3. එක්තරා භික්ෂුවකගේ වස්තුව
දුන්නිග්ගහස්ස ලහුනො යනාදි මේ ධර්මදේශනාව බුදුරදුන් සැවැත්නුවර වාසය කරන සමයෙහි එක්තරා භික්ෂුවක් අරභයා දේශනා කරන ලදි.
කොසොල් රජුගේ එක්තරා යටත් විජිතයක පර්‍වතපාදයක වූ මාතිගාම නම් ජනගහනයෙන් පිරී ගමක් විය. දිනක් සැටක් පමණ භික්ෂූහු බුදුන් ළඟ රහත්බව දක්වා කමටහන් කියවාගෙන එකී ගමට ගොස් පිඬු පිණිස හැසුරුණාහ. ඉන්පසු එගම මූලිකයා වූ මාතික නමැත්තාගේ මව ඒ භික්ෂූන් දැක ස්වකීය ගෙහි වඩා හිඳුවා නානාප්‍රකාර අග්‍රරසයෙන් යුත් කැඳබත් වළදවා. ස්වාමීනි, කොහි වඩින්නාහුදැයි ඇසුවාය. මහෝපාසිකාවනි, පහසුකම් ඇති තැනකටයි. ඕතොමෝ මේ ආර්යයන්වහන්සේලා වස්වසන තැනක් සොයන්නාහුයයි දැන පාමුල වැටී, ඉදින් ආර්යයන්වහන්සේලා මේ තුන්මාසය මෙහි වසන්නාහු නම් මම තිසරණ සහිත පන්සිල් සමාදන්ව පෙහෙවස්ද වසන්නෙමියි කීවාය. ඒ භික්ෂූහු මැය නිසා ආහාරයෙන් ක්ලාන්ත නොවී සසරින් එතර විය හැකියයි ඇගේ ආරාධනය පිළිගත්තාහුය. ඈ ඒ භික්ෂූන්ට විසීම සඳහා විහාර පිළියෙල කොට දුන්නාය.
එහි විසූ ඒ භික්ෂූහු එක් දිනක් රැස්වී ඔවුනොවුන්ට අවවාද කරගත්හ. ඇවැත්නි, අපි ප්රමාදචාරීව හැසිරීම නොවටී. අටමහානිරය අපේම ගෙවල් මෙන් දොරවල් විවෘත කරගෙන ඇත. දිවමන් බුදුන්ගෙන් කමටහන් ගෙන අපි මෙහි ආවෙමු. බුදුවරු නම් යන පිටුපසින් පයින් ගියත් කපටිකමින් රැවටිය හැක්කෝ නොවෙති. නියම ආකාරයෙන්ම, සැබෑ අදහසින්ම සතුටු කළ හැක්කෝම වෙති. එනිසා නොපමා වව්. දෙදෙනෙක් එක්තැන නොසිටිය යුතුය. හිඳනොගත යුතුය. සවස මහතෙරවරුන්ට උපස්ථාන කරන වේලේත්, උදෑසන පිණ්ඩපාතයෙහි යන වේලේත් එක්වෙමු. එතෙකුදු වුවත් රෝගාතුර වී අපහසු තත්ත්වයට පත් භික්ෂුවක් විසින් විහාරම මැද ගෙඩිය ගැසූ විට ඒ ගෙඩියේ ශබ්දයෙන් අවුත් බෙහෙත් කරන්නෙමු.
මෙසේ කතිකා කොට වාසය කරන කල්හි ඒ උපාසිකා තොමෝ ගිතෙල් තෙල් පැණි ආදිය ගෙන්වා ගෙන දැසිදස්කම්කරුවන්ද පිරිවරා සවස් වේලෙහි එම විහාරයට ගොස් විහාරයට මැද භික්ෂූන් නොදැක ආර්යයන්වහන්සේලා කොහි වැඩියාහුදැයි මිනිසුන්ගෙන් අසා තමතමන්ගේ රාත්රිස්ථාන දිවාස්ථානවල වැඩ සිටිනු ඇති ආර්යාවනියි කී කල කුමක් කොට උන්වහන්සේලා දැකිය හැකිදැයි ඇසුවාය. ඉන්පසු භික්ෂූන් වහන්සේලාගේ කතිකාවත දන්නා මිනිස්සු මෙසේ කීවාහුය. ආර්යාවනි, ගෙඩිය ගැසූ පසු රැස් වන්නාහුය. ඈ ගෙඩිය ගස්වාපීය. භික්ෂූහු ගෙඩියේ ශබ්දය අසා, කාට හෝ අපහසුවක් වී ඇතැයි සිතා ස්වකීය ස්ථානවලින් නික්මී අවුත් විහාර මධ්‍යයෙහි රැස්වූවාහුය. දෙනමක් එක් මගකින් නොආහ. උපාසිකාව එක් එක් තැනකින් එකම නමක් බැගින් එනු දැක මපුතුන් ඔවුනොවුන් කෝලාහලයක් කරගන්නට ඇතියි සිතා භික්ෂුසංඝයා වැඳ මෙසේ විචාළාය. ස්වාමීනි, ඔබවහන්සේලා කෝලාහල කරගත්තාහු ද? මහෝපාසිකාවනි, අපි එසේ නොකරන්නෙමු. ඉතින් ඔබවහන්සේලා අතර කලහයක් නැත්නම්, අපේ ගෙට එනවිට සියලුදෙනා වහන්සේම එකතුවී වැඩියාහුය. එසේ නෑවිත් එක් එක් තැනින් එක්නම බැගින් ආවේ ඇයි? මහාඋපාසිකාවනි, එක් එක් තැන වෙනවෙනම හිඳිමින් මහණදම් පුරන්නෙමු.
දරුවනි, එය කවර නම් ශ්රමණධර්මයක් ද? මහෝපාසිකාවනි, අපි ද්විත්තිංසාකාරය සජ්ඣායනා කරමු. ආත්මභාවයේ ක්ෂයවීම වැයවීම හදාරන්නෙමු. ස්වාමීනි, ද්වත්තිංසාකාර සජ්ඣායනය, ආත්ම භාවයෙහි ක්ෂයවීම හා වැයවීම හැදෑරීම ඔබවහන්සේලාට පමණක් සුදුසුද, අපට නුසුදුසු ද? උපාසිකාවනි, මෙය කිසිවකුටත් වළක්වා නැත. ස්වාමීනි, එසේනම් ඒ ද්වත්තිංසාකාරය අපටත් දෙන්න. ආත්මභාවයෙහි ක්ෂය වැය පිහිටුවීම කියා දෙනු මැනවි. උපාසිකාවනි, එසේනම් ගන්නැයි සියල්ල උගැන්වූහ.
ඕතොමෝ එතැන් පටන් ද්වත්තිංසාකාරය සජ්ඣායනා කොට ආත්මය ක්ෂයවීම හා වැයවීම පිළිබඳ සිත පිහිටුවා ඒ භික්ෂූන්ට පෙරාතුවම ත්‍රිවිධ මාර්ග හා ඵලයන්ට පැමිණියාය. මාර්ගයන්ට පැමිණෙන්නාහාත් සමගම ඈ සිවුපිළිසිඹියාවන්ටද, ලෞකික අභිඥාවන්ටද පැමිණියාය. ඈ මාර්ගඵලසුවයෙන් නැගිට දිවැසින් බලා, මගේ පුතුන් කවදා නම් මේ ධර්මාවබෝධය ලබත්දැයි සොයා බලන්නී, මේ සියලුදෙනාම රාග සහිතයෝය, ද්වේශ සහිතයෝය, මෝහ සහිතයේය. ධ්යානවිපස්සනා මාත්‍රයකුදු මොවුන්ට නැත. මගේ පුතුන්ට රහත්වීම සඳහා උපනිශ්‍රය (හේතුවාසනා) ඇද්ද නැද්දැයි ආවර්ජනා කොට නැති බව දැක සේනාසන පහසුව නැද්දැයි බලා එය නැති බව දැන, පුද්ගල සප්පාය (සුදුසු පුද්ගලයන්) බලා එයද නැති බව දැන, ආහාරසප්පාය නැද්දැයි බලා, එයද නැති බව දැන එතැන් පටන් අනේකප්‍රකාර කෑයුතුදද, නානාප්‍රකාර භෝජනද සම්පාදනය කොට, ගෙදර භික්ෂූන් වඩා හිඳුවා දක්ෂිණෝදකය (පැන් පිළිගැන්වීම) දී, ස්වාමීනි, ඔබවහන්සේලා කැමති කැමති දෙයක් වළඳන්නැයි පවරා දුන්නාය. උන්වහන්සේලා කැමති කැමති කැඳබත් ආදිය ගෙන වළඳත්. හිතකර ආහාර ලැබූ උන්වහන්සේලාගේ සිත එකඟ බවට පත්විය.
උන්වහන්සේලා එකඟ වූ සිතින් විදර්ශනාභාවනා වඩා සිව්පිළිසිඹියාපත් රහතන් බවට පත්ව, අහෝ, අපට මේ මහාඋපාසිකාව පිහිට වූවාය. ඉදින් අප සප්පාය ආහාර නොලැබුවාහු නම් කිසි විටෙකත් මගපල ලැබීමක් සිදු නොවන්නේයයි සිතා, දැන් වස්වැස පවරා බුදුන් හමුවට යමුයි, උපාසිකාවනි, අපි බුදුන් දකිනු කැමැත්තම්හයි විචාළහ. උපාසිකාව, ආර්යයන්වහන්ස, ඉතා මැනවැයි උන්වහන්සේලාට පසුගමන් කොට, ස්වාමීන් වහන්ස, නැවතත් අප ගැනත් සලකා බලන්න ආදි බොහෝ ප්‍රියවචනයෙන් කථා කොට නැවතුණාය.
ඒ භික්ෂූහුත් සැවතට ගොස් බුදුන් හමුවී වැඳ එකත්පසෙක හුන්නාහුය. බුදුරජාණන්වහන්සේ, කෙසේ ද මහණෙනි, කැමැත්තෙන් වාසය කළාහුද, යැපීම් ලැබුවාහුද, පිණ්ඩපාත ලැබුවාහුද, එයින් අපහසුවක් නොවී සිටියාහුදැයි විචාළ කල්හි, එසේය ස්වාමීනි, සුවසේ සිටියෙමු. යැපීම් පිණ්ඩපාත ලැබුවෙමු. අපහසුවකින් තොරව ප්‍රීතියෙන් සිටියෙමු. මාතිකමාතා නම් උපාසිකාව අපේ අදහස් දැනගෙන, අපට මෙබඳු ආහාර ලැබුණොත් මැනැවැයි සිතූ විට අප සිතූ හැටියටම ඒ ආහාර පිළියෙල කර දුන්නායයි ඇගේ ගුණ ප්‍රකාශ කළහ.