6. මසුරුකෝසිය සිටාණන්ගේ වස්තුව
යථාපි භමරො පුප්ඵං ආදි මේ ධර්මදේශනාව බුදුන් සැවැත්නුවර වාසය කරන කාලයේ මච්ඡරියකෝසියසිටුවරයා අරභයා දේශනා කරන ලදි. කථා වස්තුව රජගහනුවර උපන්නකි.
රජගහනුවර සමීපයෙහි සක්ඛර නම් නියම්ගමක් විය. එහි අසූකෙළක් පමණ ධනය ඇති මච්ඡරියකෝසිය නම් සිටුවරයෙක් විසීය. හෙතෙම තණකොළ අගකින් ගතහැකි තෙල්බිඳුවක් පමණ දෙයක්වත් කිසිවෙකුටත් නොදෙයි. තමනුත් පරිභෝජනය නොකරයි. මෙසේ ඔහුගේ ධනම්පතින් අඹුදරුවන්ට හෝ මහණ බමුණන්ට හෝ කිසි ප්‍රයෝජනයක් නොවීය. රකුසන් අරක්ගත් පොකුණක් මෙන් ප්‍රයෝජනයට නොගෙන තිබිණි.
දිනක් ශාස්තෘන්වහන්සේ මහාකරුණා සමාපත්තියෙන් නැගිට මුළුලොව තුළ දහම අවබෝධ කළහැකි නෑයන් ගැන සිත යොදා බලනවිට හතළිස්පස් යොදුනක් දුරින් සිටි බිරිඳ සහ සිටුවරයා සෝවාන්ඵලයෙහි පිහිටීමට හේතුසම්පත් ඇතිබව දුටුසේක. එයින් පෙරදින සිටුවරයා රාජකාරිය සඳහා රජගෙට ගොස් රාජකාරිකොට නිමවා ආපසු එනවිට කුම්මාසයෙන් පිරුණු කෝම්පිට්ටුවක් (මැස්සන් පිරුණ) කමින් සිටි බඩසයින් පෙළුණ මිනිසෙකු දැක එහි ආශාව ඇතිකරගෙන තමන්ගේ ගෙට ගොස්, ඉතින් මම කෝම්පිට්ටුවක් කනු කැමැත්තෙමියි කීවොත් හුඟදෙනෙක් මා සමග එය කෑමට කැමතිවනු ඇත. එවිට බොහෝවූ තල සහල් ගිතෙල් පැණි ආදිය වැය කිරීමට සිදුවෙයි. කිසිවෙකුටත් නොකියමියි ආශාව මැඩගෙන වාසය කරයි. කල් ගතවෙවී යද්දී ඔහුගේ ඇඟ පඬුපැහැගැන්වී නහර ඉපිළී ගියේය. ඉන්පසු තෘෂ්ණාව ඉවසාගත නොහී ඇතුළු ගැබට වැදී ඇඳේ වැතිරී සිටියේය. මෙබඳු තත්ත්වයකට පත්වී නමුත් වස්තුහානි බියෙන් කිසිවෙකුටත් ඒ බව නොකීවේය.
ඉන්පසු ඔහුගේ බිරිඳ ළඟට අවුත් පිට අතගගා හිමියනි, ඔබට ඇති අපහසුව කුමක්දැයි ඇසුවාය. නෑ මට කිසි අපහසුවක් නැත. එසේනම් රජු ඔබ හා නොමනාපවීද? නැහැ. රජුත් මා සමග අමනාපයක් නැත. එසේනම් ඔබේ දූදරුවන් හෝ දාසකම්කරුවන් සමග හෝ කිසි අමනාපයක් වෙලාවත්ද? එබන්දකුත් නැත. එසේනම් කිසිවක් ගැන ඔබතුළ ආශාවක් හෝ ඇද්ද? එසේ කියද්දී ධනහානි බියෙන් කිසිවක්ම නොකියා නිහඬවම වැදහොත්තේය. ඉන්පසු ඔහුට භාර්යාව, හිමියනි කියන්න, ඔබේ ආශාව කුමක් ගැනදැයි ඇසුවාය. හෙතෙම වචන ගිලින්නාක් මෙන් මට එක ආශාවක් ඇතැයි කීවේය. ස්වාමීනි, ඒ ආශාව කුමක්ද? කෝම්පිට්ටුවක් කනු කැමැත්තෙමියි කීය. ඉතින් එය නොකීවේ ඇයිදැයි ඈ ඇසුවාය. ඔබ දිළින්දෙක් නොවෙයි. දැන් සියලු නිගමවාසීන්ටම ඇතිවන සේ කබලුකැවුම් පිසින්නෙමියි කීවාය. ඔවුන්ගෙන් අපට වැඩක් නැත. ඔවුන් වැඩකර කනවා ඇතියි කීය. එසේනම් එක් ප්‍රදේශයක වැසියනට පොහෝනා තරම් පිසන්ටද? මම ඔබේ පෝසත්කම දන්නෙමි. මේ ගෙදර සීමාවේ සිටින්නන්ට තරම් වන සේ පිසන්ටද? ඔබේ ලොකු අදහස් මම දනිමි. එසේනම් ඔබේ අඹුදරුවන්ට ප්‍රමාණවත් පරිදි පිසින්ටද? එවුන්ගෙනුත් ඇති ඵලය කුමක්ද? එසේනම් ඔබටත් මටත් ඇති තරම් පිසන්ටද? ඔබට මොකටද, ඔබ මොනවද කරන්නේ? එහෙන්ම ඔබට පමණක් ඇති තරමට පිසන්නෙමියි කීවාය.
මෙතැන සිට පිසුවොත් බොහෝ දෙනා බලාසිටිති. සියලු සහල් පැසෙක දමා සුණුසහල්ද, උයන තැටිද රැගෙන කිරි ගිතෙල් මීපැණි ටිකක්ද සත්මහල්පහයේ උඩම තලයට ගෙනගොස් පිසව, මම එහිදී තනිවම සිට කන්නෙමියි කීවේය. ඈ යහපතැයි පිළිගෙන ගතයුතුදේ ගෙන්වාගෙන ප්‍රාසාදයට නැගී දාසීන් පිටත්කර යවා සිටුවරයා කැඳවූවාය. හෙතෙම මුලින්ම යටිමහලේ පටන් දොරවල් වසාගෙන සියලු දොරවල්වල යතුරු අගුල් ලා සත්වෙනි මහලට නැගී එහිත් දොර වසාගෙන සිටියේය. ඔහුගේ භාර්යාව උදුනෙහි ගිනි දල්වා කබල ලිප තබා කැවුම් පිසින්ට පටන්ගත්තාය.