5. පණ්ඩිත සාමණේරයන්වහන්සේගේ වස්තුව
උදකං හි නයන්ති නෙත්තිකා ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වැඩවාසයකරන සමයෙහි පණ්ඩිත සාමණේරයන් උදෙසා දේශනාකරන ලදි.
අතීතයෙහි කාශ්යප සම්මාසම්බුදුරජාණන්වහන්සේ විසිදහසක් භික්ෂූන් පිරිවරා බරණැසට වැඩිසේක. මිනිස්සු තමන්ගේ ශක්තිප්රමාණයෙන් අටදෙනා දහදෙනා ආදි වශයෙන් එකතුවී ආගන්තුක දානාදිය දුන්හ. දිනක් බුදුරජාණන්වහන්සේ බත්කිස අවසානයෙහි මෙසේ අනුමෝදනාවක් කළහ.
උපාසකවරුනි, මේ ලෝකයෙහි සමහරු, තමන්සතු දේම දියයුතුය. අනුන්ගෙන් වැඩක් නැතැයි අනුන් සම්මාදන් නොකරම දන්දෙති. ඔවුහු උපනුපන් තන්හි භෝග සම්පත් ලබත්. පිරිවර සම්පත නොලබත්. තව සමහරු අනුන්ගෙන් සම්මාදම් ගනිත්. තමන් වියදම් නොකරයි. එසේ දෙන තැනැත්තා උපනුපන් තන්හි පිරිවර සම්පත් ලබයි. භෝගසම්පත් නොලබයි. තවත් කෙනෙක් තමනුත් නොදෙත්. අනුනුත් සම්මාදන් නොකරත්. ඔහු උපනුපන් තන්හි භෝග සම්පතුත්, පරිවාර සම්පතුත් යන දෙකම නොලබත්. හෙතෙම සැමදා ඉඳුල්කෑමෙන් ජීවත්වෙයි. තව කෙනෙක් තමනුත් දෙත්. අනුනුත් හවුල් කර ගනිත්. හෙතෙම උපනුපන් තන්හි භෝග සම්පතත්, පිරිවර සම්පතත් යන දෙකම ලබයි.
ඒ අසා ළඟ සිටි එක් නුවණැති පුරුෂයෙක් මේ සම්පත් දෙකම ලැබෙන පිළිවෙලකට මම කටයුතු කරමියි සිතුවේය. හෙතෙම බුදුන් වැඳ ස්වාමීනි, හෙට මගෙන් ආහාර ගනුමැනවැයි ආරාධනා කෙළේය. ඔබට කොපමණ භික්ෂූන් අවශ්යද? ස්වාමීනි, ඔබවහන්සේගේ පිරිවර භික්ෂූන් කෙතෙක්ද? භික්ෂූන් විසිදහසකි. ස්වාමීනි, සියලුදෙනාවහන්සේම සමග හෙට මගෙන් භික්ෂාව ගනු මැනවයි කීය. ශාස්තෘන්වහන්සේ ආරාධනය භාරගත්හ. හෙතෙම ගමට ගොස් මෑණිවරුනි, පියවරුනි, මම හෙට දවස සඳහා බුදුන් ප්රමුඛ භික්ෂුසංඝයාට නිමන්ත්රණය කෙළෙමි. ඔබලාට යම්කිසි භික්ෂුපිරිසකට දියහැකි නම් ඒ පමණට දන් පිළියෙල කරන්නැයි දන්වා හැසිරෙන්නේ තමතමන්ගේ ශක්තිය ගැන සිතා අපි දහ නමකට අපි විසිනමකට, අපි සියක් නමකට, අපි පන්සීයක් නමකටයයි කීකල්හි සියල්ලන්ගේ වචන අනුව මුලපටන් කොළයක ලියා පැවරීය.
එකල්හි ඒ නගරයෙහි ඉතා දිළිඳු බැවින් මහදුගියායයි ප්රකට එක් පුරුෂයෙක් විය. හෙතෙම තමන් ළඟට ආ ඒ දුගියා දැක, යහළු මහදුගිය, මම හෙට දානය පිණිස බුදුන් ප්රමුඛ භික්ෂූසංඝයාට ආරාධනා කෙළෙමි. හෙට නගරවාසීහු දන් දෙති. ඔබ භික්ෂූන් කීනමකට දානය දෙන්නෙහිද? යහළුව, භික්ෂූන්ගෙන් මට වැඩක් නැත. භික්ෂූන්ගෙන් වැඩ ඇත්තේ ධනවතුන්ටය. මට හෙට කැඳ පිණිස සහල් නැළියක් පමණවත් නැත. මම බැළමෙහෙවරකොට ජීවත්වෙමි. ඉතින් මට භික්ෂූන්ගෙන් වැඩක් නැත. සම්මාදන් කරවන්නා ව්යක්ත වියයුතුය. එහෙයින් ඔහු දුගියා විසින් නැතැයි කීවේ නමුදු නිහඬව ආපසු නෑවිත් යහළු මහදුගිය, මේ නගරයෙහි හොඳ ආහාර වළඳවමින් සියුම් වස්ත්ර හැඳ නන්බරණින් යුක්ත, සිරියහන්වල නිදන බොහෝදෙනා සම්පත් වළඳති. ඔබ වනාහි දවස්කුලී කොට කුස පිරෙන තරමටවත් ආහාර නොලබන්නෙහිය. මෙසේ තිබියදීත්, මා පෙර කිසිපිනක් නොකළ හෙයින් දැන් කිසිවක් නොලබමියයි නොදන්නෙහි නොවේද? දනිමි ස්වාමීනි, එසේනම් දැන් යම්කිසි පිනක් නොකරන්නේ ඇයිද? ඔබ තරුණයි. බලසම්පන්නයි. ඇයි ඔබ බැළකොට හෝ ශක්ති පමණින් දානයක්දීම නුසුදුසුද?
මහදුගියා ඔහු එසේ කියද්දීම මහත් සංවේගයට පැමිණ, මටත් එක් භික්ෂුවකට කොළයක් ලියන්නැයි කුමක් හෝ කුලීවැඩක් කොට එක නමකට දානය දෙන්නෙමියි කීවේය. අනිත් තැනැත්තා එක නමකට ලියන්නේ ඇයිදැයි නොලීවේය. මහදුගියාත් ගෙටගොස් බිරිඳ අමතා, සොඳුර, නගරවාසීහු හෙට සංඝදාන දෙති. මමත් එකනමකට දෙන්නෙමියි සම්මාදන් කරවන්නාට කීවෙමි. අපිත් හෙට එක් නමකට දන් දෙමුදැයි කීවේය. බිරිඳද අපි දිළින්දෝයි. ඔබ පොරොන්දුවූයේ ඇයිදැයි නොකියා ස්වාමීනි, ඔබ කෙළේ යහපත් දෙයකි. අපි පෙරත් කිසිවක් නොදී දැන් දිළිඳුව සිටිමු. අපි දෙන්නාම කුලියක්කොට එක් නමකට දන්දෙමුයි දෙදෙනාම ගෙදරින් පිටත්ව බැළකරන තැනකට ගියාහුය.
මහසිටුවරයා, මහදුගියා දැක, මොකද යහලු මහදුගිය කුලීවැඩක් කරන්නෙහිදැයි ඇසීය. ආර්යයෙනි, එසේය. කුමක්ද කරන්නේ? ඔබ කියන වැඩක් කරන්නෙමි. එසේනම්, මම හෙට දෙතුන්සීයක් භික්ෂූන්ට දන් වළඳවන්නෙමි. එන්න, දරපලා දෙවයි වෑ පොරෝ ගෙනවුත් දෙවීය. මහදුගියාද තදකොට අමුඩය ගසා මහත් උත්සාහයෙන් වෑය හැර දමා පොරොව ගනිමින්, පොරොව තබා වෑය ගනිමින් දර පලයි.
ඉන්පසු සිටුවරයා යහළුව, අද ඔබ ඉතාමත් උත්සාහයෙන් වැඩ කරන්නෙහිය. ඒ කුමන කරුණක් නිසාද? ස්වාමීනි, මම අද එක් භික්ෂුවක් වළඳවන්නෙමියි කීය. ඒ අසා සිටුවරයා පැහැදුණු සිතින්, අනේ මොහු දුෂ්කර දෙයක් කරයි. මම දුප්පතෙක්මියි නිහඬ බවට නොපැමිණ බැළමෙහෙකොට එක් භික්සුවක් වළඳවන්නෙමියි කියයි යනුවෙන් සිතීය. සිටුබිරිඳත් ඔහුගේ භාර්යාව දැක මෑණියනි, කිනම් වැඩක් කරන්නෙහිදැයි අසා ඔබ භාරකරන ඕනෑම වැඩක් කරන්නෙමියි කීකල්හි, වංගෙඩි ශාලාවට රැගෙන ගොස් කුලු මෝල්ගස් ආදිය දෙව්වාය. ඈ නටන්නියක මෙන් තුටුපහටුව වී කොටයි. වී පෙළීමද කරයි.
ඉන්පසු සිටුබිරිඳ, මෑණියනි, ඔබ ඉතා සතුටින් වැඩ කරයි. කාරණය කුමක්දැයි ඇසුවාය. ආර්යාවනි, මේ බැළමෙහෙ කොට මාත් එක් භික්ෂුවක් වළඳවන්නෙමියි කීවාය. ඒ අසා සිටුබිරිඳත් අනේ මෑ දුෂ්කර දෙයක් කරන්නීයයි පැහැදුණාය. සිටුවරයා, මහදුගියා දර පැලූ කාලයෙහි, මේ ඔබේ බැළයයයි සහල්නැලි සතරක් දෙවා, මේ මා සතුටෙන් දෙන කොටසයයි තවත් සතරනැලියක් දෙවීය.