10. විශාඛා වස්තුව
‘යථාපි පුප්ඵරාසිම්හා’ ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පූර්වාරාමයෙහි වාසයකරන කාලයෙහි විශාඛා උපාසිකාව අරභයා දේශනාකළසේක.
ඕතොමෝ අංගරටෙහි භද්දිය නම් නගරයෙහි විසූ මෙණ්ඩක සිටාණන්ගේ පුත් ධනංජය සිටුහුගේ අගමෙහෙසිය වූ සුමනා දේවියගේ කුසෙහි උපන්නීය. ඇගේ සත්වයස් වියෙහි ශාස්තෘන්වහන්සේ සේලබ්රාහ්මණාදීන්ගේ ධර්මාවබෝධය පිළිබඳ හේතුසම්පත් දැක මහා භික්ෂුසංඝයා පිරිවරා චාරිකාවේ හැසිරෙමින් ඒ නගරයට පැමිණිසේක.
ඒ කාලයෙහි මෙණ්ඩක ගෘහපතියා ඒ නගරයෙහි මහ පින්වතුන් පස්දෙනා අතර ජ්යෙෂ්ඨත්වයද සිටු තනතුරද ලබා වාසය කරයි. ඒ මහපින්වතුන් නම්, මෙණ්ඩක සිටු, චන්ද්රපදුමා නම් ඔහුගේම ජ්යෙෂ්ඨ භාර්යාව, ඔහුගේම ජ්යෙෂ්ඨ පුත්ර ධනංජය, ඔහුගේ භාර්යාව වූ සුමනාදේවී, මෙණ්ඩක සිටුහුගේ දාස පුණ්ණ යන අයයි. මෙණ්ඩක සිටුවරයාට පමණක් නොව, බිම්බිසාර රජුගේ විජිතයෙහි අමිතභෝගී තවත් ධනවතුන් පස්දෙනකුද වාසය කළහ. ඒ පස්දෙනා නම්, ජෝතිය, ජටිල, මෙණ්ඩක, පුණ්ණක, කාකවලිය යන අයයි. ඔවුන් අතර මේ මෙන්ඩක සිටුතෙම බුදුරදුන් තමන්ගේ නුවරට පැමිණි බව දැන සියපුත් ධනංජය සිටුහුගේ දූ වූ විශාඛා දැරිය කැඳවා ඔබටත් මෙය වැඩදායකය. අපටත් වැඩ දායකය, ඔබේ පිරිවර පන්සීයක් දැරියන්ද පන්සීයක් රටවලින් පන්සීයක් දාසියන්ද කැටුව දසබලයන්වහන්සේට පෙරගමන් කරවයි කියා යැවීය. ඈ මැනවැයි පිළිගෙන එසේ කළාය. කාරණාකාරණා දන්නා හෙයින් යානයෙන් යායුතු තැන් ගොස් ඉන්පසු යානයෙන් බැස පයින්ම බුදුන් කරා එළඹ වැඳ එක්පැත්තක හුන්නාය.
ඉන්පසු ඇගේ චරිතයට අනුකූලවනසේ බුදුරදුන් විසින් දෙසනලද දහම්කථා අසා දේශනාවසානයෙහි පන්සීයක් දැරියන් සමග සෝතාපත්තිඵලයෙහි පිහිටියාය. එසේ සෝවාන්ඵලයෙහි පිහිටා හෙට දිනය සඳහා ආරාධනාකොට දෙවෙනි දවස තව නිවසෙහි කෑයුතු බුදියයුතු ප්රණීතාහාරයෙන් බුදුන් ප්රමුඛ භික්ෂුසංඝයා වළඳවා මේ ආකාරයෙන් අටමසක් මහදන් දුන්නාය. බුදුරජාණන්වහන්සේ භද්දිය නගරයෙහි කැමති පරිදි සිට වැඩියාහුය.
එකල්හි බිම්බිසාර, පසේනදිකෝසල දෙදෙනා ඔවුනොවුන්ට දෙසුරුබඩු හෙවත් දෙමස්සිනාවරු වූහ. දිනක් කොසොල්රජු, බිම්බිසාරගේ විජිතයෙහි අමිගභොගී ධනවත්තු වෙසෙති, මගේ විජිතයෙහි එබඳු එකෙකුද නැත. මම බිම්බිසාර වෙතගොස් එක් මහ පින්වතකු ඉල්ලා ගන්නෙම් නම් මැනව යි සිතීය. ඔහු එහි ගොස් රජුන් සමග පිළිසඳර කථාකොට කුමක් නිසා ආවෙහිදැයි ඇසූ පසු ඔබේ විජිතයෙහි අමිතභොගී මහාපින්වන්තයෝ පස්දෙනෙක් සිටිති. එයින් එක් කෙනෙකු රැගෙන යාමට පැමිණියෙමි. එයින් එක් කෙනකු මට දෙනු මැනවයි කීය. ඒ මහාකුලවතුන් සෙලවීම අපට කළ නොහැකියයි බිම්බිසාර කීවේය. එයින් කෙනෙක් නොලබා මම නොයන්නෙමියි කොසොල්රජු කීය.
රජු ඇමතියන් සමග සාකච්ඡා කොට ජෝති ආදි මහාකුල සෙලවීම පොළොව සෙලවීමකට සමානයි. මෙණ්ඩකසිටුපුත් ධනංජය සිටුවරයා සමග සාකච්ඡාකොට ඔබට පිළිතුරක් දෙන්නෙමුයයි කියා ඔහු කැඳවා, පුත්රය, කොසොල්රජු එක් ධනවත් සිටුවරයකු රැගෙනම යෑමට ආබව කියයි. ඔබ ඔහු සමග යන්නැයි කීහ, ඔබ කියන හෙයින් යන්නෙමැයි ධනංජය කීවේය. එසේ නම් අවශ්ය දේ සූදානම් කරගෙන යන්න. හෙතෙම යෑමට ප්රථම තමන් විසින් කළයුතු සියල්ල කෙළේය. රජුද ඔහුට මහත් සත්කාර පිළියෙලකොට, මොහු රැගෙන යන්නැයි පසේනදි රජුන් වෙත යැවීය. කොසොල්රජු ධනංජයත් සමග එක් තැනක දෙරැයක් නොවසා වහා යන්නේ එක් පහසු තැනකට පැමිණ නවාතැන් ගත්තේය. එතනදී ධනාංය, මේ කාගේ විජිතයක්දැයි ඇසීය. සිටුවරය, මෙය මගේ විජිතයයි. සැවැත් නුවරට මෙහි සිට කෙතෙක් දුරද? සත් යොදුනක් පමණි. ඇතුළු නගරය කරදර සහිතයි. අපේ පිරිවර ජනයාද මහත්ය. රජතුමනි, ඔබ කැමති නම් අපි මෙහිම වසන්නෙමුයයි ධනංජය ඇසීය. රජු මැනවයි පිළිගෙන එතැන නගරයක් නිර්මාණය කරවා ඔහුට භාරදී ගියේය. ඒ පෙදෙස සවස විසීමට ගත්හෙයින් නගරය සාකේත නම් විය.