8. මහදන වෙළඳාගේ වස්තුව
වාණිජොව යනාදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේදී මහත්ධන වෙළඳා අරභයා දේශනා කරනලදි.
පන්සීයක් සොරු වෙළෙන්දාගේ ගෙදර බිඳීමට අවකාශයක් බලමන් සිටියත් එබඳු අවකාශ වේලාවක් නොලැබූහ. පසු කලක වෙළෙන්දා ගැල් පන්සීයක බඩු පුරවා භික්‍ෂූන්වහන්සේලාට, ස්වාමීනි මම වෙළඳාමට අසවල් තැනට යමි. ඔබවහන්සේලාත් යනු කැමති නම් පිටත්වෙනු මැනවි. අතරමගදී භික්‍ෂාවෙන් අපහසුවක් නැතැයි කීවේය. ඒ ඇසූ භික්‍ෂූන් පන්සීයක් ඔහු සමග යෑමට පිටත්වූහ. අර සොරුත් ඔහු වෙළඳාම සඳහා පිටත්වූබව අසා එහි ගොස් කැලෑවටවී සිටියහ. වෙළෙන්දාත් ගොස් කැලෑමුවදොර එක් ගමක නවාතැන් ගෙන දෙතුන්දිනක් ගොනුන් හා ගැල්ආදිය සකස්කර ගත්තේය. ඔහු ඒ භික්‍ෂූන්ට නිබඳව භික්‍ෂා දුන්නේය. සොරු එහි කල් ගතවී යන හෙයින් යව, ඔහු ගමෙන් පිටත් වෙන දවස දැනගෙන එවයි එහි යැවූහ. හෙතෙම ඒ ගමට ගොස් එක් එක් සහායකයෙකු අමතා, වෙළෙන්දා පිටත්ව යන්නේ කවදාදැයි ඇසීය. හෙතෙම දෙතුන්දිනකින්යයි කියා, කුමක් සඳහා එසේ අසන්නේදැයි ඇසීය. ඉන්පසු ඔහු, අපි පන්සීයක් සොරු මේ කරුණ නිසා කැලෑවේ සිටින්නෙමුයයි කීවේය. අනිකා එසේ නම් යව, ඉක්මනින් පිටත් වන්නෙමුයයි ඔහු යවා කිම සොරුන් වළක්වන්නෙම්ද, නැතහොත් වෙළෙන්දාදැයි සිතා සොරුන්ගෙන් මට වැඩක් නැත. වෙළෙන්දා නිසා පන්සීයක් භික්‍ෂූහු ජිවත් වෙති. වෙළෙන්දාට සංඥාවක් දෙන්නෙමියි හෙතෙම එහි ගොස් පිටත්වන්නේ කවදාදැයි අසා තුන්වෙනි දිනයේයයි කීකල්හි, මගේ වචනය අසව, කැලෑවෙහි තොප එනතුරු පන්සීයක් සොරු බලාගෙන සිටිති. දැන්මම නොයවයි කීය.
ඔබ එය දැනගත්තේ කෙසේද? ඔවුන් අතර මගේ යහළුවෙක් ඇත. ඔහුගේ කථාවෙන් මම එය දැන ගතිමි. එසේනම් මෙහෙන් යාමෙන් වැඩක් නැතැයිද, නැවතී ගෙදරම යන්නෙමියි කීවේය. ඔවුන් කල් යවන හෙයින් නැවත ඒ සොරුන් විසින් යවන ලද පුරුෂයා එහි ගොස් ඒ යහළුවාගෙන් අසා එපුවත දැන නැවත ගෙදරම යනබව දැන ගොස් සොරුනට දන්වා සිටියේය. ඒ ඇසූ සොරු එතැනින්ම නික්මී ගොස් වෙනත් මාර්ගයක සිටියාහුය. එහිද කල්යවන හෙයින් නැවතත් සහායකයා සොයා ගියහ. හෙතෙම ඔවුන් එහි සිටිබව දැන වෙළෙන්දාට නැවත දන්වා සිටියේය. වෙළෙන්දා මෙතැනත් මට අඩුවක් නැත. එනිසා මෙතැනිනුත් නොයමියි, මෙතැන් පටන් මෙහිම වසමියි සිතා භික්‍ෂූන් ළඟට ගොස්, ස්වාමීනි, සොරු මා කොල්ලකන අටියෙන් මාර්ගයෙහි රැක සිට, නැවත මා නවතින බව දැන මේ මාර්ගයෙහිත් රැක සිටිති. මම එහෙ මෙහෙ නොයා ටික කලක් මෙහිම වසමි. ඔබ වහන්සේලාත් මෙහිම වසනු කැමැත්තාහු නම් එසේ කරනු මැනවි. රුචියක් නොවන අය වඩිනු මැනවැයි දන්වා සිටියේය.
භික්‍ෂූහු මෙසේ ඇති කල අප නොනවතින්නෙමුයයි වෙළෙන්දාට දන්වා දෙවෙනි දවසේම සැවතට ගොස් බුදුන් වැඳ සිටියාහුය. බුදුරජාණන්වහන්සේ කිම මහණෙනි මහාධන වෙළඳා සමග නොගියාහුදැයි ඇසූහ. ස්වාමීනි, එසේය, මහධන වෙළඳා කොල්ලකෑම පිණිස පාරවල් දෙකකම සොරු රැක සිටිත්. එහෙයින් ඔහු එහිම නැවතුණේය. ඒ නිසා අපි ආවෙමුයයි කීහ. මහණෙනි, මහත්ධන වෙළඳා සොරුන් ඇතිනිසා මාර්ගය අත්හැරියේය. ජීවත්වනු කැමති මිනිසා හලාහල විෂය හැරදමයි. භික්ෂූන් විසන්ද ත්‍රිවිධ භවයන් සොරුන් රැකගෙන සිටින මගක් මෙන් සලකා පාපය හැර දැමීම කළ යුතුයය වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද ප්‍රකාශ කළහ:
සොරු ඇති මග ඉවත ලන
රැකවරණය නැති වෙළඳෙකු මෙන්
දිවිය නිසා විෂ හරිනු සේ
සියලු පව්කම් හැරදමනු යෙහෙකි
එහ භයං යනු බියවියයුතු, සොරුන් රැකසිටින නිසා පැමිණිය හැකි බියක් යන අර්ථයි. මෙයම මෙසේත් කියා ඇත. මහධන වෙළඳා රැකවරණයක් නැති නිසා භය සහිත මග හැරදැමුවාක් මෙන්, දිවි රැකගැනීමේ අදහසින් හලාහල විෂය හැර දමන්නාක්මෙන් නුවණැති භික්‍ෂුව ස්වල්පමාත්‍රවූ පාපයත් හැරදැමිය යුත්තේය.
දේශනා කෙළවර ඒ භික්‍ෂූහු ප්‍රතිසම්භිදා සහිතව රහත්බවට පැමිණියාහුය. සපැමිණි මහාජනයාටද එම දේශනාව ප්‍රයෝජනවත්විය.
හත්වන මහදන වෙළඳාගේ වස්තුවයි.
9. කුක්කටමිත්ත වැද්දාගේ වස්තුව
පාණිම්හි චෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් වේළුවන විහාරයෙහි වැඩසිටින කාලයේ කුක්කුටමිත්ත නම් වැදිපුත්‍රයා නිමිතිකරගෙන දේශනා කරනලදි.
රජගහනුවර එක් සිටුදුවක් වැඩිවිය පැමිණ සත්මහල් පහයක ඉහළම පහයේ සිරියහන් ගැබක තබා එකම සේවිකාවක් දී මවුපියන් විසින් පෝෂණය කරනලදුව සිටියාය. දිනක් සවස් භාගයෙහි වාකවුළුවෙන් ඇතුළුවීථිය දෙස බලා සිටින ඈට තොණ්ඩු පන්සීයක්ද උල් පන්සීයක්ද රැගෙන මුවන් මරා ජීවත්වන එක් කුක්කුටමිත්ත නම් වැද්දෙක් පන්සීයක් මුවන් මරා ඔවුන්ගේ මස්වලින් ගැල්පුරවාගෙන ගැල් අසුනේ හිඳගෙන මස් විකිණීම සඳහා නගරට පිවිසෙනු දැක ඔහු හා පිළිබඳසිත් ඇතිකරගෙන තම සේවිකාවට කථා කොට, ඇගේ අතට ලිපියක් දී, යව, මොහු පිටත්වන වේලාව දැනගෙන එවයි යැවුවාය. ඈ ගොස් ඔහුට ලියුම දී පිටත්වන වේලාව ඇසුවාය. අද මස් විකුණා හෙට පාන්දරම අසවල් දොරටුවෙන් නික්ම යමියි කීවේය. ඈ ඔහුගේ කථාව අසා අවුත් සිටුදියණියට එය කීවාය. සිටුදුව තමන්ගේ ගතයුතු වස්ත්‍රාභරණ සියල්ල සූදානම් කරගෙන උදෑසනම කිලිටිවස්ත්‍ර හැඳපෙරවාගෙන කළයක්ද රැගෙන දාසියන් සමග නානතොටට යන්නාක් මෙන් පිටත්වී නියමිත තැනට ගොස් ඔහු එන මග බලමින් සිටියාය. ඔහුද ගැල පදවාගෙන ආවේය. ඈ ඔහුගේ පසුපසින් ගියාය. ඔහු ඈ දෙස බලා, මම තී කාගේ දුවක්දැයි නොහඳුනමි. මෑණියනි, මා පිටුපසින් නොඑවයි කීවේය. මම ඔබේ ඉල්ලීමක් අනුව නොඑන්නෙමි. මගේ කැමැත්තෙන් එන්නෙමි. ඔබ නිශ්ශබ්දව ඔබේ රිය පදවාගෙන යන්න. ඔහු නැවත නැවතත් වැළැක්වූයේමය. ඉන්පසු ඈ ඔහුට මෙසේ කීවාය. ශ්‍රියාව තමන් ළඟට එන විට වැළැක්වීම නොවටී. හෙතෙම ඈ නිසැකයෙන්ම එනබව දැන ඇය ගැලෙහි නංවාගෙන ගියේය. ඇගේ මවුපියෝත් ඈ ගැන එහෙමෙහෙ සොයා බලා ඈ නොදැක මැරෙන්නට ඇතියි සිතා මතකවත් ආදිය දුන්හ. ඈ ඔහු සමග සංවාසයට පැමිණ පිළිවෙලින් පුතුන් සදෙනෙකු ලබා ඔවුන් වියටපත් කල්හි ගෘහබන්‍ධනයෙන් බැන්දවීය.