ආර්යයනි, එය එසේමයි. මැයගේ පියා බැහැර ගිනි ඇතුළට නොගතයුතුයයි යන්නෙන් කීවේත් එබඳු අදහසකි. ගෙයතුළ ඇතිවන ගිනි ඇතිකල පිටතිනුත් අපට ගෙන ඒම කළ හැකිද? මගේ පියා එය කියන ලද්දේ ඉහත අර්ථය දැක්වීමට නොවේ. එසේ කියනලද්දේ මෙන්න මේ අර්ථය සඳහාය. එනම්, ළඟපාත ගෙවල්වල ගැහැණු හෝ මිනිස්සු නැදිමයිලන්ගේ අගුණ කියති. ඔවුන් කියන ඒ අගුණකථා අසාගෙන අවුත් අසවල් අය ඔබේ මේ මේ අගුණ කියතියි එය නැවත නොකියව යන අර්ථයයි. එබඳු ගින්නක් හා සමාන වෙනත් ගින්නක් නැති හෙයිනි. මෙසේ මේ කාරණයෙනුත් ඈ නිදොස් කෙනෙක්ම වූවාය. සෙසු කරුණුවලදීත් අර්ථ ගතයුත්තේ මේ අයුරිනි.
ඒ සෙසු කරුණුවල අදහස මෙසේ දතයුතුයි, ඇගේ පියා දෙන්නාටම දියයුතුයයි කීවේ යමෙක් යමක් ඉල්ලාගෙන ආපසු දෙයිද ඔවුන්ටම දියයුතුයි යන අදහස සඳහා කියනලදි.
යමෙක් ගත්දෙය ආපසු නොදෙයිද, ඔවුන්ට නොදියයුතුයි යන අදහස සඳහා කියනලදි.
දෙන්නාටත් නොදෙන්නාටත් දියයුතුයි යනු දිළිනදන් නෑමිතුරන් ආදි තමන් වෙත පැමිණෙන අය සඳහා ආපසු දීමට හැකිවුවත් නැතත් දියයුතුමය යන අර්ථය සඳහා කියනලදි.
සැපසේ ඉඳගත යුතුය යනු මෙහි, නැන්දා මාමා ස්වාමියා යන අය දැක නැගී සිටිය යුතු තැන්වල ඉඳගෙන සිටීම නුසුදුසුය යන අදහස සඳහා කියනලදි.
සැපසේ කෑයුතුය යනු නැන්දා මාමා ස්වාමියා ආදීන්ට පෙර නොකා ඔවුන්ට කවා සියල්ලන්ට ආහාර ලැබූනොලැබූබව දැනගෙන පසුව තමන් ආහාර ගතයුතුය යන අදහස සඳහා කියනලදි.
සැපසේ නිදියයුතුය යනු නැන්දා මාමා ස්වාමියා යන අය නිදීමට පෙර ඇඳට ගොස් නොනිදිය යුතුය. ඔවුන් සඳහා කළයුතු වත්පිළිවෙත්කොට පසුව තමන් නිදාගත යුතුය යන අදහස සඳහා කියනලදි.
ගිනි පිරිමැසිය යුතුය යනු නැන්දා මාමා ස්වාමියා යන අය ගිනිකඳන් මෙන්ද, නාගරාජයන් මෙන්ද සිතා ඔවුන් දෙස බැලියයුතුය යන අදහසයි.
ඇතුළත දෙවියන් නැමදිය යුතුය යනු නැන්දා මාමා සැමියා යන අය දෙවියන් ලෙස දැක්කයුතුය යන අදහස සඳහා කියනලදි. සිටුවරයා මෙසේ ඒ දසඅවවාදයේ අර්ථ අසා පිළිතුරක් දීගත නොහැකිව බිම බලා සිටියේය.
අනතුරුව කෙළෙඹියෝ, සිටුතුමනි, අප දුවණියගේ තවත් දොස් ඇද්දැයි ඇසූහ. ආර්යවරුනි නැත. එසේනම් නිදොස් මැය නිකරුණේ ගෙයින් පිටත්කර හරින්නෙහිදැයි ඇසූහ. එය ඇසූ විශාඛාව, ආර්යවරුනි, කෙසේ වෙතත් මගේ මාමාගේ වචනයට අනුව පළමුව පිටත්ව නොගියෙමි. එසේ යෑම යුතුනැත. මගේ පියා මා මෙහි එවනවිට මගේ දොස් නිදොස්කරනු පිණිස මා ඔබට භාර කොට එවීය. නුඹලා විසිනුත් මගේ නිදොස් බව දැනගන්නා ලදහ. දැන් ඉතින් මා පිටත්ව යෑම සුදුසුයයි දාසදාසියන් හා යානවාහනාදිය සූදානම් කරව්යයි අණ කළාය.
ඉන්පසු සිටුවරයා ඒ කෙළෙඹියනුත් සමග ගොස් දුව මා නොදැන කීදෙයට මට සමාවන්න. පියාණනි, ඔබට ක්ෂමා කළයුතුය. එහෙයින් ක්ෂමා කරමි. මම බුදුසසුනෙහි නොසැලෙන සැදැහැති කුලදුවක වෙමි. භික්ෂුසංඝයාගෙන් තොරව විසීම මට කළනොහැකිය. ඉදින් මගේ රුචියට අනුව භික්ෂුසංඝයාට සැලකීමට ඉඩ ලබන්නෙම් නම් මෙහි වසමියි කීවාය. දරුව ඔබට මනාප අයුරකින් ඔබේ ශ්රමණයන්ට පිළිදැගුම් කරවයි ඔහු කීය.
විශාඛාවෝ බුදුන්ට ඇරැයුම් කොට දෙවෙනි දිනයේ නිවසට කැඳවූවාහුය. නග්න ශ්රමණයෝත් බුදුන් මිගාර සිටුගෙදරට එනබව අසා එහි ගොස් ගෙය පිරිවරා සිටියාහුය. විශාඛාව දක්ෂිණෝදකය පිළිගන්වා සියලු සත්කාර පිළියෙල කොට මගේ මාමාත් අවුත් දසබලයන්වහන්සේ වළඳවාවයි හසුනක් යැව්වාය. එහි යනු කැමතිවූ සිටුවරයා, ගෘහපතිය, ශ්රමණ භවත් ගෞතමයන් වෙත නොයවයි ආජීවකයෝ වැළැක්වූහ. මගේ යෙහෙළිය ඔබම බුදුන් වළඳවාපිය මැනවැයි කියා යැවීය. ඈ බුදුන් ප්රමුඛ භික්ෂුසංඝයා වළඳවා බත්කිස අවසන, නැවත, මගේ මාමා අවුත් ධර්මය අසන්නැයි ලිපියක් යැව්වාය. ඉන්පසු ඔහු දැන් නොයාම නම් ඉතාම අකටයුත්තකියි ධර්මය අසනු කැමැත්තෙන් යන ඔහුට නිගණ්ඨයෝ මෙසේ කීය. එසේනම් බුදුන් සමීපයට නොගොස් තිරයකින් මෙහා සිට බණ අසවයි කියා ඔහු එහි යාමට පෙරාතුවම ගොස් තිරයක් ඇද තැබූහ. සිටුතෙම ගොස් තිරයෙන් පිටුපස හිඳගත්තේය.
තථාගතයන් වහන්සේ, ඔබ තිරයකින් එහා හෝ සිටින්න. බිත්තියෙන් හෝ පර්වතයෙකින් හෝ පරසක්වළ හෝ සිටින්න. මම බුද්ධ නම් වෙමි. මගේ ශබ්දය ඔබට ඇස්වීමට මට හැකියයි මහදඹකඳක් සොලවන්නාක් මෙන්ද අමා වැස්සක් වස්වන්නාක් මෙන්ද දහම් දෙසීමට පිළිවෙල කථාව පටන්ගත්හ.