයෙන් ද කයේ අසහනයෙන් ද අසහන සහිත වූ. සඋපායාසං යනු බලවත් වූ කෙලෙස් වෙහෙසින් ද සිරුර ගැන කලකිරීමෙන් ද බලවත් වෙහෙස වශයෙන් උපායාස සහිත වූ. සපරිළාහං යනු කෙලෙස්වලින් තැවීමෙන් ද කෙලෙස්වලින් දැවීමෙන් ද දාහය සහිත වූ. කායස්ස භෙදා යනු උපාදින්න ස්කන්ධ පරිත්‍යාගයෙන් පරම්මරණා යනු එයට අනතුරුව මතු උපන් ස්කන්ධයන් ගැනීමෙහි. නැතහොත් ‘කායස්ස භෙදා’ යනු ජීවිත ඉන්‍ද්‍රිය නැසීයාමෙන්. ‘පරම්මරණා’ යනු චුතියෙන් මතු. දුග්ගති පාටිකංඛා යනු දුගති නම් වූ සතර අපායන් අතුරෙන් එක්තරා ගතියක් (උපදින තැනක්) කැමති විය යුතුය. ඒකාන්තයෙන් සිදුවන දෙයක් යන අර්ථයි.
අගුත්තද්වාරො යනු නොවසන ලද (නොරක්නා ලද) දොරටු ඇත්තේ. නොවසන ලද දොරටු ඇත්තේ කොතැන්හිද? ඉන්‍ද්‍රියෙසු ඉන්‍ද්‍රියයන්හි යයි කීහ. එයින් මනස සයවැනි කොට ඇති ඉඳුරන්ගේ අසංවරය කීහ. පිළිගැනීම් පරිභෝග කිරීම් වශයෙන් භෝජනයෙහි ප්‍රමාණය නොදනියි යන අරුතින් භොජනෙ අමත්තඤ්ඤූ නම් වේ. ‘ඉන්‍ද්‍රියෙසු අගුත්තද්වාරතාය භොජනෙ අමත්තඤ්ඤුතාය’ යනුවෙන් ද කියති.
ඉඳුරන්හි නොරක්නා ලද දොර ඇති බව කෙසේ ද? රක්නා ලද දොර ඇති බව කෙසේද? චක්ඛුන්‍ද්‍රියයෙහි සංවරයක් හෝ අසංවරයක් හෝ නැත. චක්ඛුප්පසාදය නිසා සිහිය හෝ මුළා වූ සිහිය හෝ නූපදී. නමුත් රූප අරමුණක් ඇස හමුවට ආ විට භවංගය දෙවරක් ඉපිද නැතිවී ගිය කල්හි කිරිය මනෝධාතුව ආවර්ජන කෘත්‍යය සිදුකරමින් ඉපිද නැතිවෙයි. ඉන්පසු චක්ඛු විඤ්ඤාණය දර්ශන කෘත්‍යය ද ඉන්පසු විපාක මනෝධාතුව සම්පටිච්ඡන කෘත්‍යය ද ඉන්පසු විපාක අහේතුක මනෝවිඤ්ඤාණ ධාතුව සන්තීරණ කෘත්‍යය ද ඉන්පසු කිරිය අහේතුක මනෝවිඤ්ඤාණ ධාතුව වොත්ථපන කෘත්‍යය ද සිදුකරමින් ඉපිද නැතිවෙයි. එයට අනතුරුව ජවන් සිත දුවයි. ඒ භවංග කාලයෙහි හෝ ආවර්ජනාදීන් අතුරෙන් එකක් ඇතිවන කාලයෙහි හෝ සංවරයක් හෝ අසංවරයක් නොවේ. ජවනය ඇතිවන මොහොතෙහි ඉදින් දුසිල්බවක් හෝ සිහිමුළාවීමක් හෝ නොදැනීමක් හෝ නො ඉවසීමක් හෝ කුසීත බවක් හෝ උපදියි නම් අසංවර වෙයි. මෙසේ වන්නා වූ එය චක්ඛුද්වාරයෙහි අසංවරය යි කියනු ලැබේ.
කුමක් නිසාද? එසේ ඇති කල්හි ද්වාරය ද භවංගය ද ආවර්ජනාදී වීථි සිත් ද නොරක්නා ලද්දේ වෙයි. කෙසේ ද? නුවර සිවු දොරටු නොවැසූ කල්හි නිවෙස්වල දොරවල්, කොටු, ගර්භ ආදිය වසන ලද්දේ වුවද ඇතුල්නුවර සියලු භාණ්ඩ නො රක්නා ලද්දේ ම වෙයි. නුවර දොරටුවලින් සොරු ඇතුල් වී කැමති දෙයක් රැගෙන යති. එසේ ම ජවනයෙහි දුසිල් බව ආදිය උපන්කල්හි එය අසංවර වූ කල්හි (චක්ඛු ආදී) ද්වාරය ද භවංගය ද ආවර්ජනය ද වීථි සිත් ද නොරක්නා ලද්දේ වෙයි. එය නැතිකල්හි ජවනයෙහි ශීලාදිය උපන් කල්හි ද්වාරය ද භවංගය ද ආවර්ජනාදී වීථි සිත් ද රක්නා ලද්දේ වෙයි. කෙසේද? නුවර දොරවල් වැසූ කල්හි ඇතුල්නුවර යමක් නොවැසුවද ඇතුල්නුවර සියලු භාණ්ඩ සුරක්‍ෂිතම වෙයි. නුවර දොරවල් වැසූ කල්හි සොරුන්ගේ පිවිසීමක් නැත. එසේම ජවනයෙහි ශීලාදිය උපන්කල්හි ද්වාරය ද භවංගය ද ආවර්ජනාදී වීථිසිත් ද රක්නා ලද්දේ වෙයි. එහෙයින් ජවන් උපදින මොහොතෙහි උපදින සිල්වත් බව ආදිය චක්ඛු ද්වාරයෙහි සංවරයයි කියනු ලැබේ. අනිත් ද්වාරයන්හි ද මේ ක්‍රමයමයි. මෙසේ ඉන්‍ද්‍රියයන්හි නොරක්නා ලද දොරටු ඇති බව ද රක්නා ලද දොරටු ඇති බව ද දතයුතුය.
භෝජනයෙහි පමණ නොදැනීම කෙසේද? පමණ දැනීම කෙසේද? යම් පුද්ගලයෙක් බොහෝ ආසා ඇත්තෙක් (මහිච්ඡ) වී පිළිගැනීමෙහි පමණ නො දනියි. යම්සේ කච්ඡපුට වෙළෙන්දා ආභරණ පොදිය අතින් ගෙන උකුලෙහි දමාගත යුතු දෙයක් එහි ද දමාගෙන මහජනයා දකිද්දීම අසවල් දේ ගන්න, අසවල් දේ ගන්නැයි මුඛයෙන් ඝෝෂා කරයි ද එසේම මහිච්ඡ පුද්ගලයා අල්පමාත්‍ර වූ ද තමාගේ සීලයක් හෝ (උගත්) ග්‍රන්ථයක් හෝ ධුතංගයක් හෝ යටත් පිරිසෙයින් වනයෙහි වාසය කිරීම් මාත්‍රයකුදු දන්නා වූම මහජනයාට වර්ණනා කරයි. එසේ වර්ණනා කොට ගැල් (කරත්ත) වලින් ගෙනවුත් පිළිගන්වන ලද ප්‍රත්‍යයන් ඇති නොකියා පිළිගනියි. තුනක් පුරවන්නට නො හැකිය, ගින්න දර (ඉන්ධන) වලින් ද සමුද්‍රය ජලයෙන් ද මහිච්ඡ පුද්ගලයා (ආහාරපානාදී) ප්‍රත්‍යයෙන් ද පිරවිය නොහැක.
අග්ගික්‍ඛන්‍ධො සමුද්දො ච මහිච්ඡො චාපි පුග්ගලො
බහුකෙ පච්චයෙ දින්නෙ තයො පෙතෙ න පූරයෙ
ගිනිකඳ ද සමුදුර ද මහිච්ඡ පුද්ගලයා ද යන මේ තිදෙනා බොහෝ ප්‍රත්‍යයන් දුන්කල්හි ද නො පිරේ.
මහිච්ඡ පුද්ගලයා වැදූ මවගේ ද සිත ගැනීමට නොහැකි වෙයි. මෙබඳු තැනැත්තා නූපන් ලාභය නො උපදවයි. උපන් ලාභයෙන් ද පිරිහෙයි. මෙසේ පිළිගැනීමෙහි පමණ නො දන්නේ වෙයි. යමෙක් දැහැමින් සෙමෙන් (සාමයෙන්) ලැබුවා වූද ආහාරය ගිජු වූයේ, මුසපත් වූයේ ආසාවට බැසගත්තේ, දොස් නො දක්නේ ඡන්‍දරාගයෙන් යුක්ත වූයේ (අනිස්සරණ පඤ්ඤො) ආහාරහත්‍ථක, අලංසාටක, තත්‍රවට්ටක, කාකමාසක, භුත්තවමිතක යන බමුණන් අතරින් එකක- මෙන් අනුවණින්, වැරදි අයුරින් බඩතදවන කල් ඇතිතාක් ඇතිතාක් අනුභවකොට ඇඳ පුටුවල හිඳීමෙන් හා ඍතුවලින් ලැබෙන සැපය ද (සෙය්‍යසුඛං), නිදීමේදී වම් පැත්තට දකුණු පැත්තට හැරීමෙන් ලැබෙන සැපය ද (පස්සසුඛං), නිදි සුවයද (මිද්ධසුඛං) අනුව යෙදී වාසය කරයි. මේ පරිභෝගයෙහි පමණ නොදැනීමයි.
යමෙක් ඉදින් දියයුතු දේ බොහෝ ඇතත් දායකයා ටිකක් දෙනු කැමතිනම් දායකයාගේ අදහස් වශයෙන් ටිකක් ගනියි. දියයුතු දේ ටිකක් ඇතත් දායකයා බොහෝ දෙනු කැමැත්තේ නම් දියයුතු දේ ගැන සැලකීම් වශයෙන් ටිකක් ගනියි. දිය යුතු දේ බොහෝ ඇත. දායකයා ද බොහෝ දෙනු කැමැත්තේ නම් තමන්ගේ ශක්තිය දැන ප්‍රමාණයෙන් යුක්තවම ගනියි යනුවෙන් ද මෙසේ කියන ලද පිළිගැනීමේ පමණ දැනීම් වශයෙන් ද ‘පටිසංඛායොනිසො ආහාරං ආහාරෙති නෙවදවාය න මදාය’ ප්‍රත්‍යවේක්‍ෂා කොට නුවණින් ආහාර අනුභව කරයි. සෙල්ලම් පිණිස නොවේ. මද වැඩීම පිණිස නොවේ’ ආදී වශයෙන් ලැබුවා වූද පිණ්ඩපාතය ගිජු නොවූයේ මුසපත් නොවූයේ, ආසාවට බැස නොගන්නේ දොස් දක්නේ ඡන්‍දරාගයෙන් තොරවූයේ (නිස්සරණ පඤ්ඤො) අනුභව කරයි යනාදී වශයෙන් කියන ලද අයුරින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ප්‍රත්‍යවේක්‍ෂා (ඥානයෙන් දැන ආහාර අනුභව කිරීම් සංඛ්‍යාත පරිභෝගයෙහි පමණ දැනගැනීම් වශයෙන් ද භෝජනයෙහි පමණ දන්නා බව යන මෙය භෝජනයෙහි පමණ දැනීම නම් වේ. මෙසේ භෝජනයෙහි පමණ නොදන්නා බව ද පමණ දන්නා බව ද වේයයි දතයුතුය.